අන්තර්ජාතික සිනමා සම්මාන පහක් දිනූ දර්ශනගේ ගොවි තාත්තා…

ස්වීඩනයේ බොර්ඩන් අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම අධ්‍යක්ෂවරයා, හොදම නිලිය, හොඳම නළුවාට සහ
පළමු වරට විශේෂාංග චිත්‍රපටය යන සම්මාන හතර දිනා ගන්නට සමත්ව ඇත්තේ “ගොවි තාත්තා” සිනමාපටයයි.

ඒ අනුව හොදම නිලිය ලෙස හිමාලි සයුරංගි, හොඳම නළුවාල ලෙස ජගත් චමිල සහ හොඳම අධ්‍යක්ෂවරයා ලෙසින් දර්ශන රුවන් දිසානායක සම්මාන දිනා ඇත. මිට පෙර හොඳම සංගීත රචකයාට හිමි සම්මානය දර්ශන රුවන් දිසානායක විසින් ගොවි තාත්තා චිත්‍රපටයට දිනා ගත්තේ ඇමරිකන් ගෝල්ඩන් පිච්චර් (American Golden Picture) අන්තර් ජාතික චිත්‍රපට සම්මාන උළලේදිය. ඒ අනුව ගොවි තාත්තා දැනටම අන්තර්ජාතික සම්මාන 5කින් පිදුම් ලබා ඇත.

ගොවි තාත්තා සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ සංගීතවේදි දර්ශන රුවන් දිසානායක.

ඔහු ඔහුගේ කුළුදුල් සිනමා නිර්මාණය ගැන කියන්නේ මෙවැන්නක්.

මේ නිර්මාණය ගොවි තාත්තා. මෙය ආසියාවේම අඳ ගොවියකුගේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කෙරෙන ප්‍රථම සිනමා පටය. ඒ ගොවියා මගේ පියා. ඒ වගේම මෙය විශේෂ වෙනවා සංගීතවේදියෙක් නිර්මාණය කරන ලංකාවේ ප්‍රථම සිනමා පටය වීම නිසා. ඉන්දියාවේ සංජය ලීලා බන්සාලි, සත්‍යජිත් රායි වැනි අය සිටිනවා. ලංකාවේ මෙය ප්‍රථම ඓතිහාසික අවස්ථාව.

නිෂ්පාදනය කරන්නෙත් ගොවි මහත්තයෙක්මයි. ඔහු පාරම්පරික කාබනික කෘෂි කර්මාන්තයේ යෙදෙන ගොවි මහත්තයෙක් මෙන්ම යහපත් ගොවිතැන කරන ගොවි මහත්මයයෙක් වන සරත් බණඩාර කොක්වැව. ඔහුත් පොලොන්නරු ප්‍රදේශයේ. මෙය නිෂ්පාදනය කරන්න ගොඩක් අය හිටියා. සංගීත වේදියෙක් කරන නිසා ගොඩක් මාකටින්. ඒ නිසා ගොඩක් අය මාව හඹාගෙන ආවා මෙය නිෂ්පාදනය කරන්න. නමුත් මට ඕන වුණා හරිත පරිසරයට ආදරය කරන, පරිසරයට ළැදි ව්‍යාපාරිකයෙක්ව සොයාගන්න.

මේ සිනමා පටය මම අධ්‍යක්ෂණය කරන අතර සමස්ථ නිර්මාණයම අධික්ෂණය කිරීම සඳහා උපදේශක කෙනෙක් ඉන්නවා විදෙස් චිත්‍රපට වල වගේ. ඔහු තමයි මහාචාර්ය සුසිල් රණසිංහ මහතා. මෙය ටීම් වර්ක් එකක්.

මගේ පියා බොහොම හොඳ සෞන්දර්ය වාදියෙක්. එයා කමතේ වෙලේ පැලේ වැඩ කරන කොට ගීතයත් එක්ක තමයි ජීවත් වුණේ. මේ සිනමා පටය සෞන්දර්යයෙන් පිරුණු සිනමා පටයක්. ගීත හතරක් මෙයි ඇතුළත් වෙනවා. මෙය අපි කරේ ජාත්‍යන්තර මට්ටමට. මෙහි ධාවන කාලය පැය එකහමාරක්. මෙතෙක් කරලා තිබෙන ශ්‍රී ලාංකේය චිත්‍රපට ආකෘතියෙන් බැහැර වෙලා වෙනස් ආකෘතියකට තමයි මෙය නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍ය සම්ප්‍රදාය වෙනස් කරමින්. විශේෂයෙන් සංගීතය. මෙහි සංගීතය මම ම නිර්මාණය කරන නිසා හොඳ සාර්ථක නිර්මාණයක් බිහිකරන්න හැකි වුණා කියලා විශ්වාස කරනවා.

ගොවි තාත්තාගේ චරිතය, ඔහුගේ බිරිය බිසෝ මැණිකා. සහ ගමේ දෝලනය වන ගැටෙන චරිත ටික. ඒ වගේම ගමේ ඉන්න රදළ සහ වැඩ වසම් ක්‍රමය ගොඩ නැගෙන හැටි. ඒකට විරුද්ධව නැගී සිටින කොට හැල හැප්පීමක යෙදෙන පිරිසගේ චරිත ටික මේ චිත්‍රපටයේ තිබෙනවා. ඒ වගේම සැබෑ චරිත අන්වර්ථ නාම වලිනුත් තිබෙනවා. මෙහි තිර රචනය ලිව්වේ අමිල තේනුවරගේ. කතාව සහ අදහස මගේ.

සේනානයක වේරලියද්ද ප්‍රථම වරට සිනමා ගීතයක් ගායනා කරනවා. ඔහු ගමේ උපන්, තවම ගොවිතැනේ යෙදෙන කෙනෙක් නිසා මට හිතුණා ඒ අව්‍යාජ ශ්‍රී ලාංකේය හඬ මේකට යොදාගන්න. මෙහි විවිධ ගීත 4ක් තිබෙනවා. ඒ වගේම එම ගීත සංගීත ශෛලීන් කිහිපයකට අයත් වෙනවා. මෙය 89 සිට 2013 දක්වා එන කතාවක්. 2000න් පස්සේ නිර්මාණය වන සංගීතය සහ ගීත පවා වෙනස්ම හැඩයක් ගන්නවා. මොකද අපි ගීතයකින් තමයි මෙහි කාලය වෙනස් කරන්නේ.

‘සිනමාකරණය පිළිබඳ මූලික වස්තු බීජය මා තුළ තැන්පත් වෙන්නේ සිනමා සංගීත අධ්‍යක්ෂණයෙන්. අනිත් පැත්තෙන් සිනමාව පිළිබඳ මගේ කියවීම, මගේ ස්වයං අධ්‍යයනය ලෝක සිනමාව ගැන කියවීම විශේෂයෙන් සිනමාපට නැරඹීම ඒ ඔක්කෝමත් එක්ක තමයි මේ මූල බීජය මා තුළ පිළිසිඳ ගන්නේ. මට හැමදාම තිබුණු හීනයක් තමයි අපිට ලෝකේ පෝසත් මට්ටමේ සිනමා නිර්මාණයක තිබෙන සංගීතයක් නිර්මාණය කරන්න අවස්ථාව නැත්තේ ඇයි කියන එක. ඒ අවස්ථාව සලසා ගන්න ඕන නිසා තමයි මේ සිනමාපටය මමම අධ්‍යක්ෂණය කරන්න හිතුවේ.

මේ චිත්‍රපටයේ රංගනයට ජගත් චමිල, හිමාලි සයුරංගි, ධර්මප්‍රිය ඩයස්, සනත් විමලසිරි, එරික් මදනායක, සරත් චන්ද්‍රසේකර, ගාමිණී ජයලත්, නදීෂා රංගනී, සූර්යා දයාරුවන් ඇතුළු පිරිසක් එක් වෙනවා. ගීත ගායනයෙන් නිරෝෂා විරාජිනි, උරේෂා රවිහාරි, දුමාල් වර්ණකුලසූරිය, සුමිත් සිම්ප්සන්, සේනානායක වේරලියැද්ද හා මා එකතු වෙනවා.

2019 වර්ෂයේ Helawood Popcorn you tube චැනලය ඔස්සේ දර්ශන රුවන්, අප සමග සිදුකල ගොවි තාත්තා ගැන කතා බහක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *