සිනමා සංස්කෘතික ප්‍රාඥයා


සාරංග දේව ද අල්විස් සිනමා රූ සේයා පිටුවෙහි තැබූ සටහනක්,

තිස්ස අබේසේකර මහතා යනු රටකට කලකදී බිහිවන ඉතා වටිනා පුද්ගලයෙකි . වචනයේ පරිසමාප්තයෙන් එතුමා ප්‍රාඥයෙකි . එතුමා ගේ බුද්ධිය සහ හැකියාවන් විහිදියන වපසරිය ඉතාමත් පුළුල්ය.පාසල් අවදියේ පටන්ම ලිවීමට පුරුදුවූ එතුමා මුල් අවදියේම මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ අවධානය දිනාගැනීමට දක්ෂවිය . ඉන්පසු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමග සිනමා ලොවට සම්බන්දවූ අතර ගම්පෙරලිය චිත්‍රපටයේ දෙබස් රචනයෙන් තම සිනමා ගමන් මග ආරම්භ කරන ලදී . ඉන්පසු වැලිකතර , අහසින් පොලවට ,නිධානය, ගඟ අද්දර, ලොකුදුව , මායා වැනි උසස් ගනයේ චිත්‍රපට රැසක තිර රචනයෙන් දායකවූ ඔහු මෙරට බිහිවූ විශිෂ්ටතම තිරරචකයා ලෙස පැවසුවත් වරදක් නැතැයි සිතමි .

ගම්පෙරලිය චිත්‍රපටයට සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙසින්ද ස්ම්බන්ධවූ එතුමා සිනමා අධ්‍යක්ෂණයෙන් නිර්මාණයකල කරුමක්කාරයෝ , මහගෙදර සහ විරාගය මෙරට බිහිවූ විශිෂ්ට සිනමා කෘතිවේ. තිරරචනයට සහ අධ්‍යක්ෂණයට ඉහලම සම්මාන රැසක් ලැබූ එතුමා රඟපෑ චරිත කිහිපයක් අතරින් හොඳම සහය නළුවාට හිමි ජනාධිපති සම්මානය දිනාගැනීම එතුමාගේ හැකියාවන් පිලිබඳ කදිම නිදසුනක් වේ .

ටෙලිනාට්ය ක්ෂේශ්ත්‍රයට පවා සම්බන්ධවී දොළොස්මහේ ගංගාව,ලේලී ,වන සරණ , පිටගම්කාරයෝ වැනි උසස් නිර්මාණ කිහිපයක්ම ප්‍රේක්ෂකයාට දායාදකරදෙන ලදී . එතුමාගේ තවත් සුවිශේෂවූ අංගයක් වන්නේ එතුමාටම ආවේනිකවූ එතුමාගේ නොමැකෙන ගැඹුරු හඬයි . එය පසුබිම් හඩක් ලෙස සහ වේදිකාව ඉදිරිපිටදීද චතුරලෙස භාවිතා කරනලදී. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන් දෙකම ඉතා විශිෂ්ටලෙස හැසිරවූ ඔහු ලේඛන කලාවතුලින්ද දායාදකල කෙටිකතා ,නවකතා ,. විචාර, පර්යේෂණ කෘති වැනි විවිධ නිර්මාණ ප්‍රමාණය විශාලය . ඉතා වටිනා සම්මානයක් වන ග්‍රේෂන් සම්මානය ( Gratiaen Prize ) ඔහු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත නවකතාවක්වන ” Bringing Tony Home” ග්‍රන්ථය සඳහා 1996 දී හිමිවිය .

ඔහුවිසින් නිර්මාණය කරනලද අලංකාර ගීපදරචනා කිහිපයකුත් ඇතිබවට මතක්කළ යුතුය . විවිධ විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතනවල ආචාර්යවරයෙකු ලෙස සම්බන්දවි ඔහුගේ වටිනා දැනුම විශාල සිසුපරපුරකට බෙදාදී ඇත . එමෙන්ම එතුමා කලා ක්ෂේශ්ත්‍රය තුලින් ගුරුහරුකම් ලබාදී බිහිකළ කළා ලෝකයේ අද ඉන්නා දැවැන්තයන් ගණන බොහෝය . විදේශීය සම්භාව්‍ය සිනමා කරුවන් පවා ඇසුරුකළ එතුමා එමගින් රසිකයන්ට ජාත්‍යන්තර සිනමාව අත්දැකීමට සහ හැදෑරීමට අවස්තාවන් සලසා දුනි .

එක් ක්ෂේශ්ත්‍රයක් පමණක් නොව එතුමා නාට්‍ය , සිනමාව , ඉතිහාසය , සංස්කෘතිය සහ ජන කලාවන් , දර්ශනය , සාහිත්‍ය , සමාජවිද්‍යාව , දේශපාලණය වැනි විවිධ විෂයන් පිලිබඳ හසල දැනුමක් ඇත්තෙකි . එතුමාගේ දැනුම සහ සේවය ගැන මා සිදුකලේ කෙටි හැඳින්වීමක් පමණි . මේ දුර්ලබ බුද්ධිමතා ඇසුරුකිරීමට මාද භාග්යවන්ත වූවේ මගේ පියා වන දයා අල්විස් මහතා එතුමාව ඉතා ලඟින්ම ඇසුරු කල නිසාය . මේ උසස් මිනිසා අප මව්බිමේ ජන්මය ලැබුවේ 1937තේ මැයි මස හත්වෙනිදා අදවැනි දිනකය . එතුමා ජිවත්වු කාලය තුල සිදුකල අනුපමය මෙහෙයන්හි පින්බලයෙන් එතුමාට අමාමහ නිවන්සැප ලැබේවායි ප්‍රර්ථනා කරමි


මෙම චායාරුපවල අයිතිය මුල් අයිතිකරුවන් සතුවේ

Click the link:

https://www.facebook.com/groups/518115192266604/permalink/684589328952522/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *