ඒගොල්ලොන්ගේ වැඩේ සාර්ථකයි

රටක අධ්‍යාපනය එහි වැදගත්ම මාතෘකාවක් වන්නේය. එහිදී දරුවන්ට එය නිවැරැදිව සම්ප්‍රේෂණය කරන පියවර නිසියාකාරව අනුගමනය කළ යුතුය. සාමාන්‍යක් ලෙස අපේ අධ්‍යාපන ක්‍රමය අසාර්ථක යැයි මතයක් ජන සමාජය තුල පවතී. එසේ නම් එය සාර්ථක කර ගත හැක්කේ කෙසේද යන්න ගැටලුවකි. ඒ සදහා කදිම යෝජනාවක් තාල ගෙන එන්නේ යයි විශ්වාස කළ හැකිය.

මෙහිදී ගුරු භූමිකාව කෙසේ විය යුතුද, අධ්‍යාපන ක්‍රමය කෙසේ විය යුතුද යන්න පාලිත පෙරේරා තම නිර්මාණය හරහා මනාව යෝජනා කරයි. ඒ සදහා ඔහු යොදාගන්නා සම්පත් අතරින් කැමරාව, සංගීතය, සංස්කරණය, පිටපත සහ කලා අධ්‍යක්ෂණය ඉහළ මට්ටමක පවතී. යම් හිස්තැන් ඇතත් රංගනය වුව සාපේක්ෂව සාර්ථක යයි විශ්වාස කළ හැකිය.

නමුත් තාල ඍජුව ප්‍රකාශ නොකරන දේශපාලන කතාන්දරය මෙහිදී අතිශය වැදගත් වන්නේය.
ප්‍රේක්ෂකයා දකින්නේ පෞද්ගලික වුවමනාවන් මත ගමේ පාසල හැර යන ගුරුවරියගේ හිස්තැනට පැමිණෙන අසේල සර් ය. මෙහිදී අසේල සර් ගෙ ආගමනය ආකර්ෂණීය ය. ඔහු කඩා පාත් වන්නේ එක පාරමය. නොසිතන වෙලාවක නොසිතන දෙබසක් සමඟය. අසේල සර් ගෙ පළමු දර්ශනයෙන්ම ඔහු හුදෙක් ගුරුවරයෙක් පමණක්ම නොවන බව කියාපාන්නේය. පරිණත ලොකු සර් වත් නොදන්නා ප්‍රායෝගික ප්‍රථමාධාර ක්‍රියාවන් ඔහු දන්නේය. ඉන්පසුව සත්ත්ව නාද අනුකරණයක් මගින් ඔහු දරුවන්ගේ හදවතට සමීප වීම නිර්මාණශීලීය. මේ පාසල ඔහුගේ ප්‍රථම පත්වීම බව ඔහු පැවසුවත් මීට පෙර තම භූමිකාව වෙනුවෙන් මනා පුහුණුවක් ඔහුට ඇති බව ඔහුගේ ක්‍රමෝපායන් ප්‍රත්‍යක්ෂ කරයි. එසේ නම් ඔහු එම ක්‍රම සහ විධි අධ්‍යනය කළේ කොහෙන්ද ? කෙසේද ? කතාන්දරය ඇත්තේ මෙතැනය.

අසේල ඇමතුමක් ලබා ගනී. පිළිතුරු දෙන්නේ විදේශීය කාන්තාවකි. ඔහු යමෙක් සම්බන්ධ කරගැනීමට ඉල්ලුම් කරයි. එම පුද්ගලයා කතා කරන්නෙ හොඳ සිංහලෙනි. එසේ නම් නිසැකවම එම පුද්ගලයා විදෙස් රටක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු විය යුතුය. තමන් පාසලේ වැඩ භාරගත් බවත්, කෙසේ හෝ ලොකු වැඩක් දැනෙන ලෙස සිදු කරන බවත් අසේල ඔහුට පවසයි. ඔහු අසේලව දිරිමත් කරයි. ගමේ පාසලක රැකියාව ලද තරුණ ගණිත ගුරුවරයෙකු එම කරුණු විදෙස් ගත ශ්‍රී ලාංකිකයෙකුට පවසන්නේ කුමන හේතුවකටද?? අසේල ගුරුවරයෙක් වුවත් ඔහු එම පුද්ගලයා අමතන්නේ සර් කියාය. නමුත් ඔහු කෙලින්ම අසේල ව නම කියා අමතයි. එසේ නම් නිසැකවම එම නම නොදන්නා පුද්ගලයා ගුරු වෘත්තිය තුලම අසේලට වඩා උසස් ස්ථානයක සිටින්නෙකු විය යුතුය. ඒ අනුව මේ පුද්ගලයා විදෙස් ගත ආචාර්ය වරයෙකු, මහාචාර්ය වරයෙකු හෝ ඊටත් ඉහළ බුද්ධිමතෙකු ලෙස සැළකිය හැකිය.

ඔවුන්ගේ වෑයම කුමක් විය හැකිද?

පාලිත තාල තුල කෙලින් කියන කතාව පිළිතුරු වන්නේ මෙම ගැටලුවට ය. ළමයින්ට ඉගිලෙන්න පිහාටු අවශ්‍ය නැත. ඔවුන්ට ඉගිලෙන්නට ඉඩදී මග පෙන්වීම පමණක් කළ යුතුය. නමුත් අද අප කරන්නේ ඔවුන්ට තටු බලෙන් ලබාදී ඒවා අපට අවශ්‍ය ලෙස හැසිරවීමට බල කිරීමකි. නමුත් අධ්‍යාපනය යනු ළමයින්ගේ ඇතුලට දැමීම නොව ළමයින්ගෙන් එළියට ගැනීමයි යන විශිෂ්ට අදහසක් තාල සහ අසේල සර් සාර්ථකව සමාජගත කරයි.

කෙසේ හෝ අසේල සර් සාර්ථකව ළමයින්ගේ හදවතට කතා කරයි. මේ සදහා ඔහු නොයෙකුත් ප්‍රායෝගික ක්‍රම සහ විධි භාවිතා කරයි. ඔහු දරුවන්ට නො උගන්වා ඔවුන්ටම ඉගෙන ගැනීමට අවස්ථාව සකසා දෙයි. ඒ තුල ළමයි අවශ්‍යම අධ්‍යාපනය සාර්ථකව ලබා ගනී. එනම් එම ක්‍රමය පැවති ක්‍රමයට වඩා සැබැවින්ම සාර්ථක බව ඔප්පු වෙයි.

ඕනෑම යහපත් ක්‍රමයකට විරුද්ධව විවිධ බලවේග ක්‍රියාත්මක වීම සාමාන්‍ය ය. එහිදී අසේල සර්ට පාසලෙන් ඉවත් වීමට සිදු වීම ඉතා සාමාන්‍ය වන අතර අසේල හා විදෙස් ගත ආචාර්ය වරයා එය පෙර සිටම දැන සිටියා ලෙසද සිතිය හැකිය. මෙම අවස්ථාවේද අසේල සර්ව ඔහු දුරකතනයෙන් අමතා යම් ප්‍රශ්නයක් වීදැයි විමසා සිටින විට අසේල පවසන්නේ මේ වෙලාවේදි ඔහුගේ ඇමතීම අසේලට විශාල ශක්තියක් බවය. එනම් ඔහු සහ අසේල එක්ව එක් අරමුණක් උදෙසා ක්‍රියා කළ බවත් එම අරමුණ චිත්‍රපටියේ මූලික හරය බවත් පැහැදිලිය.

එරන්දතී ගේ ආගමනය සිදු වන්නේ අසේලගේ හිස්තැන පිරවීමක් ලෙස වුවත් අසේල සර්ගේ හදිසි අතුරුදන් වීම හමුවේ කඩා වැටෙන දරුවන්ට එරන්දතී වෙත සමීප වීමට අවශ්‍යතාවයක් හෝ අවස්ථාවක් හමු නොවන්නේය. එහිදී අසේල සර් සමඟ කතා කිරීමට අවස්ථාවක් දරුවන්ට ලබා දීම දරුවන් වෙත සමීප වීමට එරන්දතී යෙදූ කදිම උපායක් ලෙස සැළකිය හැකිය. අසේල වෙනුවට ගුරුවරියක් ලෙස පැමිණෙන එරන්දතී අසේල සර්ට දුරකතනයෙන් අමතන්නේ කෙසේද යන ගැටලුව මෙහිදී පැන නගී. එනම් ඇය සහ අසේල අතර යම් හිතවත්කමක් හෝ සම්බන්ධයක් නිසැකවම පැවතිය යුතුය. මෙහිදී අසේල ඇයට පවසන කාරණා ඉතා තීරණාත්මකය. අසේල එරන්දතීව දිරිමත් කරන අතර තමන්ට නොහැකි වුණු රාජකාරිය කෙසේ හෝ ඇය විසින් කළ යුතුයි වැනි අදහසක් ප්‍රකාශ කරයි. එනම් අසේල මෙන්ම එරන්දතී ද මෙම පාසලට පැමිණියේ එකම අරමුණක් වෙනුවෙන් වන බව ඉතා පැහැදිලිය.

නමුත් එරන්දතී යනු ඇමති වරයෙකුට ලගින් නැදෑ වන තරමක් බටහිර පන්නයේ තරුණියකි. එවැනි අයෙකු මෙවන් අරමුණක් උදෙසා වැඩ කරන බව විශ්වාස කිරීම තරමක් අපහසු වුවත් සැබැවින්ම එවැනි පුද්ගලයන් සිටින්නේය. ඇතැම් සමාජ විප්ලවයන් හිදී ධනපතියන්ට එරෙහිව ක්‍රියා කළ ධනපති පංතියේම අයවලුන් සිටි බව නොරහසකි.

එමෙන්ම එරන්දතී පැමිණෙන්නේ ප්‍රබල දේශපාලන සම්බන්ධකමක් ද සමගිනි. එය පාසලේ ක්‍රියාකාරිත්වයට එරෙහිව ක්‍රියාකරන කල්ලි වලට අභියෝගයක් වන්නේය. එනම් අසේල සර්ගේ කණ්ඩායම මෙවර වඩා සූදානම් ව කටයුතු කර ඇත. මෙලෙස එරන්දතීගේ ආගමනයත් සමග නිදන් හැරීමේ උත්සාහයද අසාර්ථක වී යයි.

අසේල සර් පාසල හැර යන්නේ සංගීත තරඟය සඳහා දරුවන් සූදානම් කිරීමේ උත්සාහය අතරමග නවතා දමාය. නමුත් එරන්දතී නැවතත් එය ආරම්භ කරයි. තාල මේ කියන්නේ ඔවුන් එකෙක් නැවතූ තැනින් තවකෙකු පටන් ගෙන තම අරමුණ උදෙසාම ක්‍රියා කරන බවත් එවැනි ගමනකට බාධා කිරීම නිරර්ථක බවත් විය යුතුය. අවසානයේ දරුවන් තරඟය ජයග්‍රහණය කරයි. මෙම අවසානය තීරණාත්මකය. ජය ගන්නේ දරුවන්ය. ඒ සදහා ඔවුන්ට මඟ පෙන්වුයේ අසේල සර්, එරන්දතී මිස් සහ විදෙස්ගත චරිතය ය. එනම් ඔවුන්ගේ වෑයම සාර්ථක බවය. එනම් අවසානයේදී තාල යෝජනා කරන ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමය වඩා සාර්ථක බව ඔවුන්ම ඔප්පු කර පෙන්වන්නේය.

-අචිර සෙනෙවිරත්න-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *