සිනමාව දියුණු වෙයි, සිනමාවක් රටකට අවශ්‍යයි කියලා හිතන නායකයකු අපේ වෘත්තිය පැත්තට ආව දවසක – රොෂාන් රවීන්ද්‍ර

රොෂාන් රවීන්ද්‍ර කියන්නේ අපේ රටේ සිටින දක්‍ෂ චරිතාංග නළුවෙක් කිව්වොත් නිවැරදියි. ඔහු රංගනයෙන් දායක වූ විවිධ චරිත ඔස්සේ රසික හදවත් ආමන්ත්‍රණය කිරීමට සමත් වූවා. මෑත කාලීනව ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ලෙසින් ක්‍ෂේත්‍රයට අවතීර්ණ වීමත් සමඟ ඔහු පිළිබඳව නව මානයකින් සිතීමට ප්‍රේක්‍ෂකයන්ට හැකි වී තිබෙනවා. මේ ඔහු සමඟ කළ කතාබහයි.

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

මේ දවස්වල අලුත් නිර්මාණයක් වෙනුවෙන් සූදානම් වෙනවා. සත්‍යා ටෙලි නාට්‍යය නම් ඉවර වුණා. ඉතින් මේ දවස් ටිකේ ගෙදරට වෙලා ඉන්නවා.

ඔබ මෑතකාලීනව රංගනයෙන් දායක වුණු සෑම නිර්මාණයක්ම වගේ ඉතාමත් ජනප්‍රියතාවට පත්වුණා නේද?

ඔව්. මම දිගටම සහ මට හැකි පමණින් මම උත්සාහයක් දැරුවා වෙනස් ආකාරයක නිර්මාණ සඳහා පමණක් දායක වෙන්න. ඒ අතරතුර යම් යම් වෙනස්කම් සිදුවුණත් මම හිතනවා මට තවමත් මගේ ස්ථාවරයේ සිටින ප්‍රමාණය අනුව එවැනි නිර්මාණ හම්බ වෙනවා කියලා.

මෑතකාලීනව දේශපාලනික සහ සමාජ යථාර්ථය ගැන කතා කරන නිර්මාණ වැඩි වශයෙන් බිහිවෙන බව පෙනෙනවා නේද?

අපි ඒ නිර්මාණ දේශපාලනිකව ගන්නේ නැතුව ඉමු. මම විශ්වාස කරන දේ තමයි නිර්මාණයක් ඇතුළේ දේශපාලනයක් තියෙනවා. ඉන් රචකයාගේ සහ අධ්‍යක්‍ෂවරයාගේ දැක්ම පෙන්විය හැකියි. ඉතිං ඒ වගේ නිර්මාණ තුළ යම් සාධනීය ගුණාංග තිබෙනවා නම් ඒවා සමාජය තුළට මුදාහරින්න ඕනා. රංගන ශිල්පියෙක් විදිහට මම බලන්නෙත් අන්න ඒක. නිර්මාණයක් තුළට යම් සාධනීය මතවාද ආවාට කමක් නැහැ. ඒක තමයි නිර්මාණයක තිබෙන ගුණාත්මකභාවය සහ ජීවගුණය.

ඒ ආකාරයේ නිර්මාණ තුළින් සමාජයට යම් බලපෑමක් කළ හැකි බව ඔබ විශ්වාස කරනවාද?

පසුගිය අවුරුදු 10-15 ඇතුළත අපේ ටෙලි නාට්‍ය සංස්කෘතිය වෙනස් වුණා. ඉන්දියන් ටෙලි නාට්‍ය හඳුන්වා දීමත් සමඟ ලංකාවේ නිර්මාණකරුවන්ට තිබුණු වටිනාකම් සහ නිර්මාණයන්ට තිබුණු වටිනාකම් දියාරු වෙලා ගිහිල්ලා ඉන්දියන් ටෙලි නාට්‍ය තමයි කරළියට ආවේ. ඉන්පසුව අර ගුණාත්මක නිර්මාණ සහ ඒවා කරපු මිනිස්සු ක්‍ෂේත්‍රයෙන් අෑත් වුණා. ඉන් අනතුරුව ඉන්දියන් ටෙලි නාට්‍යවලට අභියෝග කරන්න හිතාගෙන අපේ අය පටන් ගත්තා ඒ හා සමාන දීර්ඝ ටෙලි නාට්‍ය කලාවක්.

මෙගා නාට්‍ය සංස්කෘතියත් සමඟ කලාකරුවන්ගේ වටිනාකම දියාරු වෙලා ගියා. ඒ වගේම අවුරුදු 10_15ක ළමයින්ට ටීවී එක ඉස්සරහ ඉඳගත්තම බලන්න ලැබෙන්නේ දීර්ඝ ටෙලි නාට්‍ය. ඒ සමඟම රසවින්දනය සම්බන්ධව ළමයකුට රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් ඉගෙන ගන්න තිබුණු අවස්ථාව මොට වෙලා ගියා. අන්න ඒක තමයි විශාලම හානිය. ඒ හානිය නවතාගන්න පුළුවන් නම් මම හිතනවා නිර්මාණවල ගුණාත්මකභාවය ඉහළ යයි කියලා.

නමුත් දැන් නැවත සැරයක් ඒක දියාරු වෙමින් පවතිනවා. එහෙම වෙන්නේ නැතුව ලංකාවේ කලාකරුවන්ට වැඩ කරන්න පුළුවන් යම් ගුණාත්මක බවෙන් යුතු නිර්මාණ බිහි විය යුතුයි. එවැනි ආකාරයේ නිර්මාණවලට තිබෙන ඉල්ලුම දැන් දැන් වැඩි වෙමින් පවතිනවා.

ඒක හොඳ ප්‍රවණතාවක්. ලංකාවේ කලාකරුවෝ අතෑරලා ඉන්දියන්, කොරියන් ටෙලි නාට්‍ය පෙන්නපු චැනල්වලට මම ආරාධනා කරනවා තවදුරටත් ඒක කරගෙන යනවා නම් එය නවත්වලා ලංකාවේ කලාකරුවන්ට නැවතත් ඒ වටිනාකම ලබා දෙන්න කියලා.

ඔබ මෙගා ටෙලි නාට්‍යවලට විරුද්ධයිද? නැත්නම් ඒවායේ ගුණාත්මක භාවය ගැන ඔබට ගැටලුවක් තියෙනවාද?

ඔෂින් වගේ ටෙලි නාට්‍යයක් ගත්තම අපි ඒක කොච්චර රසවින්දද? ඒ වගේ කතා අද මමත් බලලා මගේ දරුවන්ටත් පෙන්නනවා. ඒ වගේ දූ දරුවෝ පටන් ගත්ත කාලයේ ඒක මෙගා නාට්‍යයක් කියලද අපි රසවින්දේ. නැහැනේ.

පසුකාලීනවයි ඒක ඒ තැනට ඇදවැටුණේ. ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිතවල ප්‍රතිබිම්භයක් විදියට තමයි මූලාරම්භයේදී ඒකේ පෙන්නුවේ. සමහර වෙලාවට සුදු සීයා අපේ සීයා කෙනෙක් ගාණට දැනුණා. ඩයස් මහත්තයා අපේ මාමා කෙනෙක් විදිහට දැනෙන්න පටන් ගත්තා.

ඒ විදියට ගත්තම අපේ ජීවිත නැවත පෙරළා බලන්න අවස්ථාවක් ලැබුණා ටෙලිවිෂනය ඇතුළේ. මම හිතන්නේ කලාකරුවෝ හැටියට අපි අල්ලන්න ඕනි තැන සහ ප්‍රේක්‍ෂකයා ගෙනියන්න ඕනි තැන තමයි ඒ. මම මෙගාවලට අකැමැති වෙන්න තව හේතුවක් තියෙනවා. කාට හරි අවශ්‍ය නම් තමන් කරන නිර්මාණය කොටස් 50ක් විතර පෙන්වන්න සහ ඒක තමයි වැදගත්කම කියලා හිතනවා නම් ඒකෙ කිසිම ගැටලුවක් නැහැ.

හැබැයි ලංකාවේ කලාව ඇතුළේ වැඩ කරන වෘත්තිකයෝ ගොඩාක් ඉන්නවා. එතකොට එකම රංගන ශිල්පියෙක් එකම චැනල් එකක් තුළ මෙගා ටෙලි නාට්‍යයක අවුරුදු දෙක තුනක් වැඩ කරන්න පටන් ගත්තම එළියේ ඉන්න කෙනා කරන නිර්මාණය ගෙනහිල්ලා දෙන්නේ කාටද? ඒකෙන් වෙන්නේ තව කෙනෙක්ට වැඩ කරන්න තියෙන අවස්ථාව නැති වෙන එක.

ලංකාවේ නාළිකා ගොඩාක් තිබුණත් හැම එකම ටෙලි නාට්‍ය ගන්නේ නෑනේ. හොඳට දුවන රේටින්ග්ස් තියෙන චැනල් දෙක තුන විතරයිනේ ටෙලි නාට්‍ය ගන්නේ. අන්න එවැනි ප්‍රායෝගික ගැටලු නිසා මිසක් මම මෙගා නාට්‍යවලට අකැමැතිකමක්වත් වෛරයක්වත් නැහැ.

සමාජ දේශපාලනික යථාර්ථය පෙන්නුම් කරන නිර්මාණ සඳහා ප්‍රේක්‍ෂක ප්‍රතිචාර අඩුවෙන් ලැබෙන්නේ ඇයි?

මෙහෙමයි, අපි නිර්මාණයක් කරලා ඒ හරහා අපේ යම් කිසි දේශපාලන මතවාදයක් තියෙනවා නම් ඒක තමයි පරම සත්‍යය කියලා පෙන්වන්න යන්න නරකයි.

ඒක තීරණය කිරීමට ප්‍රේක්‍ෂකයාට භාරදිය යුතුයි. එවිට සමාජයීය වශයෙන් මිනිස්සු ඒවට පිළිතුරු ලබා දෙනවා. කාලයකට පෙර ලංකාවේ ලිංගික චිත්‍රපට රැල්ලක් ඇති වුණා. නමුත් පසුකාලීනව මිනිස්සු ඒවා අතෑරියා. මේක ඇතුළේ විවිධ මතවාද තියෙන මිනිස්සුනේ ඉන්නේ. තම තමන්ට කැමැති මතවාදයක් දරන්න ඔවුන්ටත් අයිතිය තියෙනවා. සමහරවිට එයින් සමාජ හානියක් සිදුවෙනවා නම් එයට යම් බලපෑමක් වෙන්න පුළුවන්. හැබැයි ඒක නිර්මාණ තලයේදී මිනිස්සු රසවිඳිනවා නම් එය මුදාහළ යුතුයි.

නිර්මාණකරුවාට නිදහසේ නිර්මාණයක් කිරීමට අවශ්‍ය දේශපාලනික, ආගමික සහ සංස්කෘතික නිදහස අපේ රටේ තිබෙනවාද?

අඩුයි. හොඳටම අඩුයි. ඇත්තටම යම් කිසි සීමා බන්ධන තිබෙනවා. අපිත් නිර්මාණකරුවන් විදියට දැනගත යුතු කරුණක් තියෙනවා. ඒ තමයි සමාජය අවුස්සන එක නෙවෙයි කලාව කියන්නේ කියන එක. සමාජය අවුස්සන්න පුළුවන් එක තැනකදී. ලෝකයේ එවැනි දැවැන්ත නිර්මාණ තියෙනවා.

නමුත් ප්‍රචණ්ඩකාරී විදිහට සමාජය ඇවිස්සීම නොවෙයි නිර්මාණයකින් සිදුකළ යුත්තේ. ඒ තුළ තිබිය යුත්තේ සිනමාරූපී බව හෝ ටෙලිවිෂනය තුළ නම් ආර්ට් එකක් ඊට තිබිය යුතුයි. එහෙම නැතිව ඒක ඇතුළේ අමුඅමුවේ දේශපාලනය කිරීම හොඳ නැහැ. ඊට වඩා හොඳයි දේශපාලකයෙක් වෙන එක. ඒක තමයි මගේ අදහස.

සම්භාව්‍ය සිනමාව කියන දේට රට තුළ ඉඩක් තිබෙනවාද?

මම සිනමාව කියන්නේ සම්භාව්‍ය කියන එකවත් සරල රසවින්දනයවත් නෙවෙයි. ඔය හැමදේම ඒක ඇතුළේ තියෙනවා. චිත්‍රපටයක් බලලා එළියට එන මනුස්සයා එන්නේ සතුටින් නම් නැත්නම් සංවේගශීලී වෙලා නම් ඒ දේවල් විඳගැනීමේ අයිතිය ප්‍රේක්‍ෂකයාට තිබෙනවා. ඔවුන්ට එය ලැබිය යුතුයි. ඒ නිසා මම කියන්නේ හොඳ චිත්‍රපට නරක චිත්‍රපට කියලා විතරයි අපි බෙදන්න ඕනි.

වර්තමාන සිනමාව ගැන ඔබ මොකද හිතන්නේ?

සිනමාව කර්මාන්තයක් ලෙස දියුණු කරගන්න අනිවාර්යයෙන් පුළුවන්. සිනමාවක් රටකට අවශ්‍යයි කියලා හිතන නායකයකු අපේ වෘත්තිය පැත්තට ආව දවසක මේක අවුරුදු දෙකක් තුනක් ඇතුළතදී වෙනස් කළ යුතු සහ වෙනස් කළ හැකි, දියුණු කරන්න පුළුවන් කර්මාන්තයක්.

කලා ක්‍ෂේත්‍රය තුළත් කලාකරුවන්ගේ බෙදීමක් තිබෙනවාද?

ලෝකයේ කොහෙත් එහෙමයි. කලාව කරන්නෙත් පෘථග්ජන මිනිස්සුනේ. සාමාන්‍යයෙන් කලාකරුවෝ කියන්නේ වෙනස් දේශපාලන දැක්මක් තිබිය යුතු මනුස්සයෙක්. නමුත් බෙදීම කියන දේ ඉතිහාසය පුරාවටම ගත්තත් තිබුණු දෙයක්. එහෙම බෙදීගෙන සිටින අයට සහ එවැනි දේශපාලන පක්‍ෂවලටත් මම කියන්නේ කලාව කියන්නේ දේශපාලන පක්‍ෂවලට අයිති දෙයක් නෙවෙයි කියලයි. ඒක රටේ හැම පුරවැසියෙක්ටම අවශ්‍ය දෙයක්. කලාව තුළට දේශපාලනය ගෙනල්ලා අකල් මරණයක් ඇති කරන්න එපා. කලාවෙන් යැපෙන වෘත්තිකයෝ ගොඩාක් ඉන්නවා.

නිර්මාණකරුවෝ හැටියට අපි තාම අංකුර තැන්වල ඉන්න මිනිස්සුනේ. අපිට තිබෙන සමහර මතවාද අයින් කරන්නවත් වෙනස් කරන්නවත් බෑ. ඒවාට තිබෙන හොඳම උත්තරය නිර්මාණ හරහාම තමයි අපි දෙන්න ඕනි.

ලංකාවේ මාධ්‍ය භාවිතය ගැන කලාකරුවෙක් විදියට ඔබ මොකද හිතන්නේ?

මාධ්‍ය භාවිතාව ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්කමක් නැහැ. එක එක අයගේ අරමුණු අනුව වෙනස් වෙනවා. ඒක තමයි තියෙන ගැටලුව. ඒකට මාධ්‍ය ආයතනවලට බැනලා වැඩක් නැහැ. කුමන ආණ්ඩුවක් ආවත් යම්කිසි නීතියකට යටත්ව තිබිය යුතුයි කියන එකයි මගේ අදහස.

මාධ්‍ය ඒකාධිකාරයට සහ පවතින වෙළෙඳපොළට ගැළපෙන නිර්මාණ කිරීම හරහා නිර්මාණකරුවාටත් නිර්මාණයටත් හානියක් වෙන්න පුළුවන් නේද?

අන්න එතැන තමයි අපි ගැටලුව විසඳගන්න ඕනි. මුලින්ම මාධ්‍ය ආයතන සහ නිර්මාණකරුවා අතර තිබෙන වෙනස හඳුනා ගන්න ඕනි. නිර්මාණකරුවෝ මාධ්‍ය ආයතන හඳුනාගන්නත් ඕන බවට පත්වෙයි. මම හිතන්නේ එහෙමයි.

නව පරපුරේ නිර්මාණකරුවන් ගැන මොකද හිතන්නේ?

නව පරපුරේ නිර්මාණකරුවෝ ගැන මම ඉතාමත් සාධනීය තැනක ඉන්නේ. නව පරපුරේ ඕන තරම් නිර්මාණකරුවෝ ඉන්නවා. හැබැයි බලන්න ඕනි නිර්මාණකරුවන්ට නිර්මාණ කරන්න පුළුවන් වටපිටාවක් තියෙනවාද කියලා. අන්න එතැන හැදිච්ච දවසක අපිට සතුටු වෙන්න පුළුවන්.

රංගන ශිල්පියෙක් අනිවාර්යයෙන් ඇකඩමික් පුද්ගලයෙක් විය යුතුද?

මෙහෙමයි යම්කිසි විෂයක් යම් පුද්ගලයකු විසින් හදාරද්දී ඒ විෂය තුළ ඔහු හසලයකු වෙනවා නම් ඔහුට ලේසියි නේද ඒ විෂය පහසුවෙන් හසුරවන්න. අන්න ඒ තුළ ඔබ අහපු ප්‍රශ්නයට පිළිතුර තිබෙනවා. හැබැයි ඇකඩමික් තැනට හැදෙන්න ඉස්සෙල්ලා අපිට හැදෙන්න ගොඩාක් දේවල් තියෙනවා.

ව්‍යාපාරයක් ලෙස දියුණු වෙන වටපිටාවක් තුළ තමයි ඇකඩමික් කියන දේ බලපාන්නේ. ඒ කියන්නේ අපි එක තැන පල්වෙන ව්‍යාපාරයක් නම් කරන්නේ අපි කොච්චර ඉගෙන ගත්තු මිනිස්සු ගෙනාවත් වැඩක් නැහැ. මොකද අපි ඉස්සෙල්ලම ගොඩනඟන්න අවශ්‍ය ව්‍යාපාරය. මොකද දැනටමත් ඇකඩමික් නොවුණත් වැඩ කරන පිරිසක් ඉන්නවා. ඒ නිසා ලාභ උපයන කර්මාන්තයක් ලෙස මේක ගොඩනැඟෙන්න ඕනි. එතැනදී ඔය හැමදේම එකතු වෙනවා.

වර්තමානයේ කලාවේ භාවිතය ගැන ඔබ මොකද හිතන්නේ?

වර්තමානයේ කලාවේ භාවිතය ගැන කිව්වොත් අද කලාකරුවන්ට තමන්ගේ ජොබ් එක අමතක වෙලා තියෙන්නේ. කලාකරුවන්ට එක තැනකදී නිර්මාණාත්මක බව කියන දේ අතහැරලා ජීවත් වීම සඳහා නිර්මාණ කිරීම කියන තැනට දැන් ඇවිල්ලා තියෙනවා. නිර්මාණකරුවන්ට හරියාකාර අවකාශයක් සලස්වා දුන්නොත් මම හිතනවා අතීතයේ මිනිස්සු මේක ඇතුළේ නිර්මාණයන් තුළින් පෝෂණය කළා වගේ වර්තමානය තුළ තව පරම්පරා හදමින් ඉස්සරහට යයි කියලා. ඒක තමයි මගේ බලාපොරොත්තුව.

කලාවට ජාතික ප්‍රතිත්පතියක් අවශ්‍ය බව කිව්වත් එය ප්‍රායෝගිකව ඉටු වෙන බවක් පෙනෙන්නට නැහැ නේද?

කලාවෙන් විතරක් ජාතික ප්‍රතිපත්තියක් ලබාගෙන වැඩක් නැහැ. මුළු රටටම හැම ක්‍ෂේත්‍රයකටම ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒක කලාවට විතරක් බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ. ප්‍රතිපත්ති කියන දේ හැම ක්‍ෂේත්‍රයටම අදාළයි. දේශපාලනයේ ඉඳලම ඒ දේවල් ඕනි. ලංකාවේ කලාව ගොඩගන්න එක තියෙන්නේ කලාකරුවන් අතේ විතරක් නෙවෙයි. ඒක කලාකරුවන්ටම භාර දීලා අත සෝදගන්න නරකයි. කලාව කර්මාන්තයක් විදියට ගොඩගන්නේ කොහොමද කියන එක තියෙන්නේ පවතින රජයන් අතේ. ඒක විසඳුණාට පස්සේ තමයි අපි බලන්න ඕනි ඊළඟ ඇතිවෙන දේවල් ගැන.

වර්තමානයේ කලාකරුවන්ට ලැබෙන රාජ්‍ය අනුග්‍රහය ගැන සෑහීමකට පත්වෙනවාද?

කලාකරුවෙක්ට ගොඩනැඟීමට නම් රජයක් මැදිහත් විය යුතුමයි. අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රමාණය කුඩා වීම අදාළ නැහැ මෙය කර්මාන්තයක් විදිහට ගොඩනඟාගන්න. නිර්මාණ කරගෙන ගියාටත් වැඩක් නෑ පෙන්නගන්න තැනක් නැත්නම්, පෝලිමේ ඉන්න වෙනවා නම්. මේවට තියෙන්නේ අතිශය සරල උත්තර. කලාකරුවන්ට විතරක් මේවා තනියෙන් කරන්න බැහැ. අනිවාර්යයෙන් රජයේ අනුග්‍රහය තිබිය යුතුයි. කලාව කුඩු කරලා විනාශ කරලා දාන්න පුළුවන්කම තියන්නෙත් රජයට. ගොඩනඟන්න පුළුවන්කම තියෙන්නෙත් රජයටමයි.

ඔබේ ඉදිරි වැඩ කටයුතු මොනවාද?

ඉදිරි වැඩ කටයුතු කියන්නේ ඉතිං මේ විදිහටම රටට නිර්මාණයන් සිදුකිරීම තමයි. රංගන ශිල්පියෙක් විදිහටත් මම ඒ කටයුතු කරගෙන යනවා. අධ්‍යක්‍ෂවරයෙක් ලෙසත් ඒ කටයුතු

සිදුකරගෙන කලාකරුවන්ට හොඳ අනාගතයක් ලබා ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • හෂාන් අනුරාධ
    ඩිජිටල් නිර්මාණය – ධනංජය චතුරංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *