-ෂෙනාල් ගුණසේකරගේ සටහනක්-
සියල්ල අවසන් වුණා. ලෝක ටෙලිවිෂන් කලාවේ ස්වර්ණමය යුගය (ලංකාවේ හැර) සමරමින් ඉන්න වකවානුවක, ඊට ප්‍රධාන වශයෙන් දායක වුණු කතා මාලාවක් අද අවසන් වුණා.
අවසානය ගැන මතිමතාන්තර විවිධයි. බහුතරය විවේචනාත්මකයි. රසික රසිකාවන්ට කේන්තියි. අවුරුදු අටක මහන්සිය වතුරේ ගියා නේද කියලා නඟන මැසිවිලි සාගරයයි. නැවත රූගත කරන ලෙස බල කරලා අත්සන් කරන පෙත්සම් බොහොමයි. නමුත් සියල්ල සිදු වී හමාරයි.
ඩනේරිස්ට අවශ්‍ය වුණේ ඒකාකාරී යන්ත්‍රණය බිඳින්න. නමුත් ඒ අරගලය වියරුයි. ඒ නිසා මුකුත් නොදන්න ජොන් ස්නෝ බුද්ධිමත්ම තීරණයක් ගන්නවා.
“Duty is the death of love”
ජොන්ගේ බුද්ධිය විසින් ඩනේරිස්ගේ හදවත පසාරු කරනවා. අන්තිම මොහොත වෙද්දී ඩනේරිස්ටත් යටිහිත වදදෙනවා තමන් ඉක්මන් වුණා වැඩියි කියලා. නමුත් අහිංසක ජනකායත් එක්කම නගරයක් දවාලු අළු මතින් නැඟිටලා හදන අලුත් රාජ්‍යය සුන්දර අනාගතයක් කරා යන්නේ නෑ.
බ්‍රියෙන් ඉතිහාස ලියවිලි යාවත්කාලීන කරනවා. ඇයගේ හදවතේ ඉඩ වෙන්වුණු ජේමි ගැන ඉතිහාස පොතේ වෙන්වුණු ඉඩ පුරවන්න ඇය මහන්සි වෙනවා. එකින් එක වචන ගළපලා සාධාරණ අවසානයක් ලියනවා. නමුත් අපි දන්නවා එතන තියෙන්නේ අතිශයෝක්තියක් කියලා. ඉතිහාසය කියන්නේම අතිශයෝක්තියක්.
යන්ත්‍රණයේ දැති රෝද බිඳින්න ඩැනීට බැරිවුණත් ඒ දේ හරියට කරන්න රෝද පුටුවේ ඉන්න බ්‍රෑන්ට පැවරෙනවා. ඔහු මෙතෙක් කල් දැනගෙන හිටි අවසානයට එළඹෙනවා.
“Why do you think I came all this way?”
හැමෝගෙන්ම බැට කාපු ස්ටාක් පවුල අන්තිමට හැම අතින්ම දිනුම්. සන්සා තමන්ගේ උපන් දේශයේ රැජින. ආර්යා නව ලෝකයේ රැජින. ජොන් ප්‍රාකාරයෙන් එපිට රජු. බ්‍රෑන් රාජධානි හයකට රජු වගේම තුන් කල් දුටු රජු.
හුදෙකලා වෘකයා මියැදෙනවා, ඒත් වෘක රැළ හැමදාමත් රැකෙනවා.
මේකේ තියෙන wow factor එක වෙන්නේ නාකි මනුස්සයෙක්ගේ මනඃකල්පිත චිත්ත රූප මැවීමක් ඔස්සේ ගොඩනැඟෙන විශ්වයක් මුළුමහත් ලෝකයක බහුතර ජනතාව තමන්ගේ ජීවිතවලට බද්ධ කරගන්න තරම් ප්‍රබල වුණු එකයි. මේ තරම් දේවල් ගොඩනැඟුවේ මේ විදිහේ අවසානයකට ද කියලා කැක්කුමක් එන්නේ ඒ තරම්ම වැඩේ සාර්ථක නිසයි. ඒ දේ සනාථ කරන්නම ද මන්දා ටිරියන්ගෙන් ලස්සන දෙබසක් කියවුණා.
“What unites people?
Armies? Gold? Flags?
Stories… There’s nothing more powerful in the world than a good story. Nothing can stop it. No enemy can defeat it.”
A Song of Ice & Fire කියන්නේ ටිරියන් කිවුවා වගේ ලෝකයම එකතු කරන්න සමත් වුණු බලවත් කතාවක්. Game of Thrones කියන්නේ ඒ බලවත් කතාව ආදේශ කරගෙන කාලෙකින් නිමැවුණු එපික් ටෙලිවිෂන් වැඩක්. රටවල් තුන හතරක සමගාමීව රූගත කරලා, ලක්ෂ ගණනක ශ්‍රම බලකායක් වෙහෙසිලා, මිලියන ගණනක් වියදම් කරලා හදපු ඒ කතාව සුවිශේෂී සන්ධිස්ථානයක්.
ඇත්ත, මේ වැඩේට ආසක්ත වුණු කිසි කෙනෙක් මේ අවසානය මොනම විදිහකින්වත් බලාපොරොත්තු වුණේ නෑ. විශේෂයෙන්ම ජොන් ස්නෝගේ චරිතයට කොහෙත්ම සාධාරණයක් ඉෂ්ඨ වුණේ නෑ. කේන්ති යන එක සාධාරණයි. ඒත්, මේක තමයි කිරුළ වෙනුවෙන් සිද්ධ වුණු ගේම් එක.
Valar Morghulis – හැම මිනිහෙක්ම මියැදෙනවා. සමහරවිට මේ කතාවත් අවුරුදු හතක් මුළුල්ලේ උච්ඡතම අවස්ථාවට ළඟාවෙලා මියැදුණේ ඒ නිසා වෙන්න ඇති.
ටෙලිවිෂන් කලාවේ වෙනම කල්ට් එකක් හදපු Game of Thrones, sex scenes තියෙන මරු කතාවක් නෙවෙයි, බලය මොනතරම් බලු ද කියන රියැලිටිය, දේශපාලනය කියන්නේ දිය යටින් ගිනි ගෙනියන, සීතලයි ගින්දරයි එකට කැළතෙන ගීතයක් කියන රියැලිටිය පෙන්නපු එපික් ෆැන්ටසියක්.