‘ගින්නෙන් උපන් සීතල’ හෙළිකළ සිගරට් දවටනයේ දැවටූ 87 පල්ලෙකැලේ ප්‍රහාරය…

1987 වසර යනු ජනතා විමුක්ති පෙරමුණ මැදිවූ දෙවෙනි කැරැල්ලේ තීරණාත්මක වසරක් විය. කොටින්ම එම වසරේ ජවිපෙ කළ පල්ලෙකැලේ ප්‍රහාරය එම ව්‍යාපාරයේ ඉරණම ඉක්මන් කිරීමට තරම් බලවත් එකක් වූ බවට කිසිම සැකයක් නැත. මෙම තීරණාත්මක ප්‍රහාරය ගැන මේ දිනවල තිරගත වන රෝහණ විජේවීරයන්ගේ අපදානය රැගත් ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය හෙළිකරයි. එම දර්ශනය පෙන්වන්නේ එකල ජවිපෙ අනුබද්ධිත දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයා වන සමන් පියසිරි ප්‍රනාන්දු පල්ලෙකැලේ ප්‍රහාර සැලැස්ම තම සගයන්ට විස්තර කරන අයුරුයි. චිත්‍රපටයේ සමන් පියසිරි ප්‍රනාන්දු හැඳින්වෙන්නේ ‘කබ්රාල් සහෝදරයා’ යන ඔහුගේ අන්වර්ථ නාමයෙනි. එම දර්ශනයෙන් විස්තර වන්නේ පල්ලෙකැලේ හමුදා කඳවුරේ සැලැස්ම පක්ෂයට හිතවත් සහෝදරයෙකුගෙන් සිගරට් දවටනයක ඇඳ සමන් පියසිරිට ලැබෙන බවත් ඊට අනුකූලව ඔහු පැහැදිලි සැලැස්මක් සකස් කළ බවත්ය.

එම දර්ශනයෙන් විස්තර කළේ වෙන කිසිවක් නොව ජනාධිපති J .R ජයවර්ධනගේ 1987 පල්ලෙකැලේ හමුදා කඳවුරේ කරන සංචාරය අතරතුර ඔහුව පැහැරගැනීමේ මහා සැලැස්මයි. එහිදී සමන් පියසිරි ඉතා සූක්ෂම සැලැස්මක් සකස් කොට තිබූ අතර ජනාධිපති J.R හෙලිකොප්ටරයක නංවා ගෙන කොළඹට ගෙනගොස් රාජ්‍ය බලය ඔහුගෙන් පවරා ගැනීමට ජවිපෙ එකල සැලසුම් කල බවට සත්‍ය තොරතුරු අප්‍රකටව පවතී. ආණ්ඩු බලයක් ලබා ගැනීමට ඉක්මන් වනවාට වඩා ජවිපෙ රාජ්‍ය බලය කෙදිනක හෝ ලබා ගැනීමට උත්සුක වූයේ ලෝක දේශපාලනයේ අතීත අත්දැකීම් නිසාය. එනම් ත්‍රිවිධ හමුදා,පොලිසිය හා රාජ්‍ය මාධ්‍ය වල සම්පූර්ණ බලය නොමැතිව අල්ලා ගන්නා ආණ්ඩු බලය පලක් නොමැති බව ජවිපෙ ඒ වන විට තීරණය කොට තිබුණි.

කෙසේ වුවත් පල්ලෙකැලේ ප්‍රහාරය ඉතිහාසගත වන්නේ ජවිපෙ කළ තවත් අසාර්ථක ප්‍රහාරයක් ලෙසටය. ඊට හේතු වන්නේ ප්‍රහාරය සැලසුම් කළ දිනයේ ජනාධිපති J.R තම පල්ලෙකැලේ සංචාරය අවලංගු කිරීමයි. ප්‍රහාරය අසාර්ථක වීමට එය බලපෑවේ එම ප්‍රවෘත්තිය ඔවුන්ට ලැබෙන විටත් ඔවුන් ප්‍රහාරය අරඹා තිබීමයි. ඉන් ජවිපෙ සන්නද්ධ මෙහෙයුම සාර්ථක වුවද එහි අභිලාෂයන් ඉෂ්ට නොවීම නිසා එයත් අසාර්ථක ප්‍රහාර ගොඩට වැටිණි.

සමන් පියසිරි ප්‍රනාන්දු එකල පක්ෂය තුල හඳුනාගන්නේ ශූර සැලසුම්කරුවෙකු ලෙසටය. එමෙන්ම ඔහු අතිශය බුද්ධිමත් පුද්ගලයෙකි. එකල ජවිපෙ විසින් සාර්ථක කරගත් බොහෝ සන්නද්ධ ප්‍රහාර වල මහමොලය වූයේ සමන් පියසිරිය
ප්‍රනාන්දුය. 1989-90 වකවානුවේ ඔහු ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වන විට ඔහු සතුව තිබු මිලිටරි පොත්පත් එතෙක් මෙරට ආරක්ෂක අංශ කියවා නොතිබූ බවත් කියවේ.

කෙසේ වුවද එම අතීත ජවිපෙ සටන් අත්දැකීම් ‘පෙර නිපැයුම් තීන්දුවක්’ නිසා ඒ අකාරයෙන්ම චිත්‍රපටයෙන් ඉදිරිපත් නොවූ බවත් කිව යුතුමය.

-ෂෙනාල් එරාන් ජයසේකර-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *