බන්දු ගැන බිදක්….

ලෙල්ගහගොඩ ඉස්කෝලේ හාමීනේට සහ කෑගල්ලේ පොඩි මහත්තයාට දාව 1952 නොවැම්බර් 23 කෑගල්ලේ දි සහෝදර සහෝදරියන් පස්දෙනෙකුගෙන් යුතු පවුලේ බන්දුසේන සමරසිංහ මෙලොව එළිය දුටුවේය. පියා කාර්මික ඉංජිනේරුවරයෙකු වූ අතර මව ගුරුවරයකි. බන්දු සමරසිංහයන් පෙර පාසල් අධ්‍යාපනය ලැබුවේ සාන්ත සේවියර් කන්‍යාරාමයේය. පසුව වැඩිදුර අධ්‍යාපනය හැදැරීමට කෑගල්ල ශාන්ත මරුයා විද්‍යාලයට ඇතුලත් විය.

පාසල් සමයේ දක්ෂ ක්‍රීඩකයකු වූ බන්දු සමරසිංහයන් කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයේ ක්‍රිකට් නායකයා ද විය. එසේම දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු ද වේ. බන්දු සමරසිංහයන් ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නා වූ අතර පාපන්දු ක්‍රීඩාවේ ද දැල් රකින්නා ඔහුය. අති දක්ෂ පිතිකරුවෙක් වූ බන්දු සමරසිංහයන් පාසල් ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන චරිතයක් විය. එසේම ඔහු බාලදක්ෂයෙක් ද කෙඩෙට් බටයකුද වේ. එසේම පාසලේ දක්ෂ ගැට බෙර වාදකයෙකු සහ ගායකයකු ද වේ. පාසල් වියේ සිටම කලාවට ඇල්මක් දැක්වු බන්දු සමරසිංහයන් තුල ඔහුට ආවේනික ශෛලියක් උපතින්ම පිහිටා තිබුනි.

බන්දු සමරසිංහයන්ගේ සිනමා ජිවිතය ආරම්භ වන්නේ 1971 ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටය තුලිනි. එම චිත්‍රපටයේ කාර්යාලය සහකරුවෙකුගේ භූමිකාව රග දක්වමිනි. එම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මිල්ටන් ජයවර්ධන මහතා වන අතර එහි නිශ්පාදනය බන්දු සමරසිංහයන්ගේ ඥාතියකු වූ සේන සමරසිංහ මහතා විසිනි. ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, සිංහල සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පි ජෝ අබේවික්‍රම අදී ප්‍රවීන රංගන ශිල්පීන් රැසක් එහි රංගනයේන් දායක විය. බන්දු සමරසිංහයන්හට විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනී රණසිංහ, ෆ්‍රෙඩි සිල්වා වැනි විශිෂ්ඨ රංගන ශිල්පීන් රැසකගේ ඇසුර ලබා දැනුම, අත්දැකීම් ලබා ගැනිමට බන්දු සමරසිංහයන්ට වාසනාව හිමි විය.

බන්දු සමරසිංහ යන නාමය ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුයේ 1981 සේන සමරසිංහ මහතා අධ්‍යක්ෂණය කළ ‘චංචල රේඛා’ චිත්‍රපටය තුලිනි. ඉන්පසු ගායනයටද උපන් හපන්කම් පෑ බන්දු සමරසිංහයන් 1986 දිනේෂ් ප්‍රියසාද් මහතා අධ්‍යක්ෂණය කළ ටෙනිසන් කූරේ විසින් රචනා කළ ‘පෙරලිකාරයෝ’ චිත්‍රපටයේ ‘විස්කි කඩේ පූසා’ ගීතය ගායනා කරමින් බන්දු සමරසිංහයන් ගායනට ද අවතිර්ණ විය. අදටත් එම ගීතය අතිශය ජනප්‍රිය ගීතයකි.

පසුව බන්දු සමරසිංහයන්ගේ සිනමා ජිවිතයේ සුවිශේෂී සන්ධිස්ථානය වූයේ 1987 තිරගත වූ ‘නොම්බර එකයි’ චිත්‍රපටයයි. මෙහි අධ්‍යක්ෂණය දිනේෂ් ප්‍රියසාද් මහතාය. බන්දු සමරසිංහයන් ප්‍රධාන චරිතයක් රග දැක්වු ප්‍රථම චිත්‍රපට මෙය වේ. අනෙක් කරුණ වන්නේ සිංහල සිනමාවේ හොදම විකට යුගලය නිර්මාණය වූ චිත්‍රපටය ද මෙය වේ. ඒ ටෙනි බන්දු සුසංයෝජනය සිදු වූ ප්‍රථම චිත්‍රපටය ‘නොම්බර එකයි’ . එතැන් පටන් අද දක්වා බන්දු සහ ටෙනී සිංහල සිනමාවේ හොදම විකට රංගන යුගලය විය. අදටත් බන්දු ටෙනී තරම් සාර්ථක විකට රංගන යුගලයක් සිනමාව තුල බිහිවි නැත. ටෙනිසන් කූරේ ගැන කතා කරන විට නිසැකවම අපට බන්දු සමරසිංහ සිහියට නැගෙන අතර බන්දු සමරසිංහ ගැන කතා කරන විට නිසැකවම ටෙනිසන් කූරේ සිහිවේ. ඒ ඔවුන් දෙදෙනා එකා මෙන් සහෝදරත්වයෙන් සිනමාව තුල රජ කල අති දක්ෂ සාර්ථකම විකට නළු යුගලය නිසාය. ටෙනිසන් බන්දු සිනමාවට නැතුවම බැරි චරිත දෙකක් විය. ටෙනිසන් කූරේ නම් වූ සම්මානනීය කලාකරුවා 2020 එනම් පසුගිය වසරේ මෙලොව හැරයාම මුලු මහත් ලංකාවට සිදු වූ මිල කල නොහැකි පාඩුවකි.

බන්දු සමරසිංහයන් 1971 සිට වසර 50ක කාලයක් සිංහල සිනමාව තුල ක්‍රියාකාරී රංගන ශිල්පියකු සහ සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පියකු විය. එසේම බන්දු සමරසිංහයන් ද්විත්ව චරිත නිරූපණය ද ත්‍රිත්ව චරිත නිරූපණය ද කැපී පෙනෙන දස්කමක් විය. එසේම නිරූපණය කරන චරිත එකට එකක් හාත්පසින්ම වෙනස්ව ඉදිරිපත් කිරීමේ හැකියාව ඔහු තුල තිබුනි.

ඉන්පසු බන්දු සමරසිංහයන් මුල් කාලයේ සමරසිංහ චිත්‍රපට සමාගමේ නිත්‍ය රංගන ශිල්පියකු සේම නිශ්පාදකවරයෙකු ලෙසත් කටයුතු කර ඇති අතර එම කාලයේදී සිනමාවේ කාර්මික අංශය පිළිබදව හසළ දැනුමක් ඔහු සතුව තිබුනි.

බන්දු සමරසිංහයන් චිත්‍රපට අධ්‍යක්ෂණයට සහ නිශ්පාදනයට පය තැබුවේ 1995 දි ‘රෝදය’ චිත්‍රපටය අධ්‍යක්ෂණයත් නිශ්පාදනයත් යන අංශයන් දෙකම බන්දු සමරසිංහයන් සිදුකරමිනි. ඉන්පසුව 1997 ‘පෙම්මල් මාලා’ චිත්‍රපටය ද අධ්‍යක්ෂණය සහ නිශ්පාදනය බන්දු සමරසිංහයන් සිදුකරන ලදි. 2004 දි බන්දු සමරසිංහයන් ‘ලෙෆ්ට් රයිට් සර්’ අධ්‍යක්ෂණය කල අතර 2013 දි ‘පීටර් වන්’ බන්දු සමරසිංහයන් අධ්‍යක්ෂණය කරන ලදි.

බන්දු පුංචි තිරයට ද පැමිණි අතර රොයි ද සිල්වා මහතා අධ්‍යක්ෂණය කල ‘ ටාර්සන් ද අපේ මෑන්’ ටෙලිනාට්‍යයේ ටාර්සන්ගේ චරිතය නිරූපණය කල අතර පසුව ගිරිරාජ් කෞෂල්‍යය මහතා අධ්‍යක්ෂණය කල ‘නාන කාමරේ’ ටෙලිනාට්‍යයේ පොඩි මහත්තයාගේ චරිතයට පන පොවන ලදි. ඉන්පසු බන්දු සමරසිංහයන් ටෙලිනාට්‍යක් අධ්‍යක්ෂණය කල අතර එය ‘දර ගරාජ්’ වේ.

සිංහල විකට සිනමාව රජ කිරිමට බන්දු සමරසිංහයන්ට හැකි විය. ඇත්තැන්ම එය සහජ දක්ෂතාවයකි. බන්දු සමරසිංහයන් ඔහුටම ආවේනික ශෛලියක් නිර්මාණය කරගෙන ඔහුගේ රාමුව තුල රජ කිරීමට ඔහුට හැකිවිය. ඔහුගේ විකට රංගනය ජාත්‍යන්තර මට්ටමේ රංගනයකි. ජාත්‍යන්තර පවා ජයගත හැකි අසීමිත හැකියවක් ඔහු සතුව ඇත. බන්දු තුල තිබෙන අනෙක් සුවිශේෂී හැකියාව වන්නේ තම ඇග පමණක් භාවිතා කර හාස්‍ය උපද විමේ හැකියාවත් වචන පමණක් භාවිතා කරමින් හාස්‍ය උපද විමේ හැකියාවත් මුහුණේ ඉරියව් පමණක් භාවිතා කරමින් හාස්‍ය උපද විමේ හැකියාවත් චරිතයකට ආරූඩ වී හාස්‍ය උපද විමේ හැකියාවත් ඔහු සතුව පවති. ඔහුගේ මුහුණේ ඉරියව් ක්ෂණිකව සියුම්ව හසුරුවා හාස්‍ය උපද විම නම් ඇත්තෙන්ම අසාමාන්‍ය හැකියාවකි. ඇත්තෙන්ම එවා නම් සුවිශේෂී හැකියාවක් වන අතර අසාමාන්‍ය සහජ දක්ෂතාවයන් වේ. එමෙන්ම ඔහු නිහතමානී කලාකරුවෙකි.

2002 වසරේ ‘ජොලි හලෝ’ චිත්‍රපටයට රංගන කුසලතා සරසවි සම්මාන හිමි විය.

2006 දී ස්ලිම් නෙල්සන් සම්මාන – ලංකීය ජනතාව වඩාතම සතුටු කල පුද්ගලයාට ලබාදෙන ස්ලිම් සම්මාන 2006 දි හිමි විය.

2015 දී සිග්නීස් සම්මාන — ජීවිතයේ එකවරක් ලැබෙන සිග්නීස් ජාත්‍යාන්තර උත්තමාචාර ප්‍රණාම සම්මානය හිමි විය.

2019 – Derana Film Award – Best Comedy Role ( හොදම විකට නළුවා) සම්මානය හිමි විය.

කණගාටුවට කරුණ නම් බන්දු සමරසිංහයන් හට හොදම විකට නළුවා සම්මානය හිමි වීමට දශක 5ක් ගතවිමයි.

නිහතමානී ආදරණීය බන්දු මාමේ ඔබ අපට සම්පතකි.

සටහන – දිනිත ජයරත්න, සිනමාවේදීන් – The Cinema People පිටුවෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *