”ආදරයයි” මෙම අරගලයට මගපෙන්නුවේ”

“දෙපයින් නැගී සිටින්නන් සෑම විටමසත්‍යයට සමීපයි.

නිවට බයගුල්ලනි,අපි යටත් වෙයි කියා සිතන්න එපා

මෙහි බොහෝ ආයුධ නැත”ආදරයයි” මෙම අරගලයට මගපෙන්නුවේ”

Jai Bhim චිත්‍රපටය ඉන්දියාව තුළ මෙන්ම ලංකාව තුළ ද දැඩි කතාබහට ලක් වු චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය පිළිබඳ ලිපි රාශියක් පසුගිය දින වල මෙන්ම තවමත් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරණු දක්නට ලැබේ. මේ ඒ චිත්‍රපටය පිළිබඳ මට දැනුණ අදහසයි.


ඉන්දියාව යනු විවිධත්වය පිරුණු ලොව ඇති විශාල රාජ්‍යයකි. එහි ඇති ජාති, කුල ,ආගම්, භාෂාවන්, සංස්කෘතින් ආදීය අති විශාලය. කුල ක්‍රමය තදින්ම ක්‍රියාත්මක වන රාජ්‍යයක් වන ඉන්දියාව තුළ පහළ කුල වල පුද්ගලයන්ට අත් වන ඉරණම අතී ශෝචනීය ය. අපි එවැනි කතා පුවත් මාධ්‍ය ඔස්සේ ඕනෑ තරම් දැක ඇත්තෙමු. මෙම චිත්‍රපටය තුළින් ද අප ඉදිරියේ ගෙන හැර දක්වන්නේ එවන් පහළ කුලයකට අයත් වු ජන කොටසකගේ කතාවය. ඔවුන්ගේ වේදනාවන් ය.


කතාව ආරම්භයේ දි රත්තරන් සොරකමකට අදාළව රාජකන්නූ සහා ඔහුගේ සහෝදරයන් දෙදෙනෙකුව පොලිස් සිර භාරයට ගනු ලබන අතර එම සොරකම තමන් කළ බවට වරද පිළිගන්න යැයි පවසමින් පොලිස් නිලධාරීන් රාජකන්නූට සහා ඔහුගේ සහෝදරයන් දෙදෙනාට අප්‍රමාණ වදහිංසා පමුණුවනු ලබනවා. කෙතරම් වද හිංසා පමුණුව ද රාජකන්නූ ඔහු විසින් සිදු නොකළ වරදකට වරදකරුවකු විම ප්‍රතික්ෂේප කරනු ලබනවා. දිගින් දිගටම වදහිංසා පමුණුව ද රාජකන්නූ සිය නීර්දෝශිභාවය පොලිස් නිලධාරීන් ඉදිරියේ ප්‍රකාශ කර සිටින අතර අවසානයේ පොලිස් පහරදීම් හමුවේ රාජකන්නූ පොලිස් ස්ථානය තුළ ම මිය යනු ලබනවා.

පොලිස් භාරයේ සිටි සිය සැමියාගේ අතුරුදහන් විම රාජකන්නූගේ බිරිඳ වන සෙංගනිට විශාල සැකයක් ඇති කරනු ලබනවා. ඇය දරුප්‍රසුතියට සුදානමින් සිටි ගැබිනියක් වුවද ඇය සිය දරුගැබත් ඔසවාගෙන පිස්සියක මෙන් අතුරුදහන් වු සැමියාව සොයා ඇවිද යනවා. ඇය පොලිස් නිලධාරීන්ගෙන් සැමියා පිළිබඳ ඇසුවද ඔවුන් කියා සිටින්නේ රාජකන්නූ පොලිසියෙන් පළාගිය බවය. එම කතා පුවත විශ්වාස නොකරන සෙංගනි සිය සැමියාගේ අතුරුදහන් විම සම්බන්ධයයෙන් කරුණු දැන ගැනිම සඳහා නීතියේ සහය පැතිමට තිරණය කරනවා. ඇයට ඒ සඳහා ඔවුන්ගේ ගමට පැමිණි ස්වෙච්ඡා ගුරුවරියකගේ සහය ලැබෙනවා. අවසානයේ ඇය හබයාස් කොපස් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කරණු ලබනවා. ඇය විසින් ගොනු කරනු ලබන මෙම පෙත්සමට පෙනි සිටින්නේ චන්දෘ නම් වු අධිනීතිඥවරයා ය.

හබයාස් කොපස් නීතිය යනු යටත් විජිත යුගයේදී ඉංග්‍රිසි පොදු නිතීයෙන් ලබා දුන් නීතියකි. අයුතු ලෙස සිරගත කර රදවා තබා සිටින කෙනෙක්ව නිදහස් කර ගැනිම සඳහා මෙම නීතිය භාවිතා කරනු ලබනවා. මෙම නීතිය සම්බන්ධව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද 140,141 යන වගන්ති වල සදහන් වේ. රාජකන්නූට සාධාරණයක් ඉටු කර දිම සඳහා චන්දෘ විසින් කරුණු රැස් කරන්නේද මෙම නීතියට අනුකුලවය.

Jai Bhim චිත්‍රපටයට පාදක වන්නේ ඉන්දියාව තුළ සිදු වු සත්‍ය කතා පුවතකි. චිත්‍රපටය නැරඹු අවස්ථාවේදි මගේ මතකයට නැගුණේ මෙම චිත්‍රපටයේ එන ආකාරයේ සිදුවිම් කොතෙක් නම් මේ දුපත තුළ ද සිදු වන්නට ඇත්දැයි යන්නය. මේ දුපත තුළ අතුරුදහන් වු ප්‍රගිත් එක්නැලිගොඩ, ලලිත් කුගන් වැනි චරිත මගේ මතකයට නැගේ. ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය තුළ රාජකන්නූගේ මරණයට සාදාරණයක් ඉටු වුවද මේ දුපත තුළ තවමත් මෙම චරිත වලට කුමක් සිදු වුවාද යන්න පිළිබඳව කිසිදු නීතිමය විසදුමක් ලැබි නැත.

සෙංගනි සිය සැමියා වන රාජකන්නුගේ අතුරුදහන් විම දැනගත් පසු ඇය පිස්සියක මෙන් සිය සැමියාව සොයා යන අවස්ථාවේදි මගේ මතකයට නැගුණේ තම සැමියාගේ, ළමයින්ගේ අතුරුදහන්විම් වලට ආදාළව සාධාරණයක් ඉල්ලා අරගලයක යෙදෙන උතුරේ මෙන්ම දකුණේ මිනිසුන් හා ගැහැණුන් ය. සෙංගනි මෙන් සිය සැමියාට සිදුවු අසාධාරණය හේතුවෙන් නොකඩවා අරගලයේ යෙදුණු චරිතයකි සන්ධ්‍යා එක්නැළිගොඩ. සෙන්ගනිට සිය සැමියාගේ අතුරුදහන් විම පිළිබඳව කරුණු දැන ගැනිමට හැකි වුවද සන්ධ්‍යා එක්නැළිගොඩට තවමත් ඇගේ සැමියගේ අතුරුදහන් විම පිළිබඳව කිසිදු සාධාරණයක් ලැබි නැත. ඇය වසර 12 ආසන්න කාලයක් සිය සැමියා වෙනුවෙනුන් සාධාරණයක් ඉල්ලා තවමත් අරගලයේ යෙදෙමින් සිටියි.

අපි ඉන්දියාවෙන් අපේ රට දෙසට හැරි බැලුවහොත් අපේ රටේ තත්වයෙත් වෙනසක් නැතැයි මට සිතේ. මන්ද අතීතයේ මෙන්ම වර්තමානයේත් යම් සොරකමක් හෝ මංකොල්ලකෑමක් සිදු වු විගසම පොලිස් ජිප් රථ කඩා වදින්නේ සමාජයේ පිළිගැනිමකට ලක් නොවු පැල්පත් ප්‍රදේශ වල ජිවත් වෙන පුද්ගලයන් වෙතටය. නීතියේ ඇති විශාල සිදුරු වලින් ලොකු ලොකු පුද්ගලයන් රිංගා යන අතර කිසිවක් කර ගත නොහැකි පුද්ගලයන් එම දැලට හසු විම සාමාන්‍ය දෙයකි. ඇතැම් විට එම සමාජයේ සිටින නිර්දෝශි පුද්ගලයෙකුට වුවද සිරමැදිරියක කූරු ගනින්නට සිදුවු අවස්ථා මේ දුපත තුළ අපි අසා ඇත්තෙමු. එවැනි පුද්ගලයන්ට සිදු වු අසාධාරණය හේතුවෙන් හඩක් නැගිමට ක්‍රමයක් එම පුද්ගලයන්ගේ පවුලේ උදවියට ද නොවන බැවින් වරදක් නොකරම ඔවුහු සිරගත වෙති.

අප රට තුළ ද පොලිස් අත්අඩංගුවේ පසු වු රෑදවියන් ඝාතනයට ලක් වු අවස්ථා ඕනෑ තරම් ඇති බව අපි දනිමු. ඔත්තුවක් ලබා දිමට හෝ සඟවා තිබු ආයුධ පෙන්විමට හෝ වෙනයම් දෙයක් පෙන්විමට ගොස් වෙඩිකා මිය ගිය සැකකරුවන්, රෑදවියන්ගේ කතා පුවත් වර්තමානය වන විට සාමාන්‍ය සිදුවිම් වි හමාරය. එම පුද්ගලයන්ගේ මිය යාම අපට එතරම් තදින් දැනෙන්නේ ද නැත. මන්ද එලෙස ඝාතනයට ලක් වන්නේ ද තවත් අපරාධකරුවෙක් වන බැවිනි. ඇතැම් විට එවැනි චරිතයක් ඝාතනය විම අපට ද සතුටක් ගෙන දෙන පුවතක් විය හැකිය. මන්ද ඇතැම් චරිත පිළිබඳව මාධ්‍ය විසින් අපට ලබා දුන් ප්‍රතිරූපය එය වන බැවිනි. කිසිවෙකුත් උපතින්ම අපරාධකාරයෙකු, සොරෙකු, මංකොල්ලකාරයෙකු වි උපත ලැබුවේ නැත. සියල්ලෝ උපත ලැබුවේ මනුෂ්‍යයන් ලෙසය. එම නිසා එවන් චරිත බිහි වි ඇත්තේ පවතින සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රියාවලිය නිසාම බව අප පිළිගත යුතුය. එවන් චරිතයක් බිහි විමට අප ද දැන හෝ නොදැන මේ සමාජ ක්‍රමය තුළ දායක වන්නට ඇත. එම නිසා අප පළමුව එවන් පුද්ගලයෙක්ට බිහි විමට ඇති සමාජ, ආර්ථික, දේශපාලන පසුබිම විනාශ කර දැමිය යුතුය.

“හොරකමින් තොර ජාතියක් තියෙනවාද නටරාජ්… ඔයාගේ ජාතිය, මගේ ජාතිය, හැම ජාතියකම ලොකු ලොකු හොරු ඉන්නවා. මුලින්ම ජාතිය ගැන කියලා මිනිස්සු වෙන් කරන එක නවත්වන්න.” මේ චන්දෘ විසින් නටරාජ්ට පවසන වදන්‍ ය. මෙම චිත්‍රපටයේ මට ඉතා තදින් දැනුණ එක් දෙබසකි එය. චන්දෘගේ එම වදන් නැවත වරක් විස්තර කිරිමෙන් තෙරුමක් නැත. එහි සැබෑ යථාර්ථය ගැබ් වි ඇතැයි මට සිතේ. අපි ජාති, ආගම් වලට බෙදි ජිවත් විමෙන් අපට ලැබෙන සෙතක් නැති බව තෙරුම් ගනිමින් ජිවත් විය යුතු කාලය දැන් පැමිණ ඇත.

Jai Bhim චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රඟ දක්වන චන්දෘ නම් වු මහධිකරණ නීතිඥයාගේ චරිතයෙන් ද ප්‍රේක්ෂකයාට ලබා දෙන උත්තේජනය සුලු පටු නොවේ. චන්දෘ යනු වාමවාදි දේශපාලන චරිතයකි. ඔහු රැකියාවට යාමට පෙරාතුව පොස්ටර් අළවන අතර, තැනින් තැනට යමින් අත්පත්‍රිකා බෙදා හරිමින් ඉන්පසු උසාවියට ගොස් නඩු කතා කරයි. විටෙක උද්ඝෝෂණ පෙළපාලි වල ඉදිරියෙන් සිටින ඔහූ තවත් විටෙක මානවහිමිකම් නඩු වලට සිය සේවාදායකයන්ගෙන් කිසිදු මුදලක් අය නොකරම ඔවුන්ගේ නඩු වෙනුවෙන් පෙනි සිටියි. චන්දෘ එක් අවස්ථාවක සෙංගනිට මෙලෙස ප්‍රකාශ කරනවා..

“ඉපදෙනකොටම මම නිතීඥයෙක් වෙලා ඉපදුනේ නෑ, මනුස්සයෙක් වෙලා ඉපදුනේ”

ඇතම් විට විවිධ පුද්ගලයන් සිය රැකියාවෙන් හෝ වෙනත් අංශයකින් ඉහළටයාමත් සමඟම ඔවුන්ට මනුස්සකම් අමතක වන මෙවන් යුගයක චන්දෘ අපට පවසන්නේ සෑම මොහෝතකම මනුෂ්‍යත්වයේ දෑත් පීඩිතයා වෙනුවෙන් යොමු කළ යුතු බවය. චන්දෘ යනු එය වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කළ චරිතයකි. කෙනෙකුගේ හැකියාවට ගෞරවය ලැබෙන්නේ, එයින් ඔහු කරන්නේ කුමක්ද යන්න කියන දෙය අනුවය.

මෙය සත්‍ය සිදුවිමක් ඇසුරෙන් සිදු කළ චිත්‍රපටයක් වුවද එහි නිෂ්පාදකවරුන් යම් අභියෝගයක් ගෙන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇතැයි මට සිතේ. මන්ද දකුණු ඉන්දියානු සිනමාව තුළ බිහි වන මෙවන් චිත්‍රපට වල කතාවන් ගොඩ නැගෙන්නේ ප්‍රාධාන චරිතය වටා ගෙතුණු ආදර කතාවක් මුලික කර ගෙනය. නමුත් ජය බිම් එම රේඛාවෙන් පිටට පැමිණ නිර්මාණය වු චිත්‍රපටයකි. Jai Bhim චිත්‍රපටය සාර්ථක නිර්මාණයක් යැයි මට සිතේ. මෙම චිත්‍රපටය ඔබටත් බලන්නට ආරාධනා කරන අතර මෙම චිත්‍රපටයේම එන ගිතයක කොටසකින් මෙය අවසන් කරමි.

“ඔබ කවුද මට නියෝග දෙන්න?දෙපයින් නැගී සිටින්නන් සෑම විටමසත්‍යයට සමීපයිනිවට බයගුල්ලනි,අපි යටත් වෙයි කියා සිතන්න එපාමෙහි බොහෝ ආයුධ නැත”ආදරයයි” මෙම අරගලයට මගපෙන්නුවේ”

උපුටා ගත්තේ සිනමාවේදීන් – The Cinema People පිටුවෙන් සහ සටහන ලියන්නේ සචිත් ඩයෙන්ද්‍ර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *