විදේශයකදී ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධාන කරන ලාංකික සිනමාපට මුල්කරගෙන පැවැත්වෙන පළමුවෙනි ජාත්‍යන්තර සිංහල සිනමා උළෙල

විදේශයකදී ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධාන කරන ලාංකික සිනමාපට මුල්කරගෙන පැවැත්වෙන පළමුවෙනි ජාත්‍යන්තර සිංහල සිනමා උළෙල වන Ceylon International Film Festival හෙවත් CEYIFF මේ මස 10, 11 සහ 12  යන තෙදින තුළ ඇමරිකාවේ කැලිෆෝනියාහි සැන්ටාබාබ්රා නගරයේ පැවැත්වෙනවා.  

එහි ලංකාවෙන් දීර්ඝ චිත්‍රපට කාණ්ඩය යටතේ තරගයට තේරී පත්ව තිබෙන්නේ සෝමරත්න දිසානායකගේ – ජංගි හොරා චිත්‍රපටය, බෙනට් රත්නායකගේ -කවුරුවත් දන්නෙ නෑ චිත්‍රපටය, සරත් කොතලාවල, කුමාර තිරිමාදුරගේ -ද නිව්ස්පේපර් චිත්‍රපටය, ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසරප චිත්‍රපටය,  චත්‍ර වීරමන්ගේ ආයු චිත්‍රපටය, මති සුතාගේ ඩාර්ක් ඩේස් ඔෆ් හෙවන් චිත්‍රපටය සහ ඉසුරු වීරසිංහ මුදලිගේ  ද ලෙටර් චිත්‍රපටය ලංකාවෙන් තරග කරනු ලබනවා. එහෙන්ම අශෝක හඳගමගේ ඇල්බොරාදා චිත්‍රපටය විශේෂ තිරගත කිරීම් අංශය යටතෙ පවතිනවා.

Ceylon International Film Festival හි ආරම්භක නිර්මාතෘවරිය වන්නේ අරුණි බොතේජු මහත්මියයි. ඇය ලංකාවේ ඉපදී, හැඳී වැඩී වර්තමානයේ අමෙරිකාවේ කැලිෆෝනියාවේ බෑන්ක් ඔෆ් ද වෙස්ට් හි සහකාර උප සභාපතිනිය ලෙසින් කටයුතු කරන කුඩා ව්‍යාපාර බැංකු නිලධාරිනියක්. අන්තර්ජාතික මට්ටමින් විශිෂ්ට සම්මානවලට පාත්‍රවෙමින් තිබෙන ශ්‍රී ලාංකික සිනමා කෘති සඳහා ලෝක වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලාංකේය සිනමා උලෙළක් ඇමෙරිකාවේ සැන්ටබාබරා නගරයේදී පැවැත්වීම ඇයගේ මුලික අරමුණයි.

සිංහල සිනමාව වෙනුවෙන් යමක් කළ යුතුයි කියන සිතුවිල්ලෙන් ඇය ඇරැඹි Ceylon International Film Festival හි ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂකවරිය ලෙස රුවනි හොරණගේ කටයුතු කරන අතර සංවිධායක කමිටුව  සුදේශ් මානාගොඩගේ, දිලාන් ගුණවර්ධන, සංජීවනී වීරසිංහ ඇතුළු පිරිසකගෙන් සමන්විත වනවා.

Ceylon International Film Festival හෙවත් CEYIFF නම් මෙම සම්මාන උළෙල ආරම්භ කිරීම ගැන සහ එහි ආරම්භය ගැන අරුණි බොතේජු මහත්මියගෙන් විමසා සිටියා.

මට මුලික වශයෙන් අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලාංකීය සිනමාව ඇමරිකාවේ ප්‍රමෝට් කිරීම. විශේෂයෙන්ම මම පෞද්ගලිකව සිනමාවට ආදරය කරන සිනමාවට කැමති කෙනෙක් නිසා මගේ ඒ ෆැෂන් එක තුළින් අනිත් අයට අවස්ථාවක් උදාකර දීමට අවශ්‍ය වුණා.මගේ අරමුණ ලංකාවේ වගේම වෙනත් රටවල ඉන්න චිත්‍රපට නිර්මාණකරුවන්ට ත් අවස්ථාවක් ලබා දීම. ඒ වගේම මගේ බලාපොරොත්තුව මෙහෙ තියෙන නිෂ්පාදන සමාගම් ලංකාවට ගේන එක. දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ආර්ථික ප්‍රශ්නය. ඒ නිසා මේක යම්තාක් දුරට ආර්ථික ප්‍රශ්න වලට විසදුම් ගේන මාර්ගයක් වෙන්න පුළුවන්. ලංකාවේ දක්ෂතා සපිරි ගොඩක් අය ඉන්නවා. ඒ අයට ඇමරිකාවේ නිෂ්පාදන ආයතන එක්ක වැඩ කරන්න අවස්ථාවන් අරන් දෙන්න පුළුවන්. මේ සියල්ල ගැන හිතලා තමයි මම මේ Ceylon International Film Festival එක පවත්වන්න හිතුවේ.

මෙම සම්මාන උළෙල ගැන මුහුරත් උළෙලක් පැවැත්වුණේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ. මම මේක පටන් ගන්න කලින් ප්‍රදීපා ධර්මදාස මහත්මිය හරහා අපේ චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා ට සහ රවින්ද්‍ර රන්දෙණිය මහතාට කතා කළා. එතකොට තමයි මම ඒ අයගෙන් දැන ගත්තේ මේ වගේ ෆිල්ම් ෆෙස්ටිවල් එකක් රටින් පිට වෙලා නැහැ කියන එක. ලංකාව තුළ කලම්බෝ ඉන්ටනැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් සහ ජැෆ්නා ඉන්ටනැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් තිබිලා තියෙනවා. නමුත් රටින් පිට තියෙන පළමු ඉන්ටනැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකක් තියෙන පළමු අවස්ථාව මේක. ඉතින් ඒ ගැන අහන්න ලැබුණාම සතුටක් වගේම බයක් දැනුණා කාන්තාවක් විදියට මම මේක කරන නිසා. ගොඩක් අය අගය කරන්න ගත්තා. ඒ අයට මම ස්තුවන්ත වෙනවා එක්කම මගෙත් පලමු අත්දැකීම නිසා පොඩි බයක් තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා සාර්ථකව කර ගන්න පුළුවන් වෙයි කියලා.

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර තමයි හොලිවුඩ් සිනමාවේ කේන්ද්‍රස්ථානය. ඇයි ඔබ මේ උළෙල ලොස් ඇන්ජලිස් වල කරන්නේ නැත්තේ..

ගොඩක් අය ඇහුව මගෙනුත් ඇයි මේක ලොස් ඇන්ජලිස් වල කරන්නේ නැත්තේ කියලා. එහෙ තියෙනවා 1000කට වැඩියෙන් Film Festival. මමත් මේක පටන් ගත්තොත් මේකට වැඩි විශේෂත්වයක් එන්නේ නැහැ. නමුත් සැන්ටාබාබ්රා වල තියෙන්නේ ලොකු එක Film Festival එකක්. ඒ ලෝක ප්‍රසිද්ධ සැන්ටාබාබ්රා ෆිල්ම් ෆෙස්ටිවල් එක. හැබැයි දැන් ඊළඟට තියෙන International Film Festival එක තමයි Ceylon International Film Festival එක. මම ලංකාවේ ඉපදිලා හැදිලා ඇමරිකාවට ඇවිත් දැන් මම ජිවත් වෙන්නේ දැන් අවුරුදු 25ක් තිස්සේ ඇමරිකාවේ කලිෆොනියාවේ තියෙන පොඩි ටවුන් එකක් වන සැන්ටාබාබ්රා වල. ඒ නිසා මම හිතුවේ සැන්ටාබාබ්රා තමයි Ceylon International Film Festival එක පටන් ගන්න හොඳම තැන කියලා. සැන්ටාබාබ්රා පොඩි ටවුන් එකක් වුණාට සෑහෙන්න කලාවට ෆැෂන් එකක් තියෙන සිටි එකක්.

කොහොමද ලැබුණු ප්‍රතිචාර

ලෝකය පුරා විසිරි ඉන්න නවක සහ ස්වාධින සිනමා නිර්මාණකරුවන්ට ආරාධනා කළා Film Freeway කියන world ෆ්ලැට්ෆෝම් එකෙන් ඒ අයගේ නිර්මාණ එවන්න කියලා. ඇත්තටම අපි අලුත්ම Film Festival එකක් හැටියට පටන් ගනිද්දී අපි බලාපොරොත්තු වුණේ නැහැ ලොකු පිරිසක්. අපි හිතුවේ උපරිම 20-30ක් වගේ පිරිසක් එකතුවෙයි කියලා. නමුත් අපි මේක ජනවාරි 20 වෙනිදා පටන් ගත්තම මාර්තු අග වෙද්දි අපිට ආවා Submission රටවල් 44කින් චිත්‍රපට 315ක්. අපේ තිබුණා Documentary film, Future film, Short film සහ Animation film නමින් කැටගරි. අලුත්  Film Festival එකක් හැටියට ඒක අපි ලබපු හොඳ සාර්ථකත්වයක්. ඒ වගේම ස්වාධින සිනමා නිර්මාණකරුවන් මට පෞද්ගලිකව ඊමේල් කරලා තිබුණා ඒ අයගේ තියෙන අපහසුතාවයන් සහ ප්‍රශ්න. මට පුළුවන් වුණා ඒ අයවත් දිරිමත් කරලා මේ සඳහා එකතු කරගන්න. මොකද මම මේ Film Festival එක පටන් ගත්තෙම ඒ වගේ ආධුනික අයට අත දෙන්න බලපොරොත්තුවෙන්.

පලවෙනි සම්මාන උළෙල නිසා අභියෝග ඇති

අභියෝග ගැන කතා කරනවා නම් ඒ අභියෝග ටික එකතු කරලා චිත්‍රපටයක් හදන්න පුළුවන්. එතරම් අභියෝග තියෙනවා. කාන්තාවක් හැටියට මම මේ වෙනුවෙන් සෑහෙන්න අභියෝග වලට මුහුණ දුන්නා. නමුත් ඒ දේවල් ගැනම හිතුවොත් අපිට මේක කවදාවත් කරන්න බැරිවෙනවා. මම ඒ නිසා මම අභියෝග දකින්නේ එක්තරා විදියකට ගුරුවරයෙක් විදියට. ඒ නිසා මම හිතනවා ඒ අභියෝග මට ලැබුණු පාඩම්. අපි බලන්න ඕනේ ඒ දේවල් වලට විසඳුම් හොයාගෙන ඉදිරියට යන්නේ කොහොමද කියලා.

අවසාන වශයෙන් අපි කතා කරොත් මෙම සම්මාන උළෙලේ ජුරිය ගැන

විදෙස් ජුරි එකක් මෙතැනදී මම සම්බන්ධ කර ගත්තේ. ඒ අය ප්‍රථම වතාවට ලංකාවේ සිනමාවේ තියෙන පරාසයන් දකින්නේ. ඒ නිසා ඒ අයගේ අපක්ෂපාති තීරණයක් තමයි අවසන් තීරණය වෙන්නේ. ජුරියේ සභාපති විදියට කටයුතු කරන්නේ Marc Gareton. ජුරියේ සෙසු සාමාජිකයින් විදියට ඉන්නවා Douglas Montgomery, Carlos Sanchez, Oscar Gutierrez, Isabelle Carpentier, Shanshan Sun, Claude Gagnon.

අනුෂා රණසිංහ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *