සුප්‍රකට බර්ලින් උළෙලට අපෙන් දෙන්නෙක්

ලෝක ප්‍රකට බර්ලින් සිනමා උළෙලට මෙවර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගේ සහභාගිත්වය ලැබී තිබෙනවා. ඒ සංස්කරණ ශිල්පී සමන් ඇල්විටිගලගේ සහ කලා අධ්‍යක්ෂ බිමල් දුෂ්මන්තගේ ය. ලෝකයේ ප්‍රමුඛ පෙලේ සම්මාන උළෙලවල් අතර ප්‍රමුඛම තැනක් හිමිවන ජර්මනියේ බර්ලින් සිනමා උළෙල මෙවර පැවැත්වෙන්නේ 69 වන වරටයි. ඒ අනුව සමන්ට හා බිමල්ට බර්ලින් උළෙල තුල ලැබී තිබෙන්නේ සුවිශේෂී අවස්ථාවන් දෙකක්ය.

සංස්කරණ ශිල්පී සමන් ඇල්විටිගල මෙවර බර්ලින් උළෙලට යන්නේ ඔහු සංස්කරණය කරන ලද ජාත්‍යන්තර චිත්‍රපටයක් වෙනුවෙනි. ඒ භූතාන ජාතික අධ්‍යක්ෂ ටාෂි යෙල්ට්ෂෙන් අධ්‍යක්ෂණය කරන ලද ‘The Red Phallus’ චිත්‍රපටය වෙනුවෙනි. එම චිත්‍රපටයේ කාර්යයන් සඳහා ඉන්දියාව නේපාලය ආදී රටවල් වලින් ශිල්පීන් සහභාගි වී තිබෙන අතර සංස්කරණය ලංකාවේ සමන් ඇල්විටිගල ගෙනි. ලෝකයේ තවත් ප්‍රමුඛ පෙළේ සිනමා උළෙලවල් රාශියක් නියෝජනය කිරීමට The Red Phallus සමත් වී තිබෙනවා.

සමන් ඇල්විටිගල

‘The Red Phallus’ චිත්‍රපටය Generation 14 + ඛාන්ඩයෙන් බර්ලින් උළෙලේ තරඟ කරන අතර දින කිහිපයක් වේලාවන් කිහිපයක චිත්‍රපටය ප්‍රදර්ශනය වේ. එමෙන්ම සමන් ඇල්විටිගල බර්ලින් ටැලන්ට් කැම්පස් හි පූර්ව සාමාජිකයෙක්ය. බර්ලින් ටැලන්ට් කැම්පස් යනු ලෝකයේ විවිධ රටවල් වල සිනමා ශිල්පීන් රාශියක් එක තැනකට එකතුවන විවිධ තේමාවන්ගෙන් සිනමාව ගැන ප්‍රායෝගික දේශන හා අත්දැකීම් බෙදා ගන්නා වැඩසටහනකි. එය බර්ලින් උළෙලට සමගාමීව ඔවුන් විසින්ම වසරකට වරක් සංවිධානය කරන වැඩසටහනකි. ලංකාවේ සිනමාවට සම්බන්ධ බොහෝ ශිල්පීන් මෙම වැඩසටහනට එක්ව තිබේ.

මෙවර බිමල් දුෂ්මන්ත නියෝජනය කරන්නේ එම වැඩසටහනයි. රටවල් 100 කට අධික සංඛ්‍යාවකින් තෝරා ගන්නා 250ක් වන ශිල්පීන් අතරට බිමල් තේරී තිබේ. මෙවර පූර්ව සාමාජිකයන්ගේ විශේෂ හමුවක් බර්ලිනයේ පැවැත්වූ අතර එයට එක්වූයේ මින් පෙර ටැලන්ට් කැම්පස් නියෝජනය නමුත් මෙවර උළෙලේ චිත්‍රපට නියෝජනය කරමින් පැමිණි පිරිසයි.

බිමල් දුෂ්මන්ත

එය අපූරු හමුවක් වී තිබූ අතර ඔවුන්ගේ තේමාව වී තිබුනේ Baby, I’m back යනුවෙන්.

බර්ලින් සිනමා උළෙල මෙවර සිනමාපට 400 කට අධික සංඛ්‍යාවක් විවිධ ඛාන්ඩ යටතේ ප්‍රදර්ශනය කරන අතර ඒවාට අධික ඉල්ලුමක් පවතී.

සමන් ඇල්විටිගල විමුක්ති ජයසුන්දරගේ ‘සුළඟ ගිනි අරන්’ චිත්‍රපටය ඇතුලු නව පරපුරේ අධ්‍යක්ෂවරු රැසකගේ සංස්කරණ ශිල්පියාය. බිමල් දුෂ්මන්ත යශෝධරා ඇතුලු වර්ණවත් චිත්‍රපට කිහිපයක කලා අධ්‍යක්ෂවරයාය.

The Red Phallus දර්ශනයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *