C U Soon 2020 – මලයාලම් චිත්‍රපටය ශ්‍රී ලාංකීය ටෙලිවිශන් ඉතිහාසයේ පළමු වරට

Charana TV තුළින් අද දහවල් 12ට


‘නිර්මාණශීලීත්වයට සීමා මායිම් නැහැ’ යන මතයට හොඳම උදාහරණයක් C U Soon චිත්‍රපටය. C U Soon චිත්‍රපටය ප්‍රධාන වශයෙන්ම රූගත කර ඇත්තේ iPhone සහ computer screen භාවිතයෙන්. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තිර රචනය සහ සංස්කරණය සියල්ලක්ම සිදු වන්නේ මහේෂ් නාරායන් විසින්. ජූනි මාසයේ රූගත කිරීම් ආරම්භ කිරීමත් සමග, මාස දෙකක පමණ කෙටි කාලයකින් මෙහි සෑම අංගයක්ම සම්පුර්ණ කර ඇත. කොරෝනා උවදුර නිසාවෙන් බොහෝ දේවල් අඩාල වී තිබුණු අවදියක, C U Soon යනු ඉතාම නිර්මාණශීලී අත්හදා බැලීමක්.

මෙහි අධ්‍යක්ෂක මහේෂ් නාරායන් මෙය experimental ගණයේ චිත්‍රපටයක් ලෙස හැදින්නුවත්, මගේ මතය අනුව C U Soon යනු ඉන් ඔබ්බට ගිය thriller ගණයේ චිත්‍රපටයක්. විශේෂයෙන්ම මෙහි ආරම්භක දර්ශනයේ පටන් අවසාන දර්ශනය දක්වා මෙහි කුතුහලය පවත්වා ගැනීමට, අධ්‍යක්ෂක නාරායන් සමත්වී තිබෙනවා. සිනමාව තුල ඉතා සීමිත අංගයන් තුලින් පවා ප්‍රේක්ෂකයාට විශ්මිත සිනමා අත්දැකීමක් ලබාදිය හැකි බව ඔප්පු කළ ප්‍රභල සාධකයක් මෙම චිත්‍රපටය. එපමණක් නොව, ඉන්දියාවේ අනිකුත් සිනමා කර්මාන්තයන්ට සාපේක්ෂව නැවුම් නිර්මාණශීලී අදහස් අතරින්, මලයාලම් සිනමාව තව තවත් ඉදිරියට පැමිණ ඇති බවද නිගමනය කළ හැකි තවත් ප්‍රභල සාධකයක් C U Soon.


වර්තමාන ලෝකයේ තාක්ෂණය යනු විශාල පෙරළියක් ඇති කළ අංගයක්. විශේෂයෙන්ම ජංගම දුරකථනය සහ පරිඝණකය, මිනිසාව ලෝකයා සමග ඉතා පහසුවෙන් සම්බන්ද වීමට අවකාශයක් නිර්මාණය කර තිබෙනවා. ඉන් අපව ඉතා පහසුවෙන් අපගේ ළඟම හිත මිතුරන් සමග සම්බන්ද වීමට පමණක් නොව, ආදරය වැනි මාතෘකා තුලදී online dating වැනි ක්‍රමවේදයන්දමෙය හරහා නිර්මාණය වී තිබෙනවා.

C U Soon චිත්‍රපටයට ප්‍රධාන වශයෙන් මුල් වන්නේ අන්තර්ජාලය ඔස්සේ මුණගැසෙන යුවලක් වටා සහ ඔවුන් අතරට නොසිතූ ලෙස මැදි වීමට සිදුවන පුද්ගලයෙකු වටා. ජිමී යනු එමීර් රාජ්‍යයේ සේවා කරන ඉන්දියානු ජාතික තරුණයෙක්. ඔහු වෘතියෙන් බැංකු නිලධාරියෙක් වන අතර, ඔහුගේ තනිකම නිවාගැනීමට online dating හි නිරත වීමට ඔහු පුරුදුවී ඇත. එම dating app එකක් හරහා, ඔහුට අනූ නම් තරුණියක් මුණගැසෙනවා. ඉතාම ඉක්මනින් ඔවුන් දෙදෙනා අතර සමීප සම්බන්දයක් ආරම්භ වනවා. ඔවුන් දෙදෙනා එකිනෙකා සමග සමීප වූවත්, පුද්ගලිකව එකිනෙකා හමුවී නැත. ජිමී බොහොම කෙටි කලකින් ඇය ඔහුට සුදුසුම සහකාරිය බව තීරණය කරමින් ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ තම මවවත් එම සංවාදයට video call එකක් හරහා සම්බන්ද කර ගනිමින්. ජිමී මෙම විවාහ යෝජනාව ඉදිරිපත් කරන්නේ තම මවට දැණුම් නොදී සහ අනූ’ ව පුදුම කිරීමේ බලාපොරොත්තුවෙන්. මෙම යෝජනාවෙන් අනූ එක්තරා ආකාරයක අපහසුතාවයකට පත්වන අතර, ජිමීගේ මව අනූ පිලිබඳ තවත් තොරතුරු සෙවීමට පෙළඹෙනවා. ඇය ජිමීට දැනුම් දීමකින් තොරව ජිමීගේ නෑදෑ සහෝදරයකු වන කෙවින්ට, අනූ පිලිබඳ තොරතුරු සෙවීමට ඉල්ලීමක් කරනවා. කෙවින් යනු පරිඝණක ක්‍රමවේදයන් පිලිබඳ ඉහල දැණුමක් ඇති පුද්ගලයෙක්. මෙය අතරවාරයේ අනූ යම්කිසි ප්‍රහාරයකට ලක්වනවා. ඇය ජිමීට පවසන්නේ ඇගේ පියා විසින් පහර කෑමට ලක්වූ බවයි. මෙතැන් පටන් සිදුවන සෑම දෙයක්ම, පහසුවෙන් ලෙහාගත නොහැකි නූල් බෝලයක් බවට පත්වනවා. මින් ඉදිරයට සිදුවන්නේ කුමක්ද කියා දැන ගැනීමට නම්, ඔබ චිත්‍රපටය නැරඹිය යුතුමයි.


C U Soon චිත්‍රපට තුල thriller ගණයේ චිත්‍රපටයන්හි අඩංගු විය යුතු ප්‍රභලම අංගයන් ඉතා විශිෂ්ට ලෙස හසුරවා තිබුණා. විශේෂයෙන්ම ආරම්භයේ සිට අවසානය දක්වාම චිත්‍රපටයේ ඇති කුතුහලය රඳවා ගැනීමට මෙහි අධ්‍යක්ෂක සමත්වී තිබෙනවා. තවද ප්‍රේක්ෂකයාගේ අවදානය ආරම්භයේ සිට අවසානය දක්වා තබාගත යුතු චිත්‍රපටයක් C U Soon. චිත්‍රපටය ප්‍රධාන වශයෙන් phone/computer chats යොදාගැනීමත් සමග, සෑම තප්පරයකම අවදානයෙන් නැරඹීම වැදගත්. චිත්‍රපටය නැරඹීමෙන් අපට නිගමනය කළ හැකි කාරණයක් වන්නේ, තාක්ෂණය මොනතරම් දුරට මිනිසාව නොහිතන දිශාවන් වලට රැගෙන යාමට සමත්වී තිබෙනවාද යන කාරණයයි. එපමණක් නොව අප දන්නා හඳුනන/නන්නාදුනන පුද්ගලයෙක් සමග video මාර්ගයෙන් හෝ සංවාදයේ යෙදෙන විට, එම තිරය පිටිපස ඔබත් මමත් නොසිතන කතාවක් තිබෙන්නට පුළුවන්. C U Soon චිත්‍රපටයේ අපට මුණගැසෙන අනූ තුලද ඇත්තේ එවැනි කතාවක්. ජිමී, අනූ සහ කෙවින් යනු අප ජීවත් වන සමාජයේ නිතරම ගැවසෙන චරිත. මෙම චරිත ත්‍රිත්වය දෙසම, මෙහි අධ්‍යක්ෂකවරයා ඉතාම මානුෂීය පැතිකඩකින් අධ්‍යනය කර ඇත. චරිත ත්‍රිත්වයම කළු සුදු ස්වභාවයන් මිශ්‍ර වූ චරිත. ඒ සමගම මෙම චරිත ත්‍රිත්වයම, පුද්ගලික වශයෙන් අරගයලයක නියැලෙන චරිත. එක් සිත කළඹන සිදුවීමක් නිසා ඔවුන් මිනිසුන් දෙස බලන කෝණය පමණක් නොව, ජීවිතය අධ්‍යනය කරන ආකාරයද වෙනස් වනවා. මෙය experimental ගණයට අයත් චිත්‍රපටයකට වඩා ඉන් ඔබ්බට ගිය කුතුහලය උපදවන චිත්‍රපටයක් වන්නේ, ඉහත සඳහන් කළ අංගයන් නිසාය.


චිත්‍රපටයේ රංගනයන්ද ඉතාම ඉහල මට්ටමක තිබුණා. ෆහාඩ් ෆාසිල් මෙහි රඟදැක්වූ කෙවින්ගේ චරිතය වටා ඇති රළු සියුම් අංගයන් සියල්ලක්ම ඔහුගේ විශිෂ්ට රංගනය තුලින් පෙන්නුම් කළා. බොහෝ දෙනෙක් ෆාසිල්ව හඳුන්වන්නේ ඇස් වලින් රඟපාන රංගන ශිල්පියෙක් ලෙසටයි. C U Soon චිත්‍රපටයේ ඔහු ඉදිරිපත් කරන චරිතයේ සංකීර්ණත්වයට අනුව, මෙය පැහැදිලිවම දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන හැරවුම් සිදුවන අවස්ථාවන් සහ නිහඬ දර්ශනයන් තුල ඔහුගේ හැඟීම් ප්‍රකාශනයන් නිරීක්ෂණය කරන්න. රෝෂන් මැතිව්ස්ද ජිමීගේ චරිතය වටා ඇති ව්යාකූල බව සහ ගැටළුකාරී තත්වයන් හමුවේ ඔහු අසරණ වන ආකාරය ඉතා සාර්ථක ලෙස පෙන්නුම් කරා. නමුත් මාගේ මතය අනුව මෙහි වඩාත්ම සාර්ථක සහ සංකීර්ණ රංගනය ඉදිරිපත් වූයේ අනූගේ චරිතය ඉදිරිපත් කළ දර්ශනා රාජේන්ද්‍රන් විසින්. චිත්‍රපටයේ ප්‍රධානම ප්‍රෙහෙලිකාවක් ලෙස ගලා ගිය අනූගේ චරිතය තුල දක්නට ලැබෙන අනපේක්ෂිතබව සහ ඇතැම් අවස්ථා තුල දක්නට ලැබෙන අසරණ ස්වභාවය, ඉතා විශිෂ්ට ලෙස ඇයගේ රංගනය තුලින් ඉස්මතු වුනා.
අපි ජීවිතයේ ජංගම දුරකථනයක් හෝ පරිඝණයක් හරහා ආශ්‍රයේ නියැලෙන හඳුනන/නන්නාදුනන පුද්ගලයෙකු තුල ඔබත් මමත් කිසිසේත්ම අනුමාන නොකරන කතාවක් තිබෙන්නට පුළුවන්. ඔවුන්ගේ සිනාවක් සහ සුහදශීලි කතාබහ තුල ඔබත් මමත් නොසිතන, සංවේදී කතාවක් තිබෙන්නට පුළුවන්. C U Soon යනු තාක්ෂණයෙන් වසන් කළ, වීඩියෝ රාමුවෙන් ඔබ්බට ගිය මිනිසුන්ගේ කතාවක්.


My Rating: 9/10
සටහන – රමිත විමුක්ති
උපුටා ගැනීම සොඳුරු මලයාලම් සිනමාව හා අසිරිමත් කේරළය-Mollywood & Gods Own Country Kerala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *