අලුත්ම මලයාලම් බයිස්කෝප් එක, Nayattu 2021 – දඩයම

2021 අප්‍රේල් 08 වෙනිදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදි තිරගත කිරීම ආරම්භ කරන Nauyattu සිනමා නිර්මාණය කොවිඩ් වසංගත තත්වය ‌හේතුවෙන් 2021 මැයි මස 09 වෙනි අද  දින Netflix හරහා අන්තර්ජාලයට නිකුත් කරනවා.

මේ වෙද්දි IMDb හි 8.3/10 ඉහල අගයක් වගේම 91% ගූගල් පරිශීලක අගයක් වගේම ඉතාමත් ඉහල ප්‍රේක්ෂක මෙන්ම විචාර ප්‍රතිචාරයක් Nayattu දිනාගන්න සමත්න වෙලා තිබෙනවා.

මෙම ත්‍රාසජනක සිනමා නිර්මාණය තුළ ඒකාධිපති බලයක් හිමි ‌ආණ්ඩුවක් හමුවේ ‌පොලිස් නිලධාරින් දේශපාලකයින්ගේ ඉත්තන් බවට පත්වීමත්, දෝෂ සහිත නීති රාමුවක් ඇතුලේ ඔවුන්‌ගේ රාජකාරිය නිසි ලෙස සිදුකිරීමට යාමෙන් ඔවුන්ට මුහුණ දීමට සිදුවන ගැටළු වගේම දූෂිත පාලකයින්ගේ අවශ්‍යතාවය පරිදි යථාර්තය හැඩගස්වන ආකාරය දැක ගන්න ප්‍රේක්ෂක අපිට පුළුවන්‌ වෙනවා.

ABCD: American-Born Confused Desi (2013),  Charlie (2015) වැනි සිනමා නිර්මාණයන් අධ්‍යක්ෂණය කරන ලද Martin Prakkat වසර කිහිපයක නිහැඩියාවෙන් අනතුරුව Nayattu නිර්මාණය කරමින් නැවතත් සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙනවා. ඒ වගේම Kunchako Boban, Joju George, සමඟ මේ වසරේ අති දක්ෂ රංගනයන් සමඟින් ප්‍රේක්ෂකයා හමුවට ආපු Nimisha Sajayan ඇතුළු විශාල පිරිසක් ‌මේ සිනමා නිර්මාණය වෙනුවෙන් රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්,
ප්‍රවීන් මයිකල් (Kunchako Boban) පොලිස් නිලධාරියෙක්, ඔහු පිරොවුම් ‌පොලිස් ස්ථානයට සේවා මාරුවක් ලැබ ඒඑස්අයි මනියන්ගේ (Joju George) සහයකයා විදියට සේවයට එකතු වෙනවා. එම පොලිස් ස්ථානයේම සේවය කරන සීපීඕ සුනීතාට (Nimisha Sajayan) ඇය‌ගේ ඥාති වෙන මැරයන්‌ පිරිසකගෙන් නිරන්තරයෙන්ම සිද්ධ වෙන කරදර හින්දා ඇය ඒ ගැන තමන් සේවය කරන පොලිස් ස්ථානයට පැමිණිලි කරනවා. මේ පැමිණිල්ල වෙනුවෙන් පොලිස් ස්ථානයට ආපු මැරයො පිරිස එක්ක ප්‍රවීන් සහ මනියන් දෙන්නාම රණ්ඩුවක් ඇති කරගෙන එක මැරයෙක්ව කූඩු කරත් දාලිත් කුලයේ එම පිරිස සම්බන්ධ දේශපාලන පක්ෂෙකින් ආපු බලපෑම උඩ එම මැරයා නිදහස් කරන්න පොලිසියට සිද්ධ වෙනවා.
මේ අතරෙදි රාත්‍රියේ විවාහ මංගල්‍යය සාදයකට ගිහින් එන මනියන්, ප්‍රවීන් සහ සුනීතා පැමිණි වාහනයේ හැප්පිලා පෙර  සිද්ධියට අදාල දාලිත් කුලයට අයිති මැර කල්ලියේ ජයන් කියලා කෙනෙක් මිය යනවා. මේ සිද්ධියෙන් පස්සේ හැමදේම කනපිට හැරෙනවා. මනියන්, ප්‍රවීන් එක්ක සුනීතා පොලිස් ජංගම රථයකින් පැනලා යනවා. ඊට පස්සේ මොනවා වෙයිද? සමහරවිට මරණයවත් තමන්ට කැමති විදියට සිද්ධ නොවෙන්න පුළුවන්. ඒ හින්දා ප්‍රවේශම් වෙන්න.  

බයිස්කෝප් අඩවියට සටහන ලියන්නේ රේණුකා සුභාෂිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *