පාංශු සම්මාන දිනයි

ප්‍රංශයේ 2019 නීස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී පාංශු චිත්‍රපටයේ අද්විතීය රංගනය උදෙසා නීටා ප්‍රනාන්දු ඇගේ දෙවන ජාත්‍යන්තර සම්මානය දිනා ගනී.

පසුගිය සෙනසුරාදා (මැයි 18) ප්‍රංශයේ පැවති නීස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී (Nice International Film Festival) ශ්‍රී ලංකාව නියෝජනය කළ පාංශු චිත්‍රපටය විශිෂ්ට සම්මාන 2 ක් දිනා ගන්නා ලදී. මෙහිදී නීටා ප්‍රනාන්දු විදේශ භාෂිත සිනමා අංශයේ හොඳම නිළිය ලෙසත් කුමාර කරව්දෙනිය දක්ෂතම ඇඳුම් නිර්මාන ශිල්පියා ලෙසත් සම්මාන දිනා ගත්හ. තවද මෙම උළෙලේ විදේශ භාෂිත සිනමා අංශයේ හොඳම තිර රචනාවට පිදෙන සම්මානයට විසාකේස චන්ද්‍රසේකරම් ගේ නම නිර්දේශ විය.

නීටා ප්‍රනාන්දු
පාංශු චිත්‍රපටයේ නීටා ප්‍රනාන්දු රඟපෑවේ 1988/89 භීෂණ සමයේ පැරාමිලටරි කණ්ඩායමක් විසින් පැහැරගෙන යන ලද ත පුතු වෙනුවෙන් යුක්තිය සොයන අම්මා කෙනෙකුගේ චරිතයකි. මෙම ජයග්‍රහණයේ ප්‍රීතිය විඳිමින් නීටා ප්‍රනාන්දු කියා සිටියේ “මගේ රංගන ජීවිතයේ මා කළ දුෂ්කරතම චරිතය මේකයි. මෙම චරිතයට පණ පෙවීමට මගේ අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් කළ මඟ පෙන්වීම ගැන මම හද පතුලෙන්ම ස්තූති වන්ත වෙනවා”. රටේ වත්මන් තත්වය ගැන සඳහන් කරමින් ඇය තව දුරටත් කියා සිටියේ “පසුගිය කාලයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර හා අනෙකුත් හිංසන ක්‍රියා හේතුවෙන් තවමත් බියෙන් සැකෙන් දිවි ගෙවන ලාංකිකයින්ට අපේ ජයග්‍රහණය ගැන මේ ප්‍රවෘත්තියෙන් යම් සැනසීමක් ලැබෙනු ඇතැයි මම හිතනව”. නීස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී නීටා ලද සම්මානය ඇගේ දෙවන අන්තර්ජාතික සම්මානයයි. ඇය පළමු වතාවට ජාත්‍යන්තර සම්මානයක් දිනා ගත්තේ 1998 සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළෙලේදීය.

කුමාර කරව්දෙනිය
ඇඳුම් නිර්මාණය උදෙසා ජාත්‍යන්තර සිනමා උළෙලකදී ලාංකික නිර්මාණයකට ලැබෙන ප්‍රථම සම්මානය දිනා ගන්නේ පාංශු චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කළ කුමාර කරව්දෙනිය විසිනි. ඇඳුම් නිර්මාණයට අමතරව අසූව දශකයේ අග භාගයේ භීෂණ සමයේ පසුතල නිර්මාණය කරමින් පාංශු චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය මෙහෙය වූයේ ද කුමාර කරව්දෙනිය විසිනි. සම්මාන ප්‍රදාන උත්සවයට සහභාගී වීමට ප්‍රංශය බලා ගිය කුමාර කරව්දෙනිය කියා සිටියේ, එම උත්සවය “ජාත්‍යන්තර සිනමා කර්මාන්තයේ ඉහලම හැකියාවන් ඉදිරිපත් කරන ලද උත්කර්ෂවත් අවස්ථාවක්” ලෙසය. “ලංකාව නියෝජනය කරමින් එම සුවිශේෂ අවස්ථාවට සහභාගි වීමට ලැබීම ඉමහත් ගෞරවයක් ලෙස මම සළකනවා”, යැයි කුමාර කියා සිටියේය.

විසාකේස චන්ද්‍රසේකරම්
පාංශු චිත්‍රපටයේ තිර රචක සහ අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් නිර්මාණයට දායක වු තම කණ්ඩායමේ ජයග්‍රහණය ගැන මෙසේ සඳහන් කළේය: “අපගේ නිර්මාණයට ජාත්‍යන්තර අවධානයක් ලැබීම නිසා මේ නිර්මාණයෙන් සාකච්ඡා වන තේමාවන්ට – එනම් නීතියේ ආධිපත්‍යය, යුක්තිය හා සංහිඳියාව යන දේ ගැන කතා බහක් ඇති කරන්නට අපට හැකි වේවි. හිංසනය හා අගතිගාමීත්වය හරහා හට ගත් ඛේදවාචක නැවත ඇතිවීම වැළැක්වීමට යම් කථිකාවක් ජනතාව අතර ඇති කිරීමට මෙය අනිවාර්යයෙන්ම අවස්ථාවක් කර ගත යුතුයි”. නීටා ගේ රංගනය ගැන අදහස් දක්වමින් චන්ද්‍රසේකරම් කියා සිටියේ, “මේ චිත්‍රපටයේ රදා ගැහැනියකගේ චරිතයට .හැඟීම් දැනීම් එක් කරමින් නීටා තම පුතු වෙනුවෙන් යුක්තිය සොයමින් දඬුවම් අයදින මවකගේ මුළු බරටම කර ගත්තා. මා සිතන හැටියට නීටාගේ රංගන ජීවිතයේ ඇය මෙතෙක් කළ විශිෂ්ටතම රංගනය දැකිය හැක්කේ පාංශු චිත්‍රපටය තුලිනුයි. තමන්ට ලැබෙන චරිතය ඉතාමත් සංයමයකින් හා අධිෂ්ඨානශීලී ලෙස වැළඳ ගනිමින් තමන්ගේ හැකියාවන්ගෙන් එම චරිතය මාත්තු කොට ඉදිරිපත් කිරීමට ඇය සතු නිසග හැකියාව ඉතා ඉහලයි”.

ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
පාංශු මේ වන විට ඉහල පෙළේ ජාත්‍යන්තර සිනමා උළෙලවල් 7 ක් විසින් තෝරා ගන්නා ඇත. කැනඩාවේ මොන්ට්‍රියල් හි 2018 Montreal World Film Festival හිදී පාංශු චිත්‍රපටයේ ප්‍රථම දර්ශනය පැවති අතර, ඉන්දියාවේ 2019 Pune International Film Festival හිදී එහි ආසියාතික එළි දැක්වීම සිදු විය. පාංශු 2019 Canada International Film Festival හිදී Royal Reel සම්මානයකින් පිදුම් ලැබීය. තවද මෙම චිත්‍රපටය Dhaka International Film Festival,
Aswan International Women’s Film Festival සහ Barcelona Imagine India International Film Festival තෝරා ගෙන තිබිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *