NIZHAL 2021 – සෙවනැල්ල – තවත් මලයාලම් පාඩමක්

දෙවියන් සහ මිනිසා වර්ග කරනුයේ ඉතා සියුම් රේඛාවකින්ය. එය ද මනඃකල්පිත රේඛාවකි. මිනිසුන් වැරදි කරන පිරිස් ලෙසත්, දෙවියන් වැරදි නොකරන පිරිස් ලෙසත් වර්ග කෙරේ. කෙසේ වෙතත් අදාළ බෙදා වෙන් කිරීම සම්බන්ධයෙන් මා සතුව ඇත්තේ, විවේනයකි. ඒ සම්බන්ධයෙන් වෙනම සාකච්ඡා කළ යුතුයි. වර්තමානය වනවිට ලෝකයා මුහුණදී තිබෙන කොරෝනා වසංගතය සමඟ ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් නැවතත් සලකා බැලිය යුතුයි. පෙර ආත්මයේ සිදු කරනු ලැබු පිනක් හේතුවෙන්, මනුෂ්‍ය ආත්මකයක් ලැබු අප කුමන හෝ හේතුවක් මත වැරදි කිරීමට සිදුවේ. ඒවා වැරදි බව දැනගත්ත ද, ඉන් මිඳිමට නොහැකිව පසුතැවෙන මිනිසුන් බොහෝය. ඒවා සම්බන්ධයෙන් පසුතැවීමට බොහෝ අය උරහිසක් සොයති. ඒ උරහිසම අවසානයේදී සාක්ෂියක් බවට පත්වීමේ ප්‍රවණතාවයන් අධිකය.

විවිධ ක්ෂේත්‍රවල නියැලෙන සමාන අදහස් ඇති මිත්‍ර සමාගම් අතර ඇති වන කතාබහ අපූරුය. තමන්ගේ ක්ෂේත්‍රයේ හමුවන විචිත්‍රවත් කතා සම්බන්ධයෙන් නිදහස් වෙලාවක් කතා කිරීම තරම් විනෝදයක් නොමැති තරම්ය. මෙලෙස මනෝවිද්‍යවරියක විසින් සිය මිතුරා වන විනිසුරුවරයෙකුට පවසන කුඩා සිද්ධිය සහ ඒ සමඟින් ගොඩනැගෙන සිද්ධීන් එකිනෙක අපූරු ලෙස එක පෙළකට තබා තිරය වෙත රැගෙන ආ නිර්මාණය ලෙස නිළල් (සෙවනැල්ල) හඳුන්වා දිය හැකිය.පාසල් දරුවන් යනු කතන්දර කීමට රුසියන්ය. ඔවුන් විසින් කියනු ලබන්නේ, සුරංගනා කතාන්දරය. එහෙත් එක්වරම සිසුවෙකු ඝාතනයක් සම්බන්ධයෙන් කතාවක් කියු පමණනින් ඔහුට හෝ ඇයට නතර වීමට සිදුවන්නේ, මනෝ වෛද්‍යවරයෙකු ළඟය. පවතින අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ට මෙවැනි කතා කීම තහනම් කර ඇත්තේ, ඔවුන්ගේ හැකියාවන් මට්ටු කිරීමේ අරමුණින් දැයි නොදනිමි. අට හැවිරිදි නිතින්ට අත්වූයේ ද එවැනි ඉරණමකි. එම කතාව ඔහු විසින් පොතක ලියා තැබීමත්, එහි ඇති ව්‍යාකරණ වෙනස් කිරීම යන කරුණු හේතුවෙන් මෙම ඝාතන කතාන්දර පසුපස හඹා යාමට, විනිශ්චකරුවෙකු වූ ජෝන් බේබි තීරණය කළේය.

එහි අවසානය සම්බන්ධයෙන් ඉතා කුතුහලය සමඟින් නිළල් නිර්මාණයවී තිබුණි. මෙවැනි ඝාතන සිදුවීමක් පසුපසින් සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීයෙකු, මාධ්‍යවේදීයෙකු එසේ නොමැති නම් රහස් පරීක්ෂකවරයෙකු හඹා යන ආකාරයට වඩා වෙනස් ආකාරයක හඹා යාමක් විනිශ්චකරුවෙකුගේ හඹා යාම තිබුණි. මෙය චිත්‍රපටිය තුළ තිබු ධනාත්මක ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය. විශේෂයෙන් ඉතා සීමිත චරිත ප්‍රමාණයක් යොදා ගැනීමත් ප්‍රශංසා කළ යුතුය. මෙය සාම්ප්‍රදායික චිත්‍රපටියකින් වෙනස් වන්නේ ද එම හේතුව නිසාය. ඝාතන නඩුවක් පසුපස හඹා යන විට කිසිදු සටන් ජවනිකා ඇතුළත් නොකිරීමත් අගය කළ යුතුමය. අපගේ සිත ඉහළ, මැද සහ යටි සිත යනුවෙන් කොටස් තුනකට වර්ග කළ හැකිය. සාමාන්‍යයෙන් මෑතකාලයේදී සිදු වූ සිදුවීම උඩු සිතෙහි තැන්පත්ව තිබෙන අතර එම මතකයන් කෙරෙහි තිබෙන අවශ්‍යතාවය අවම වීමේදී ඒවා අපගේ මතකයෙන් ගිලිහි යනු ඇත. මැද සිතෙහි තැන්පත් වන්නේ, වෛරය, ක්‍රෝධය වැනි දෑය. එනම් අපගේ ජීවිතයේ කිසිදු දවස අමතක කළ නොහැකි සිදුවීම්ය. මෙවැනි මතකයන්හි දිගුවක් ලෙස පලිගැනීම පෙන්වා දිය හැකිය. මේ සිත් අතරින් සුවිශේෂි සිත ලෙස යටි සිත හඳුන්වා දිය හැකිය. උඩු සහ මැද සිත අප සමඟ අවදිව සිටියද, යටි සිත අවදි වනුයේ අප නිදාගැනීමෙන් අනතුරුවය. එනම් අදාළ පුද්ගලයාට එවැනි සිදුවීම් කෙරෙහි කිසිදු මතකයක් නොමැති තරම්ය. ඒ සියල්ලම ඔවුන්ගේ සිතෙහි තැන්පත්ව තිබේ.

එම මතකයන් වෙනත් කෙනෙකු ලවා විස්තර කරවීමට හැකි නම් අපගේ යටි හිතේ තිබෙන දේවල්වල කොයි තරම් දරුණු කරුණු දැයි දැනගත හැකි වනු ඇත. මෙම චිත්‍රපටිය තුළ ඒ මාතෘකාව සම්බන්ධයෙන් යම් ප්‍රමාණයකට මෙම චිත්‍රපටිය තුළ සාකච්ඡා කර තිබුණි. එමෙන්ම යම් යම් රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කර නොතිබුණ ද, ඒවා රසිකයා වෙත භාරදී තිබු ආකාරයක් ද දැකගත හැකිව තිබුණි. විශේෂයෙන් නිතින්ගේ මවට තිබු රෝගයේ ලක්ෂණ නිතින්ට තිබීම පෙන්වා දිය හැකිය. ජෝන් බේබිට තිබූ රෝගී තත්ත්වයත් එලෙසමය. ඒවා සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා නොකිරීමත් අගය කළ යුතුමය. එසේ වූවා නම් මෙය වාර්තාමය වැඩසටනක් ලෙස වර්ගීකරණය කිරීමට සිදු වනු ඇත. චිත්‍රපටියක සාර්ථකත්වයට එහි පිටපතට අමතරව රංගනය, සංගීතය, කැමරාකරණය සහ සංස්කරණ යන කරුණු සියල්ලම සාර්ථක විය යුතුය. මෙම චිත්‍රපටියේ පොරොන්දම් ඉතා අපූරුවට ගැලපී තිබුණි. විශේෂයෙන් චිත්‍රපටියේ වර්ණ ගැන්වීම් ඉතා අපූරුය. එමෙන්ම චිත්‍රපටිය ගලා යන ආකාරය මෙන්ම ස්ථානීය දර්ශන ද ඉතා අපූරුය. මෙහිදී කැමරා අධ්‍යක්ෂවරයා සිය කාර්යය නිසි ලෙස ඉටු කර තිබුණි.

චිත්‍රපටිය නරඹන අතරතුර යම් දර්ශන නැවත වරක් නැරඹීමට පොළඹවන සුළුවිය. විශේෂයෙන් පොකුණක දර්ශනය සහ වගුරු බිමක සිදුවීම සිත්ගන්නා සුළු ඒවා විය. මේවැනි දර්ශන චිත්‍රපටි ශාලාවක නැරඹීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඉන්දියානු සිනමා රසිකයින් දුක්වනු ඇතැයි සිතමි. චිත්‍රපටියේ ගලා යාමට සාමන්තරව එහි පසුබිම් සංගීතය ද ගලා යමින් තිබුණි. ගීත ද චිත්‍රපටියේ රසවින්ඳනයට බාධාවක් මතු කළේ නැත. චිත්‍රපටියේ ආරම්භයේදී පැවැති කුතුහලට එහි අවසන් තත්ත්පරය දක්වා රඳවා ගැනීමට අධ්‍යක්ෂවරයා සමත්ව තිබීම ප්‍රශංසා කළ යුතුය. විශේෂයෙන්ම මෙවැනි මිස්ටි්‍ර තිලර් ශානරයට අයත් වන චිත්‍රපටවල සාර්ථකත්වය පවතින්නේ එහි රංගන ශිල්පීන් මතය. එය හොඳින් අවබෝධ කරගත් රංගන ශිල්පීන් සිය කාර්යය ඉතා නිවැරදිව ඉටු කර තිබුණහ. 8 හැවිරිදි දරුවෙකුගේ චරිතය නිරූපණය කළ Izin Hash ගේ රංගනය ප්‍රසංශා කළ යුතුමය. එමෙන්ම මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කළ Kunchacko Boban සහ Nayanthara සිය සීමාව දැනගෙන රංගනයෙන් දායක වූ ආකරයක් දැකගත හැකි විය.

සිනමාවේදීන් – The Cinema People පිටුවට ලියන්නේ ජෙගන් ගනේෂන්

https://www.facebook.com/groups/thecinemapeople/permalink/1514409285566133

Leave a Reply

Your email address will not be published. Required fields are marked *