ස්තූතියි නැවත එන්න.(2010)

අපෙ රටේ කාලයක් තිස්සේම යුද්ධය නිසා ඇතිවෙච්ච දරදඬුවේදනාවන් එක්කලා ඒ අතීත සංතාප මාවත දිගෙ ඇවිදන් ගියා වගේ හැගීමක් මට සුමිත් රෝහණ තිත්තවැල්ගල මහත්තයා අධ්‍යක්ෂණය කළ ” ස්තූතියි නැවත එන්න ” සිනමා නිර්මාණය නරඹා හමාර වෙද්දි දැණුනෙ …ඒ ගිනිගත්ත හිත්වලට වැහිදියක්වත් නැතිව හූල්ලන්ඩ සිද්ධ වෙන එක දෛවය තුළ නිර්මාණ වෙච්ච මොනවිදියේ අසම්මජ්ජාති පවුකාරකමක හෙවණැලිද කියන්න මං දන්නෙ නෑ ….ඉගෙන ගන්න වයසෙ ළමයි ඉස්කෝලෙ නොයා හේනට යන එක, පස්ස හෝදගන්න තරමට වතුර බිදක් හදිසියකට හොයන්ඩ නැතුව ඒ කරකුට්ටන් වෙන ජීවිතවලට බලාපොරොත්තුවක වැහිදියක් කවදා නම් ලැබේවිද..එහෙවු දුෂ්කර පළාතකට සේවාමාරුවක් ස්වකැමැත්තෙන් යුතුව හෝ තොරව ලබා එන ගුරුවරු කොයිතරම් අල්පද…

ඉතින් එහෙවු දුෂ්කර පළාතකක පාසලක සේවය කරන ගුරුවරයෙක්ට බලාපොරොත්තුවක් අරගෙන එනවනම් ඒ ගෙදරින් ලැබෙන ලියුමක් …මොකද දුරකථන පාවිච්චියක් පිළිබඳව සිනමා නිර්මාණය තුළ කිසිදු තැනක අපෙ ඇස්වලට අහුවෙන්නෙ නෑ…මේ සිනමා නිර්මාණය තුළ තිබ්බ සමහර ව්‍යාංගාර්ථ සෑහෙන්ඩ ප්‍රබලයි..

– කොළපිටාර හේබාල ගියාට බක්මහ අකුණු නිකං ඉන්න එකක් නෑ…
– අහස මිනිස්සුන්ට ඔච්චම් කරනකොට පොළවට මිනිස්සු ගැන දුක හිතිලා හූල්ලනවලු..
– කණගාටුවෙන්න එපා .මේ පාර දූවිලි හේදෙන්න වහියි…

ඒ කාලෙ ගෙවල් හොයාගෙන හමුදාවේ වාහනයක් ගෙදරට ආවනම් එක්කො මළගෙයක්..නැත්නම් තමන්ගේ ගෙදරින් යුද්ධයට කැප වෙච්ච දරුවෙක් ආබාධිත දරුවෙක් ⁣විදියට ආයෙමත් ගෙදරට ⁣ඇරලවන්න ආව ගමනක්…

පිරිමි දරුවො තුන්දෙනෙක්ගෙ අප්පෙක් වෙච්ච විදානෙ මාමා පුත්තු දෙන්නෙක් හමුදාවට දීලා,අනෙක් පුතා ගුරුවෘත්තිය වෙනුවෙන් පූජාකරලා..එහෙවු අප්පෙක්ට රජෙක්වගෙ ඉන්න බැරියැ කියලා හිතුණට විදානෙ මාමාගෙ ලොකුපුතා ගැන කිසිම ආරංචියක් නැතිව යද්දී ⁣අනෙක් පුතා ආබාධිතයෙක් විදියට ගෙදරට එද්දි විදානෙ මාමා ⁣ඒ දේවල් කොහොමට උහුලගන්ඩ ඇතිද කියලා හිතුණා …ලොකු පුතාගෙ බිරිද නිර්මලා තමන්ගේ දෙවනි දරු ප්‍රසූතිය වෙනුවෙන් දරුගැබ දරාන හිටියට ඒ ගෑණුහිත කොයිතරම් නම් ගින්දරක් උහුලාන ඉන්ඩැතිද කියලා නිර්මලාගෙ චරිතය තුළින් බැලූබැල්මට වුණත් අවබෝධ කරගන්න අපහසු වෙන්නෙ නෑ….

ගෙදර තත්ත්වය දැන දැනම තමන්ගේ ගුරුවෘත්තියත් දමලා ගහලා විදානෙ මාමාගෙ ඉස්කෝලෙ පුුතාට ගෙදර යන්න හිතෙන හිතිවිල්ල අසාධාරණ නෑ …ඒත් ඒ වගෙ තත්ත්වයක ඒක හරිම උත්තරය වෙන්ඩත් බෑ..


– අප්පොච්චි ගැන මතක්වෙනකොට මේ හැමදෙයක්ම දමලාගහලා ගෙදර යන්න හිතෙනවා.. තාම හිතාගෙන ඉන්නෙ එයා තමයි කෙරුමා කියලා..හිතුවක්කාරකමේ සීමාවක් නෑ…හැම තැනම එකයි..මෙහෙට ආව ටිකකාලෙට මට මාවම එපා වුණා ..

ජීවිතේ අපිට අවස්ථාවල් දෙන්නෙ එකසැරයයි…ඒත් ඒක තේරුම් ගන්නෙ බොහොම ටිකදෙනයි..තේරුම් ගන්න උනුත් පිස්සු කෙලිනකොට නොතේරෙන උන් ගැන මොන කතාද….
ඉස්කෝලෙ උන්නු හිතවත් ගුරුතුමිය කියන සමහර කතන්දරවල හිතන්ඩ කාරණා එමට තිබ්බා….

– ආදරේ ගැන කොයිතරම් නිදර්ශන ගෙනාවත් ,ගෑණියෙක්ගෙ ආදරේ විදර්ශනාවක් කියලා ගොඩක් පිරිමින්ට තේරෙන්නේ බොහොම කාලයක් ගියාට පස්සෙ ..

– ගොඩක් ගෑණු ප්‍රාර්ථනා කරන්නෙ බෝධිසත්වයෝ..ඒ තරමටම අද කාලෙ ගෑණු මිත්‍යාදෘෂ්ටිකයි.. – බෝධිසත්වයෝ පහළවෙන්නෙ කල්ප ගාණකට පස්සෙ කියලා ගෑණු හොඳට දන්නවා ..ඒ හින්දා තමන්ගේ ගෘහ මූලිකයා තෝරගන්න ගෑණු කවදාවත් පෙරුම් පුරන්නෙ නෑ..
නිර්මලාගෙ පුතා තමන්ගේ නූපන් මල්ලි එනකල් බලන් හිටියෙ සෑහෙන්ඩ ආසාවෙන්…

– ඇයි අම්මෙ මාව දාලා ඉස්පිරිතාලෙ යන්නෙ ..අම්මටත් පුළුවන්නෙ මෙහෙ ගහක් ගාවදි සිදුහත් කුමාරයා වගේ මල්ලි හම්බවෙන්න… කතාකියාදෙන්න බලන් හිටපු මල්ලි නොඑන ගමන් යන්න එන වග ඒ දරුවා දැනන් හිටියෙ නෑ..හැබැයි මට මල්ලි ගැන බයයි අම්මේ කියලත් ඒදරුවා තැනක කියනවා… ටිකිරට ඕන වුණේ ගැමුණු කුමාරයා ඉන්න පොත් කියවන්න .. ඒත් නිර්මලා ගෙනත් දුන්නෙම දසමහයෝධයෝ ඉන්න පොත්..මොකද රුපියල් දෙසීයක් කියන්නේ ඒකාලෙ හැටියට දවස් කීපයකට වෙන්කරන්න පුළුවන් ගාණක්…අගහිඟකම් වලින් කරමුලට ගිලුණහම ගැමුණු කුමාරයට වැඩියෙන් ගෙදරක බඩේගින්දර සෑහෙන්ඩ ප්‍රබලයි…

හැබැයි මට මල්ලි ගැන බයයි අම්මේ කියලත් ඒදරුවා තැනක කියනවා… ටිකිරට ඕන වුණේ ගැමුණු කුමාරයා ඉන්න පොත් කියවන්න .. ඒත් නිර්මලා ගෙනත් දුන්නෙම දසමහයෝධයෝ ඉන්න පොත්..මොකද රුපියල් දෙසීයක් කියන්නේ ඒකාලෙ හැටියට දවස් කීපයකට වෙන්කරන්න පුළුවන් ගාණක්…අගහිඟකම් වලින් කරමුලට ගිලුණහම ගැමුණු කුමාරයට වැඩියෙන් ගෙදරක බඩේගින්දර සෑහෙන්ඩ ප්‍රබලයි…


– බුද්ධිඅංශවලට ලැබුණු තොරතුරු වලට අනුව නම් අයියලගෙ හෙලිකොප්ටරේ කොටින්ගෙ අඩවියට පාත්වෙලාලු..
රස්සාවක් හොයලා හොයලා හෙම්බත් වෙලා හිටපු නිර්මලාට රස්සාවක් හොයාගන්න එක ලේසි පහසු දෙයක් වුණෙත් නෑ..

– ගැසට් කියවලා කියවලා මට හිතෙනවා ගැසට් ගැන නවකතාවක් ලියන්න …උදුවප් හීතල දැනෙනකොට පපුව හෝස් ගාලා පත්තු වෙලා යනවා..දැන් ගැසට් එක එළියට එන්නෙ දෙවනි ඉන්ටවිව් එකත් කතාකළාට පස්සෙනෙ…

මේ දේවල් අහගෙන ඉන්න පොඩිඅයියා නිර්මලා වෙනුවෙන් දක්වන අනුකම්පාව එක්කලා මොකක්දෝ නොකියා කියන දෙයක් තිබ්බා වගෙ එකක් දැනෙන්න ගන්නවා ..ඒත් දැනෙන හැම ජාතියෙ හිතිවිල්ලක්ම ඇත්තක් වෙන්නෙ කීයෙන් කීයක්ද…

– නංගිට තියෙන්නෙ දැන් කොහොමහරි අයියගෙ පඩිය හදාගන්න ..තනිවුණා ගෑණියෙක් දැක්කම මීහරකෙක් වුණත් කුලප්පු වෙනවා…ඊට පස්සෙ ඉතින් උගෙන් ගැළවෙනවා බොරු…

විදානෙ මාමා තමන්ගේ ලොකුපුතාගෙ බිරිද සහ අසනීප වෙච්ච පුතාගෙ කල්කිරියාවන් දිහා සැකයෙන් යුතුව බලන්න ගන්නෙක අසාමාන්‍ය නැතිවුණත් සැකයක් හිතිවිලි අතර නිධන්ගත වුණහම රූපෙ පේන්ඩ නැතිවුණත් හිතෙන්ඩ ගන්නෙම රුයිතෙට…

අත්වාරුව හිටිහැටියෙම අතුරුදන් වෙන එකට වග කියන්න ඕන විදානෙ මාමා වග කවුරුත් දැන නොගත්ත රහසක්ම වෙන්ඩැති…ඉස්කෝලෙ ගුරුවරයෙක් විදියට කටයුතු කරන අනෙක් පුතා ගෙදර ආවත් ඔහුත් නොකියා කියපු දේවල් තිබ්බ ගානයි…

– බහිරවයෝ කියන්නේ කිසිම දෙයක් කරකියාගන්න බැරි අමනුශ්‍ය කොට්ඨාසයක⁣ට..

කිසිම දෙයක් කරකියාගන්න බැරිවුණාම අගුපිල්වල වුණත් ලගිනවා… හැබැයි නංගියේ දොළපිදේනි දීලා පුරුදු කරගත්තොත් දුම්මල ගහලවත් එළවනවා බොරු .. නිර්මලා ජීවිතේ මොනතරම් දේවල් දරාගෙන ඉහිලුවත් රස්සාවක් හොයන එක හීනයක්ම විතරක් ගානට වැටෙනවා…. ඒත් තමන්ගේ මහත්තයා ඉනෙන් පහළ කොටස පණනැතුවහරි පණඩිංගිත්ත බේරගෙන ගෙදර ආව එකම නිර්මලාට සැනසිල්ලක් වෙච්චගානයි..

ඒ ඉස්කෝලෙටම හිටියෙ ගුරුවරු දෙන්නයි එක ගුරුවරියෙකුයි විතරයි ..

– ඉස්කෝලෙ ජීවිතෙත් එක්ක බලනකොට විශ්ව විද්‍යාල ජීවිතේ මුලාවක්ද කියලා වෙලාවකට මට හිතෙනවා..
– ඕනම ආදරණීය බැඳිමක අවසානය දරාගන්න බැරි වේදනාවක් විදියට දෛවය විසින් හැමෝටම උරුම කරලා දෙනවා..

– මගේ තාත්තා අංගොඩ මානසික රෝහලේ වෛද්‍යවරයෙක්…අපි ඒ දවස්වල නැවතිලා හිටියෙ හොස්පිටල් එකේ ක්වාටස්වල.එහෙ ඉදගෙන තමයි මං කැම්පස් ගියේ..ඒකාලෙ මතක්වෙනකොට ආපහු පියාඹලා යන්න හිතෙනවා..ඩෙස් බංකු ,උද්‍යාන පුටු ,ස්මාරක .. අපි කොයිතරම් සොදුරු විදියට ඒ දේවල් පරිහරණය කළාද…

– ඒ වුණාට දැන් ඉන්න පරපුර එහෙම නෑ..ටිකක් ප්‍රචණ්ඩ වුණාට උන්ට ඇත්ත නැත්ත හොදට තේරෙනවා..ඇත්තමයි මට වෙලාවකට හිතෙනවා උන්ව පෝලිමට තියලා ඉඹගෙන ඉඹගෙන යන්න

– ඔයා කියන එක හරි…හැබැයි පරිස්සමෙන්…පිස්සන්ගෙ භාව සංවේදනය අංශක බිංදුව වුණාට ,විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට දැනෙන අගය අංශක එකසිය අසූවයි..

සමහර වාචික ගණුදෙනු තිබ්බා අහන් ඉන්න ආස හිතෙන විදියේ..


– මෙහෙම විදව විදව ජීවත් වෙනකොට වෙලාවකට හිතෙනවා අපි මහ කාලකණ්නිද කියලා ..

-ආලෝකයෙත් අන්ධකාරයෙත් යථාර්ථය නොදකින මිනිස්සු ජීවත් වුණත් මැරුණ ගානයි..හැට පැනලා හොට බිමඇනිලා ඉන්න නාකි හඳ කණවැල අල්ලඅල්ල ගුණමකු මිනිස්සුන්ට අඩුවක් නැතුව තාම එළිය දෙනවා…හැබැයි ඒ එක පරයෙකුටවත් ඒ නාකිච්චි ගැන තුට්ටුවකට වටිනාකමක් නෑ…

– ආලොකයෙ කෙළවර අඳුරක්…අඳුරේ කෙළවර ආලෝකයත් බව අපි හැමෝම දැන දැනත් නොලැබෙන දෙයක් ලබාගන්න අපි හැමෝම හෙළුවෙන් පිනුම් ගහනවා..

විදානෙ මාමා බලන් උන්නේම වැහිපොදක් කවදාහරි වැටෙනකල්…මොකද විදානෙ මාමාට තිබ්බා හැබෑකරගන්න බලාපොරොත්තු ටිකකුත්…

– හෙට අනිද්දා වෙනකොට වහියි…එහෙම වුණොත් නම් කොච්චර දෙයක්ද…එක එකාට පාච්චල් වෙන්නැතුව මට කෙලින් හිටගන්න පුළුවන් …පොඩි එකාට සරමයි සෙල්ලම් තුවක්කුවයි..කෙල්ලටත් සාරියක් නොගෙන බෑ…එතකොට ලොකුඑකාට කමිසයක් ගත්තොත් මද්දුමයටත් නොසලකා ඉන්න බෑ..කොහොමත් ඔය වැඩේට රුපියල් දෙතුන් දාහක්යයි..

විදානෙ මාමාගෙ හීන කොයිතරම් අහිංසකද…අව්‍යාජද ….ඉස්කෝලෙ සර්ගෙ හිත ගියෙ තමන්ගේ පංතියෙ හිටපු එකම ශිෂ්‍යාවට…පියවතීට….ඒ නම ඒ රූපෙට කොහෙත්ම නොගැළපෙන්න පුළුවන් ..ඒත් ඒ දැරිවි පියවතී….

– මිනිස්සුන්ගෙ ආදරේ හා ජීවිතය අතර බොහෝ කිට්ටු සම්බන්ධයක් පවත්වන්න පටන් ගන්නෙ ඒකෙ තියෙන ආදරණීය හැගීමකට වහල් වෙලා කියලයි මට හිතෙන්නේ ..

දස්කොන් තමන්ගේ ජීවිතේ පූජ කරන්නෙ ගෑණියෙකුගෙ කුණුගදගහන සිරුරේ ආත්මීය හැගීම හැබෑ ජීවිතේදි අත්විදින්න ගිහිල්ලා ..සමහරවිට කට පරිස්සම් කරගත්තනම් දස්කොන් මුළු ජීවිත කාලය පුරාවටම සතුටින් ඉන්න තිබුණා.

– සර් බැදලද…?

– දෙවනි මරණය පිළිබඳ සංකල්පය මගෙ ජීවිතෙන් ඈත්වෙලා හුගක් කල්….ඒත් පියවතීට තමන්ගේ ආදරේ ගැන තීරණයක් ගන්න පැහැදිලි අයිතියක් තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ ..

-සර් කියන ඔය සරීර කූඩුවෙන් සර් බලාපොරොත්තුවෙන අරමුණ මොකක්ද ..?මට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් මං ඒ ප්‍රේමය අත්විදින්න දෙපාරක් හිතන්නේ නෑ …

සර්ගෙ හිතේ පියවතී පිළිබඳව ඇතිවෙච්ච හැගීම ඔහු යෝජනාවක් විදියට පියවතීට ඉදරිපත් කරනවා..

– මට තවත් මේක හංගන් ඉන්න බෑ ….මං කැමතියි පියවතීව බදින්න …

– යමක් කමක් තේරෙන කාලෙ ඉදලා මට තිබ්බෙ ආමි උණ සර්…

-මරණයත් එක්ක බැලුවම විවාහය කියන්නේ කොයිතරම් සොදුරු වන්දනාවක් යන්න පුළුවන් ගමනක්ද පියවති..

– මවුබිම වෙනුවෙන් ජීවිතේ පූජා කරන සොල්දාදුවෙකුගෙ මළගමේ වුණත් අමුතු ගතියක් තියෙනවා සර්….

ඒ පියවතීගෙ උත්තරේ….සර් පිස්සු හෝන්තුවක් විදියට සලකලා ඒ අවස්ථාව පැහැර හැරියට පියවතීගෙ හීන ඉක්මනින් එළිවෙලා..

පාට ගවුමක් ඇදගෙන හිස් අතින් පියවති ඉස්කොලෙට දුවන් ආව එක මිස්ටත් පුදුමයක්..

– මගේ හීනෙ හැබෑවුණා…

– කවදද නැකත තියෙන්නෙ ..කාවද කසාද බදින්නේ…?

– අනිද්දා උදේ නවයට මිස්…මම යුධ හමුදා සෙබලියක් විදියට ශ්‍රි ලංකා යුධ හමුදාව කසාද බදිනවා…..පියවතී ගමෙන් ගියාට පස්සෙ මිස්ටත් ගුරුමාරුවක් එක්ක සමුගන්න සිද්ධවෙන දවසක් එනවා…

හමුදාවෙන් ආව වාහනයක මහත්තුරු බණ්ඩාර මැණිකෙගෙ ගේ හොයාගෙන එන ගමනක පාර අහන්නෙ සර්ගෙන්..ඒ ආවේ පියවතී වග සර්ට දැනගන්න මහකාලයක් යන්නෙ නෑ⁣ …ඒත් එක්කම කාලෙකට පස්සෙ සර්ගෙ නමට ලියුමකුත් ඇවිත්…ඒ වෙන කාගෙන්වත් නෙවෙයි…පියවතීගෙන්…

– පියවතී මං ඔයාව බදින්න කැමතියි ..කොච්චර බොළද වචන සෙට් එකක්ද..?ඒත් සර් එදා මගෙ පපුවට ටාගට් කරලා ගහපු ආටි එකෙන් මගේ මුළු ආත්මෙම ආදරණීය හැගිමකින් ගිනිගත්තා..හූල්ලන්න එපා මනුස්සයෝ….මං ඉක්මනට එනවනෙ….කිවුවත් වගේ පියවතී ආවා….ඉක්මනින් ආවා….ඒත් ඒක හිනාවක් අරගෙන ආව ගමනක් නම් නෙවෙයි..!

මේ කතන්දරේ අස්සෙ කතාකරන්න තරමට වටින මාතෘකා එකක් නෙවෙයි ඇත්තටම හුගක් තිබ්බා ….

https://www.facebook.com/groups/thecinemapeople/posts/1545188939154834/

සිනමාවේදීන් – The Cinema People සමුහයෙන් උපුටා ගත් කවදත් රසවත්ව ලියන රුවන්ති ජයතිලකගේ ජයග්‍රාහී සටහනක්





Leave a Reply

Your email address will not be published. Required fields are marked *