අපූ (ඕපු – බෙංගාලි උච්චාරණය) සමුගනී.

ඉන්දීය සුප්‍රකට චිත්‍රපට රංගන ශිල්පී සුමිත්‍ර චැටර්ජි (සෞමිත්‍රෝ චට්ටෝපාද්‍ය – බෙංගාලි උච්චාරණය) මියගියා. කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතය සමග සටනක නියැලුන ඔහු අද (නොවැම්බර් 15) කොල්කටා නුවර පෞද්ගලික රෝහලක දී මියයන විට 85 වන වියේ පසුවුණා. සත්‍යජිත් රායි ගේ චිත්‍රපට වලින් සිනමාවට පිවිසි සෞමිත්‍රෝ ඔහු ගේ චිත්‍රපට 14ක රඟපා තිබුණා.

රායි ගේ අපූ ත්‍රිත්වයේ අවසාන කොටස වන අපූර් සංසාර් හි අපූගේ තරුණ කාලය නිරූපනය කලේ සෞමිත්‍රෝ විසින්. අපූගේ ලෝකය, චාරුලතා, තීන් කන්‍යා, ආරණ්‍ය දීන් රාත්‍රි, අභිජන්, ඝරේ බයිරේ ඔහුගේ රංගනයන් ගෙන් ඔපවත් වූ චිත්‍රපට. අපර්ණා සෙන්, තපාන් සිංහ, ගෞතම් ගෝෂ්, රිතුපර්නෝ ගෝෂ්, අජාන් දාස් වැනි බෙංගාලි සිනමා අධ්‍යක්ෂවරුන් සමගද වැඩකර ඇති සෞමිත්‍රෝ, මිර්නාල් සෙන් ගේ “ආකාශ් කුසුම්” (1965) හි කළ රංගනය විචාරකයින් ගේ සුවිශේෂ ඇගයීමට ලක්වුණා.බෙංගාලි භාෂීය චිත්‍රපට මෙන්ම හින්දි භාෂීය චිත්‍රපට වල රඟපා ඇති ඔහු නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, නාට්‍ය රචකයෙකු, ප්‍රබන්ධ කතා රචකයෙකු, චිත්‍ර ශිල්පියෙකු හා කවියෙකු ලෙසද චිරප්‍රකටයි.

පද්ම භූෂණ (2004), ජාතික සිනමා සම්මානය (2006), Dadasaheb Phalke Award (2012), Legion of Honour (2018) යන සම්මානයන් ගෙන් ද ඔහු පිදුම් ලැබුවා.

-කපිල එම් ගමගේ-

ලංකා වෙබ් 15/11/2020

Leave a Reply

Your email address will not be published. Required fields are marked *