“ධර්මසිරිට ආදරය දෙමු! ” ගුණසිරි සිල්වා කියයි

ධර්මසිරිට ආදරය දෙමු!කළ මෙහෙයට කෘතගුණ සලකමු!

ධර්මසිරි බණ්ඩාරනායක දැඩි ලෙස රෝගාතුරවී සිටිතියි අසා මම බලවත් සේ කම්පනයට පත්වීමි.

මක්නිසාද යත් ඔහු ස්වකීය ජීවිත කාලයම කැප කළේ සිනමාව හා වේදිකාව ඔස්සේ මේ රටේ ජන විඥාණය පෝෂණය කරන්නටය. ගෙවල් දොරවල් හදන්නට හෝ යාන වාහන ගන්නට හෝ ආසාවක්වත් උවමනාවක් වත් ඔහුට නොවීය. සිනමාවෙන් හෝ වේදීකා නාට්‍යවලින් තොර ඔහුට ජීවිතයක් නොවූ තරම්ය. ඔහු ඒවායින් මුදල් ඉපැයූවේද නැත.

රංගනය වුවද ඔහු ආත්ම තෘප්තියක් කර ගත්තා මිස එය වෘත්තියක් කර නොගත්තේය. අවම වශයෙන් තම ජීවිතය පවත්වාගෙන යාහැකි සුරක්ෂිත මඟක් ගැනවත් ඔහු සිතුවේ නැත. මෑත කාලයේ ඔහුට තිබූ එකම අපේක්ෂාව තවත් අලුත් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට අර්ථපතියකු සොයා ගැනීමය. ‘බවදුක’ සහ ‘බව කර්ම’ අධ්‍යක්ෂණය කොට වසර 30 ක් ඉක්ම ගොස් ඇතත් ඔහුට සිනමාපටයක් නිෂ්පාදනය සදහා අර්ථපතියකු ඉදිරිපත් නොවීය.

එම නිසාම ධර්මසිරි සෑහෙන කාලයක සිට සිටියේ දැඩි කලකිරීමකිනි. නිර්මාණකරුවකුට නිර්මාණකරණයෙහි යෙදෙන්නට ඉඩ ප්‍රස්ථා ඇහිරීම තරම් කම්පනයක්, වේදනාවක්, හා කලකිරීමක් තවත් නැත. ධර්මසිරි ට ඇති අසනීපය එයයි.

ඔහු දැනට නවාතැන් ගෙන සිටින්නේ මහරගම බව කළු රංජිත්ගෙන් අසා දැනගත් විගස වහා ඔහු දකින්නට තිබූ උවමනාව බලවත් විය. කළු රංජිත් සහ අනිල් ජයවීර දෙමිතුරන් සමග ඊයේ හවස ධර්මසිරි බැහැ දකින්නට යන විට ඔහු නවාතැන ඉදිරිපස වටිනා කමිසයක් සහ සරමක් හැඳ සිනහ මුසු මුහුණින් පුටුවක වාඩිවී සැහැල්ලුවෙන් සිටිනු දැක අපි පුදුමයටත් සතුටටත් පත් වීමු. කිසිදු රෝගී ලක්ෂණයක් ඔහුගේ මුහුණින් පිළිබිඹු නොවීය.

‘ආ.. අද මුණත් හොඳයි’ රංජිත් කීවේය.

ධර්මසිරිගේ අසනීප තත්ත්වය ගැන ඇසීමෙන් පසු මා සමග කළ කතා බහෙදී ඔහුගේ මැසිවිල්ල මෙසේ විය

‘අපේ නිර්මාණ ගැන දැන් කාගේවත් සැලකිල්ලක් නෑ’

‘අපොයි නෑ. ධර්මසිරි හදපු චිත්‍රපට නාට්‍ය මේ රටේ ඉතිහාසයෙන් මකන්න බෑ.

අලුත් පරපුර ඔයාගෙ ‘හංසවිලක් ‘ අදටත් අගය කරනවා. ‘ඒකා -අධිපති’ ‘මකරාක්ෂයා‍’ ‘ධවල භීෂණ’ නාට්‍ය අදටත් ගැලපෙනවා. ඒවායේ එන දේශපාලන අරුත් වඩාත් අර්ථවත් වන්නේ අදටයි. ධර්මසිරි ඇයි ඔහොම හිතන්නේ. අලුත් පරපුර ඔයාට ආදරේයි හැමදාමත්’

මගේ ඒ වචන වලින් ධර්මසිරිගේ මුහුණ පෙරටත් වඩා ප්‍රභාවත් වූ සැටි අපි දුටුවෙමු.

‘විශේෂ ශාරීරික අපහසුවක් නැතිනම් තිර පිටපතත් ලියන්න’ මම කීවෙමි.

‘ඒකට හිත එකඟ කර ගන්න බෑ කොහොමද නිෂ්පාදකයෙක් හොයා ගන්නේ?’

‘හොඳ වැඩකට දායකවෙන්න කැමති මුදල් තියෙන අය ඉන්නවා පිටරටවල. ඒ වගේ කෙනෙක් සොයා ගන්න ධර්මසිරිට අපහසු වෙන එකක් නෑ. අපි වැටෙට බහිමු හෙමින්’

ඉන්පසු අපේ අල්ලාප සල්ලාපය සිනමාව. නාට්‍යය, චිත්‍ර කලාව, සාහිත්‍ය වැනි විෂයන් පිළිබදව විය.

ඒ හොරා කිහිපය ධර්මසිරි ගෙවූයේ සතුටිනි.

ධර්මසිරිගේ ‘හංස විලක්’ සම්බන්ධයෙන් මා එවකට කළ විචාරයෙන් ඔහු බොහො සෙයින් කණගාටුවට පත්ව සිටියේය.ඔහු ඒ බව මා සමග කීවේ එවකට ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටය නිමවා එහි නිෂ්පාදක බන්දුල ගුණවර්ධනගේ නිවසේ පැවැති සාදයකදීය.

එදායින් පසු අපි මිතුරො වීමු.

එසේ වුවද මීට තෙවසරකට පෙර මගේ සිනමා ග්‍රන්ථ හතරක් ඵළි දැක්වීම නිමිත්තෙන් තරංගනී සිනමා ශාලාවේදී පැවැති උත්සවයකදී ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේ මාත් සුනිල් මිහිදුකුලත් ඔහුගෙ ‘හංස විලක් විනාශ කළ බවකි. ඒ ධර්මසිරිය! කියන්න ඕනෑ තැන ඔහු කිව යුතු දේ මූනටම කියයි. (එදින නිකුත්වූ මා ලියූ කෘතියක පිදුම කෙරුණේ ධර්මසිරිටය. යථොක්ත ප්‍රකාශය ඔහු කළේ ඒ පොත ඔහුට පිළි ගැන්වූ මොහොතේය! ) ඔහුගේ ඒ පිළිවෙත මම අගය කරමි. අපගේ ලෙන්ගතු බවට එය බාධාවක් කර නොගත්තෙම‍

එදායින් පසුවත් අපි කිහිපවිටක්ම මධුවිත තොල ගාමින් අල්ලාප සල්ලාපයෙහිද යෙදුනෙමු.!

වෛද්‍ය ප්‍රතිකාර කටයුතුවලට පහසුව සදහා ධර්මසිරි පදිංචිව සිටින්නේ මහරගම පිළියන්දල පාරේ දෙමහල් නිවසක පහළ මාලයේය. එය ඔහුගේ නාට්‍යක රඟපාන රංගන ශිල්පියකුගේ පරිත්‍යාගයකි. කළු රංජිත් ප්‍රමුඛ සත්පුරුෂයන් කිහිපදෙනකුගේ දායකත්වයෙන් මාසික වැටුපක් ගෙවා ධර්මසිරි හොඳින් රැක බලා ගන්නා පුද්ගලයකු පත්කොට ඇත.


ධර්මසිරි බණ්ඩාරනායකට දැන් අවශ්‍ය මානසික විවේකය සහ ආදරයයි. ඔහුගේ නිර්මාණ වලට දක්වන ආදරයයි. ඔහු දැන් සිටිනවාටත් වඩා සුවපත් මනසින් හෙට දවසේ යළි නිර්මාණකරණයෙහි යෙදෙනු දැකීම අපගේ කැමැත්ත සහ ප්‍රාර්ථනයයි.

සටහන ගුණසිරි සිල්වා මහතාගේ මුහුණු පොතේ සටහන ඇසුරෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *