සිංහල සිනමාවේ “ජැකී චෑන්” දිවිගමනට සමුදෙයි

කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඉගෙනීම ලැබූ 16 හැවිරිදි ශිෂ්‍යයෙක් ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ද ගිනි වළලු අතරින් පැනීමෙන් ද පාසල් සිසුන් අතර ජනප්‍රියව සිටියේය. ඔහු ගිනි වළලු අතරින් පනින අවදානම් පිම්ම බැලීමට පහළ පන්තිවල ළමුන් ද පාසල් ක්‍රීඩා පිටියට රැස් කෑහ. මේ 1955 දී පමණ සිදු වූ සිද්ධියකි. මේ ශිෂ්‍යයා වසරේ පැවැත්වෙන විද්‍යාලීය ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ක්‍රීඩා කෞශල්‍යයෙන් යුතු ශිෂ්‍යයන්ට පිරිනැමෙන ‘කලර්ස්‘ (වර්ණ) වලින් හොඳම ජිම්නාස්ටික් ශූරයා ලෙස සම්මාන ලබද්දී ශිෂ්‍යයෝ අසුන්වලින් නැගිට කණ පැළෙන තරමේ අත්පොළසන් දුන්හ. හරියට ඊට වසර හයකට පසු රිදී තිරයේ ඔහු සටන් නළුවකු ලෙස දස්කම් පාන විට සිනමා ප්‍රේක්ෂකයෝ උඩ පැන පැන ප්‍රතිචාර දැක්වූ හැටි මගේ දෑසින්ම දැක තිබුණේය.

එදා ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ වීරයා ද රිදී තිරයේ නවක සටන් නළුවා වූ ඔහු වැඩි කලක් යන්නට පෙර සටන් නළුවකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හා නිෂ්පාදකවරයකු ලෙස සිංහල සිනමාවේ කැපී පෙනුණේය.ඔහු නමින් රොබින් ප්‍රනාන්දු ය. තම පාසල් කාලයේ රසවත් අත්දැකීම් අපට විස්තර කළේ මෙසේය.“මගේ පන්තියේ හිටිය හොඳම මිත්‍රයා එච්.ඒ. සෙනෙවිරත්න. පසුව අධිනීතිඥයෙක්, වෘත්තීය සමිති නායකයකු, සිනමා විචාරකයකු, රාජ්‍ය සම්මාන දිනූ නවකතාකරුවකු වූ ‘සෙනෙවි‘ ඉගෙනීමට දක්ෂයෙක්. ඉංග්‍රීසි විවාද කණ්ඩායමේ හොඳම කථිකයා වූ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරිම පුදුමයක් නෙවෙයි. මට වඩා ඉහළ පන්තිවල සිටි, පසුව සිනමාවට සම්බන්ධ වූ පසුකාලිනව චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වූ ලෙනින් මොරායස් හා ප්‍රේමනාත් මොරායස්. අපට පහළ පන්තිවල ඉගෙන ගත් පසුව සිනමාවට එක්වූ චිත්‍රපට නළුවන් තමයි විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙනිය, සුදේශ් ගුණරත්න, රෝයි හඳපාන්ගොඩ හා සංගීතඥයකු වූ මිල්රෝයි ධර්මරත්න.“

රොබින් ප්‍රනාන්දු 1963 පාසලින් සමුගෙන කොළඹ මැක්වුඩ් සමාගමේ රැකියාවට යයි. කොටහේනේ වාසල පාරේ තම නිවසේ සිට යන එන මේ කඩවසම් තරුණයා ගැන එම පාරේම නිවසක පදිංචිව සිටි ආරියරත්න කහවිට බලා සිටියේය. කහවිට යනු එවකට කොටහේනේ සිනමාස් සමාගම මඟින් ප්‍රකාශයට පත්කළ ‘කලා‘ සිනමා සඟරාවේ සංස්කාරකය. ඔහු අසල්වාසී නිවසක පදිංචි රොබින්ගේ ජිම්නාස්ටික් දක්ෂතා ගැන පුවත්පත්වලින් දැක තිබුණි. මේ දෙදෙනාම සිනා සී “ගුඩ් මෝනිං“ කීමට පමණක් ඇසුර සීමාව තිබුණාහ. දිනක් කහවිට, රොබින් පාරෙන් එනතුරු බලා සිටියේ අපූරු යෝජනාවක් කිරීමටය.


රොබින් ගුඩ් මෝනිං“
ගුඩ් මෝනිං ටූ යූ. මිස්ටර් කහවිට“
“රොබින් කැමති ද? චිත්‍රපටයක රඟපාන්න. හැබැයි ෆයිට් සීන් එකකට“
“කමැතියි…. මිස්ටර් කහවිට.“

ආරියරත්න කහවිට විසින් දිනක් රොබින්ව චිත්‍රපට අධ්‍යක්ෂ ටයිටස් තොටවත්තට හඳුන්වා දුන්නේය. රොබින් ඕනෑම අවදානමක් ගැනීමට සූදානම් බව සපථ කළේය. ඒ ගැන රොබින් විස්තර කරන්නේ මෙහෙම.

“එදා තමයි එදා. අධ්‍යක්ෂ ටයිටස් මහත්තයා මාව කොටහේනේ නාගරික සභා පිහිනුම් තටාකය ළඟට ගෙන ගියා. එතැන සියලුම කැමරා ආම්පන්න සූදානමින් තිබුණා. ඒ සමඟම මම දැක්කා ගාමිණී ෆොන්සේකා සිගරැට්ටුවක් ස්ටයිල් එකට දල්වාගෙන නිෂ්පාදක ගුණරත්නම් මහතා එක්ක කතා කරමින් සිටිනවා. ටයි මහත්තයා මාව ඒ දෙන්නට අඳුන්වල දුන්නා. මේ පිහිනුම් තටාකය මට හොඳට හුරුයි. අපේ ගමේනේ. “චණ්ඩියා“ චිත්‍රපටය දැකපු අයට මේ දර්ශනය ගැන හොඳට මතක ඇති. මේ චිත්‍රපටයේදී චුට්ටේ ලෙස රඟපාන ගාමිණී පිහිනුම් තටාංගණයේ ඉණිමඟ දිගේ උඩට යන විට ඔහුව හඹා ගසේ සටන් කිරීම. අපි දෙදෙනා හරි හරියට සටන් කළා. මම ජිම්නාස්ටික් හා කරාටේ සටන් උපයෝගි කර ගත්තා. අපි දෙන්නම විටක ඇත්තට සටන් කළා. ගාමිණී සටන් කරන ගමන් ඉණිමඟේ ඉහළට ම ගියා. අවසාන දර්ශනයේ ගාමිණීගේ අඩි 50 ක් පමණ උසකටම මම ගාමිණී ලුහුබඳිනවා. දැන් අපි දෙන්නා පිහිනුම්කරුවන් පහළට පනින තැන පුංචි ඉඩෙත් සටන් කරනවා. මට තිබුණේ ගාමිණී අවසාන පහරින් අඩි 50 ක උසක සිට මුණින් අතට පිහිනුම් තටාකයට වැටීමට. එදා දර්ශනය සාර්ථකව රූගත වුණා. මේ දර්ශනය බටහිර චිත්‍රපටවල මෙන් ප්‍රේක්ෂකයන්ට දැනුණේ අධ්‍යක්ෂ ටයි මහත්තයාගේ නිර්මාණශීලී සංස්කරණය නිසා. මේ චිත්‍රපටයේ සටන් දර්ශනයට 1964 දී රුපියල් 300 ක් ලැබුණා. ඒ කාලේ එක දිනකට ඒක ලොකු මුදලක්. එදා මට සල්ලිවලට වඩා වටිනවා ඒ ලැබුණ අවස්ථාව. චිත්‍රපටය තිරගත වුණේ 1965 දී.

රොබින් ඉන්පසු සැඟවෙන සෙවණැල්ල, කපටිකම, හතර කේන්දරේ, සොරුන්ගෙත් සොරු, පිනිබිඳු, ඉඳුනිල, බයිසිකල් හොරා චිත්‍රපටවලින් එතෙක් සිංහල සිනමාවේ නොතිබුණ සටන් නළුවෙකු ලෙස අතිශයින් ජනප්‍රිය විය. සිංහල සිනමාවට කරාටේ සටන් හඳුන්වා දුන්නේ රොබින්ය.

ටෙලිවිෂනයේ, බෝගල සවුන්දිරිස් ටෙලිනාට්‍යයේ ජෙරම්ගේ චරිතය කැපී පෙනුණා…

“සිනමා නළුවෙකු ලෙස නැඟී සිටීමට මට අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදු වුණා. මම පාසලේ දී කරාටේ, බොක්සිං, මල්ලව පොර දැනගෙන සිටීම වාසියක් වුණා. “කපටිකම“ චිත්‍රපටය බලපු අයට මතක ඇති මම හෝටලයක කාමරයක් තුළ ඔස්වල්ඩ් ජයසිංහ එක්ක කරන සටන. මේ සටනේදී ඔස්වල්ඩ්ට කරාටි ඉගැන්වීමට දෙතුන් දවසක් ගියා. ඔස්වල්ඩ් චිත්‍රපටයේ පෙම්වතා නිසා ඔහු අන්තීමට සටනින් ජය ලබන්න ඉඩ තියෙන්න ඕන. අපි දෙන්නා සටනට ලෑස්ති වෙන විට බිම කාපට් එකක් තිබුණා. මම මුලින්ම කළේ ඒ කාපට් එක ඇදල ඔස්වල්ඩ් බිම වැට්ටීම. අපි දෙන්නා කරට කර සටන් කළා. මේ දර්ශනය බැලීමටම ප්‍රේක්ෂකයෝ ආවා. මට සිනමාශාලා හිමියන් කිව්වේ මේ ෆයිට් සීන් එක යන විට ගැලරිය සීට්වලින් නැගිටලා බැලූ බව. තව දිග වුණත් ඒක බලන්න ආසා බවයි ඒ මැනේජර්ලාගේ මතය. ඔස්වල්ඩ් හොඳට ශාස්ත්‍රය ඉගෙන ගත්තා.“බයිසිකල් හොරා“ චිත්‍රපටයේ මා සමඟ ෆයිට් කරන විට ඔස්වල්ඩ් කරාටි වලින් හොඳට වැඩ ගත්තා. මේ චිත්‍රපටයේ එක දර්ශනයකදී තට්ටු හතරක බිල්ඩිමකින් පහත සිටින ඔස්වල්ඩ්ගේ කරට පනින්න තිබුණා. බිමට වැටුණ මගේ කකුල පෙරළිලා සුමාන දෙකක් ඇවිදින්න බැරිව හිටියා.“

රොබින් කියන අන්දමට ටයිටස් තොටවත්තගේ චිත්‍රපට වලදී තමාට රඟපෑමට ලැබී ඇත්තේ බෙල්ල කැඩෙන බිහිසුණු සටන් දර්ශනවලට මුහුණ දීමටලු. ජීවිතය පරදුවට තබා කරන වැඩලු. “හාර ලක්ෂය“ චිත්‍රපයේ තිබුණු සටන් දර්ශනය නැරඹූ අයට එදා නම් අපූරු කුතුහලයක් ලැබුණු බව නම් නිසැකය. රොබින් තම සිනමා ජීවිතයේ අසීරුම චරිතය රඟපෑවේ හාර ලක්ෂයේ බව කියා ඇත.

සිහසුන“ චිත්‍රපටයේ රොබින් හා ජපන් සමඟ (නීලවතුර විජේවර්ධන) වෑන් එකක් උඩ කළ සටන ද “අපේක්ෂා“ චිත්‍රපටයේ රොබින් හා නවක නළු (අකාලයේ මිය ගිය) රන්ජන් මෙන්ඩිස් සමඟ ද ‘රක්තා“ චිත්‍රපටයේදී මර්වින් ජයත්‍රංග සමඟ දුන්නෙන් විදීමට පුහුණු කොට ඔහු සමඟ සටන් දර්ශනද කළ ඔහු ‘රක්තා‘ ලෙස රඟ පෑ මාලිනි ෆොන්සේකාට සටන් පුහුණු කළේය. කඩු සටන්වලදි රොබින් නිපුණතාවය පිළිබිඹු කළේ ‘සංඛපාලි‘ චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා සමඟ කළ සටන් දර්ශන තුළිනි.

තම සිනමා දිවියට වසර 55ක් සපිරෙන මොහොතේ මෙම අතිදක්ෂ ක්‍රියාදාම රංගන ශිල්පියා ඊයේ දිනයේ අපහැර ගියේය..ඒ වනවිට ඔහු 84වන වියේ පසුවිය..

ඔහුට නිවන්සුව අත්වේවා

සටහන තුෂා එස් වීරසිංහ – සිනමාවේදීන් – The Cinema People සමුහය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *