ෆාහාද්ගේ අලුත්ම මුණ “මලික්”

ෆහද් ෆාසිල් රසිකයින්ට තෑග්ගක් කියන්න පුළුවන් චිත්‍රපටයක්. අනිවාර්යයෙන්ම වසරේ හොඳම මලයාලම් චිත්‍රපටයක් කියන එකත් මුලින්ම සඳහන් කරල ඉන්නම්. මෑතකදී එකපෙළට නිකුත් වූ අරුල් සහ ජෝජි චිත්‍රපට ද්විත්වය තුළින් ෆහද් ෆාසිල් ගෙ රංගනය සම්බන්ධයෙන් තෘප්තිමත් නමුත් සමස්ත චිත්‍රපට සම්බන්ධයෙන් ලොකු දෙයක් දැක්කෙ නෑ. ඒකටත් එක්ක මෙන්න තියෙනවා මදි නොකියන්න. රංගනය වගේම කතන්දරයත් උපරිම මට්ටමින්. විශේෂයෙන්ම අධ්‍යක්ෂකවරයා මහේෂ් නාරායනන් නිසාම වැඩේ ඉස්තරම්.

“සුලයිමාන් අලී ව මරාදැමිය යුතුයි”. ඒක තමයි චිත්‍රපටය පුරාවටම දුවන තේමාව වෙන්නේ. කාගෙද මේ වුවමනාව? මොකක් සඳහාද? කවුද මේ සුලයිමාන්? කියන ප්‍රශ්න සහ ඒවාට උත්තර තමයි කතන්දරය තුළ අඩංගු වෙන්නේ. ඒ අනුව පොලිටිකල් ක්‍රයිම් ත්‍රිලර් වර්ගීකරණයට තමයි අයත් වෙන්නේ. ගෝඩ්ෆාදර් ආකාරයේ චරිත විස්තරයක් තමයි සුලයිමාන් අලී ගෙන් දකින්නට ලැබෙන්නේ. තමන්ගෙ මිනිස්සු වෙනුවෙන් පෙනී හිටපු, දූෂණයට එරෙහිව ක්‍රියා කරපු, අනුන් රකින්න ගිහින් තමන්ගේ වටිනා දේවල් අහිමි කරගත්තු මනුස්සයෙක් විදිහටයි ඔහුගේ චරිත විස්තරය සැදුම් ලබන්නේ.

ඉතින් එහෙම කෙනෙක්ට අනිවාර්යයෙන්ම හතුරෝ ඉන්නවමනේ. හැබැයි ඒ සතුරු පාර්ශ්වය සුලයිමාන්ට එරෙහිව ක්‍රියා කරන්නේ වෙනත්ම විදිහට. සැලසුම් මෙහෙයවන්නේ අන්තිම අශික්ෂිත ක්‍රමවේදයකට. පෞද්ගලික ලාභ ප්‍රයෝජන, අරමුණු තකා මිනිස්සුන්ව ඉත්තො කරගන්න හරිම ලේසි ක්‍රමයක් තමයි ඒ මිනිස්සුන්ගෙ හිත් ඇතුළෙ තියෙන “ජාත්‍යාලය” ට විෂ කවලම් කරන එක. තමන්ගෙ වුවමනා එපාකම් සපුරගන්න මිනිස්සු බිලීබාගන්න තියෙන හොඳම ක්‍රමයත් ඒක. ජාතියෙන් මුස්ලිම් වෙච්ච සුලයිමාන් පෙනී හිටියේ “මනුෂ්‍ය” කියන ජාතිය වෙනුවෙන්. මිනිස්සු රකින්න ඔහු හැප්පුණේ මිනිස්සුන්ව හූරං කන ජඩ දේශපාලකයින් එක්ක. දේශපාලකයින් කරේ පොලීසියේ සහයෝගයත් එක්ක සූක්ෂමව මිනිසුන්ගෙ හිත් දූෂ්‍ය කරපු එක. මිනිස්සුන්ව ඉමෝශනලි බ්‍රේන්වොෂ් කරන හැටි හොඳට දැක බලාගන්න පුළුවන් අවස්ථාවක් මේක.

චිත්‍රපටය ප්‍රබන්ධයක් වුණාට වෙරළබඩ ප්‍රදේශය තුළ සැබෑවටම ක්‍රියාත්මක වූ ඉඩම් මංකොල්ලයන් සහ දූෂණයන් ට එරෙහිව ක්‍රියා කල, 1986 වසරේදී මිය ගිය සැබෑම ජනතා වීරයෙකුගේ සැබෑම දිවි පෙවෙතක් ආශ්‍රයෙන් නිර්මාණය සිදුකළ බව අධ්‍යක්ෂකවරයා පවසා තිබෙනවා. චරිතය වෙනුවෙන් සුලයිමාන් ගේ වයස අවුරුදු 21 සිට 58 දක්වා නිරූපණය කරන්නට ෆහද් ෆාසිල් ට සිදුවෙනවා. මැදිවියේ පෙනුම නිවැරදිව ඉස්මතු කරවන්නට ෆහද්ගේම සීයාගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන පවා අධ්‍යයනය කරපු බවත් සඳහන් වෙනවා. තරුණ වියේ පෙනුම ගන්න නම් බර අඩුකරත්තම හොඳටම ඇති. ජෝජි තුළින් දැක්කෙ මීටත් වඩා පොඩි එකෙක්වනේ. නමුත් ඒක ලොකු අභියෝගයක් වුණා කියල නිෂ්පාදන කණ්ඩායම කියල තියෙනවා. මුලු චිත්‍රපටයම රූගත කරල තියෙන්නෙ සුලයිමාන් ගේ මැදි වියේ සිට තරුණ විය දක්වා එන පිළිවෙළට නිසා සහය රංගන ශිල්පීන්ට දුෂ්කරතා මතුවු බවක් තමයි කියන්නේ.

-ලක්ෂ්මන් අරංවල

https://www.facebook.com/photo?fbid=10224805661111026&set=gm.4103871869690876

Leave a Reply

Your email address will not be published. Required fields are marked *