ලාංකීය සිනමාව දැඩි අනතුරක…


ශ්‍රී ලංකාව යනු, අපූර්ව සෞන්දර්යයකින් හෙබි රටක් ලෙස ලෝක ප්‍රසිද්ධය. එකී රට තුළ, ජීවත් වන මිනිසුන්, කෙතරම් සෞන්දර්යයවාදී  විය යුතුද? නමුත්, අන්තවාදී මත දැරූ සුළු පිරිසක් විසින්, වර්තමානයේ එය එසේ නොවන බව, මුළු මහත් ලෝකයටම කියා පා අවසන්ය. එසේ  දවා ලූ  ගින්නෙන් දැවී ගියේ, මනුෂ්‍ය ජීවිත මෙන්ම, මුළු මහත් සමාජයෙහි ම, සැනසිලිදායී  සිතුවිලිය.එබැවින් අද දවස වෙනදාට වඩා බෙහෙවින් වෙනස් ය. අද හවස 6 වන විට, රටෙහි සියලු නගරයන් පාළුවට ගොසිනි. සියලු මිනිසුන් අනෙකා දෙස බලන්නේ සැකයෙනි. එසේම, නිවෙසින් එළියට බසින්නේ, නැවත තමන්ගේ පවුල් පරිසරය වෙත ඒමට හැකිවෙයිද යන බියෙනි. එබැවින් සියලු මිනිසුන් තුළ පවතින්නේ, සැකයකි. බියකි. මිනිසා සමාජීය සත්වයෙක් බව ඔබ අසා ඇත. නමුත් අද මිනිසුන්  සියලු දෙනා කැමති පවුල තුළ, හුදෙකලා වන්නටය.බොහෝ පිරිසක්, එකම තැනකට රැස් වන්නට, අද කැමති නැත. එවැනි අවස්ථා ආවද, එය හිතාමතා මඟ  හරියි. මෙම කාරණා නිසාවෙන්, වර්තමානයේ පොදු ජන ජීවිතය කනපිට පෙරලී ඇත. මේ තුළ, සිදුවන බලපෑම පිළිබද ඔබ මොහොතකට හෝ සිතා බැලුවාද?

වෙනදා ඔබ සංගීත සංදර්ශනයක් හෝ අලුතෙන් සිනමා ශාලාවට ආ චිත්‍රපටයක් වැනි දෙයක්, මඟ හරිනවද? නමුත් වර්තමානයේ එම තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වී ඇත. මිනිසුන් ආසාවකට හෝ සිනමා ශාලාවයකට පැමිණෙන්නේ නැත. සංගීත සංදර්ශනයක් යනු, නොයා යුතුම තැනක් ලෙස, මිනිසුන් තීරණය කර ඇත. සියලු ක්ෂේත්‍රයන්ගේ වත්මන් තත්ත්වය එයයි. මිනිසුන් වැඩි වශයෙන් රැස් වන්නේ කොතනද, අද ඒ සියලු තැන්හි ජනශුන්‍ය ය. ඒ තුළ, යම් වෘත්තියක, කළමණාකාරීත්වයේ සිට, ඉන් පහළට පවතින සියලු වෘත්තිකයන්ගේ ආර්ථික තත්ත්වය අඩාල වී ඇත. සිනමා කර්මාන්තයටද එය එසේමය. 

චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ සිට, අනෙකුත් සියලු ශිල්පීන්ගේ වෘත්තිමය තත්ත්වය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්නට නොහැකි තත්ත්වයක් මතුවී ඇත. එලෙස සිනමා වෘත්තියට එල්ල වන බලපෑම විවිධ දිශානතීන් තුළින් හදුනා ගත හැක. මෙම කාල වකවානුව තුළ, චිත්‍රපටයක් රූ ගත කරන්නේ නම්, එය දැඩි අපහසුතා මධ්‍යයේ සිදු කරන්නට වේ. රාත්‍රී දර්ශන රූගත කිරීම පවා බොහෝ අවස්ථා වලදී සිදු කිරීමට නොහැකි වේ. ඇතැම් දිනෙක, රටේ ආරක්ෂක හේතුන් මත, මුළු දිවයිනම ආවරණය වන ලෙස ඇඳිරි නීතිය පනවයි. එවිට, චිත්‍රපටය රූගත කිරීමට යොදාගත් දින, එය සිදු කිරීමට නොහැකි වේ. මේ නිසා චිත්‍රපට නිෂ්පාදකවරයා ඇතුළු සමස්ත ශිල්පීන්ට දැඩි අපහසුතා වලට මුහුණ පාන්නට සිදු වේ. මේ තුළ, සිනමා පටයක් නිර්මාණය කිරීමට, අදහසක් පවතින අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු එම අදහස අත්හැර දමයි. එබැවින් වර්තමානයේ, සිනමා කර්මාන්තයට අලුතෙන් චිත්‍රපට බිහිවීම අවම මට්ටමකට පත් වේ. ඒ තුළ, ලාංකීය සිනමාව දැඩි අර්බුදයකට පත් නොවන්නේද?

එසේම, නිර්මාණය අවසන් කළ චිත්‍රපටයක් වුවද, ජනතා ප්‍රදර්ශනය සඳහා යොමු කරන්නට අධ්‍යක්ෂවරුන් මෙම කාලවකවානුව තුළ, යම් උනන්දුවක් දක්වන්නේ නැත. ඒ සඳහා මිනිසුන්ගේ බියජනක සිතුවිලි ඉවත්ව ගොස්, මිනිසුන් සාමාන්‍ය ජන ජීවිතයට නැවත පත්වන තෙක්, අලුත් සිනමා පටයක්, සිනමා ශාලා තුළ, ප්‍රදර්ශනය නොවන්නට පුළුවන. එබැවින් එකම චිත්‍රපටය, දින 50, දින 75, දින 100 පසු කරමින් සිනමා ශාලා තුළ, ප්‍රදර්ශනය වේ. මෙය සිනමා කර්මාන්තයට ප්‍රබල තර්ජනයකි. එයට හේතුව, එකම සිනමා පටය, දැවැන්ත ආදායම් වාර්තා නොතබමින්, දින 100 පසු කලත්, ඒ තුළ, සිනමා කර්මාන්තයට වන සුභ සිද්ධියක් නොවන නිසාවෙනි.

21 වෙනිදා, ප්‍රහාරය තුළ, සිනමාවට එල්ල වූ දැවැන්ත ප්‍රහාරය නම්, මිනිසුන් සිනමා ශාලාවන්ට නොපැමිණීමයි.. මිනිසුන්ගේ සැකය, බිය සාධාරණය. නමුත්, ඒ තුළ, අනෙකුත් සියලු වෘත්තීන්ට මෙන්ම සිනමා කර්මාන්තයේ සිදු වන්නේ, ප්‍රබල කඩා වැටීමකි. අප්‍රේල් 21 වෙනිදා සිට මැයි 03 වෙනිදා දක්වා ඊ.ඒ.පි මාධ්‍ය ජාලයේ සියලු සිනමා ශාලාවන් වසා දමන ලදි. නැවත මැයි 03 වෙනිදා, ඊ.ඒ.පි  සිනමා ශාලාවන් විවෘත කළද, සිනමා දර්ශනයන් වෙත පැමිණියේ ඉතාමත් සීමිත පිරිසකි. සමහර දිනෙක, චිත්‍රපට දර්ශන නරඹන්නට කිසිදු පුද්ගලයෙකු පැමිණියේ නැති නිසාවෙන්, එම චිත්‍රපට දර්ශනයන් අවලංගු කරන්නටද සිදු විය. මෙය කර්මාන්තයක් ලෙස ගතහොත් දැවැන්ත කඩා වැටීමකි.

නමුත් මේ තුළ, කතා කළ යුතුම කරුණක් මතුව ඇත. එනම්, කෙතරම් කලබලකාරී, බියජනක වාතාවරණයක වුව, avengers සිනමා පටය house full වීමයි. සිංහල චිත්‍රපට නැරඹීමට නොයා, විදේශීය චිත්‍රපට වෙනුවෙන්, ලාංකීය ජනතාවට, බිය සැකය අමතක වීම හා අමතක කිරීම, පුදුම සහගත නොවේද? විදේශීය සිනමාවට උන්මාදයක් ලාංකීය මිනිසුන් සතුව පැවතීම ප්‍රත්‍යක්ෂ වීමට මෙය කදිම නිදසුනක් නොවන්නේද? කෙසේවෙතත්, 21 වෙනිදා ප්‍රහාරයෙන් පසුවද, විදේශීය සිනමාව මිනිසුන් ප්‍රතික්ෂේප නොකළද, ලාංකීය චිත්‍රපට මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. එබැවින්, සිංහල චිත්‍රපට සඳහා වූ ප්‍රේක්ෂකත්වය, පැවති තත්ත්වයෙනුත් තවත් පහළ අඩියකට වැටී ඇත. එබැවින් 21 වෙනිදා වූ ප්‍රහාරය, ලාංකීය සිනමා කර්මාන්තයට එල්ල වූ දැඩි ප්‍රහාරයකි. 

කෙසේ නමුත්, සිනමා ශාලාවන් තුළ, වෙනදාට සාපේක්ෂව ආරක්ෂක විධි විධාන තර කර ඇත. සිනමා දර්ශනයන්ට පැමිණෙන සියලු පුද්ගලයින්ගේ ගමන්මලු පරික්ෂා කිරීම හා එම ගමන්මලු සිනමා ශාලාව ඇතුළට රැගෙන යාමට ඉඩ නොදීම වැනි, ආරක්ෂක විධි වර්තමානයේ බොහෝ සිනමා ශාලාවන්හි කාර්යමණ්ඩලය භාවිතයට ගනියි. එබැවින් සිනමා ශාලා තුළ, ආරක්ෂාව පිළිබද ඔබ, අනිසි බියක් ඇති කරගත යුතු නැත. එසේම, අන්තවාදී මතයන්ට, 1948 ඇරඹි ලාංකීය සිනමාව පරිහානියට පත් කිරීමට ඉඩ නොදිය යුතුමය. මිනිසුන්ට සමාජයක් තුළ ජිවත් වන විට විවිධ අභියෝග පැමිණිය හැක. නමුත්, එම අභියෝග තුළ, අප බිඳ වැටිය යුතු නැත. එබැවින්, ඔබ හැකි සෑම විටම විමසිලිමත් බවකින් සිටිය යුතුම කාලය වර්තමානයේ උදා වී ඇත. සියලු ලාංකීය මිනිසුන්ගේ පොදු ජන ජීවිතය 21 වෙනිදා සිට බොහෝ සෙයින් වෙනස් වුවද, ඒ වෙනස තුළ, අප සැම බිඳ නොවැටී, හැකි ඉක්මනින් නැගී සිටිය යුතුමය. ඔබ එසේ ශක්තිමත්ව නැගී නොසිටින තුරු, සිනමා කර්මාන්තය ඇතුළු සියලු වෘත්තීන් සේම, මුළු මහත් රටම පරිහානියට යාම වැළැක්විය නොහැක. එබැවන්, සියලු ලාංකීය මිනිසුන් නැවත, එක්සත්ව, එක්සිත්ව, නැගී සිටීම HELAWOODPOPCORN අපේ ප්‍රාර්ථනයයි.
                                                                                                                                   අයි.ඒ. සචිනි නිමල්කා 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *