ලෝක සිනමාවට කාගේ පිහිටද?

-ෂෙනාල් එරාන් ජයසේකර-

මේ ලෝකයේම අවිනිශ්චිත බැවින් වෙලාගත් සමයක්.  New Normal  එසේත් නැතිනම් ‘නව සාමාන්‍යයක්’ බවට පවතින වසංගත තත්ත්වය නිර්වචනය කොට ගෙන එයත් සමඟ ජීවිතය ගත කිරීමට මේ වන විට මුළු ලෝකයම කතිකා කොට ගෙන අවසන්. ඒ කෙසේ වෙතත් සීමාකාරී තත්ත්වයන් මැද ලංකාවෙත් ලෝකයේත් දෛනික කටයුතු ආරම්භ කළේ නව සාමාන්‍යය මෙය යැයි සිතා ගනිමින්.

නැවත කොවිඩ් පොකුරක් වර්ධනය වන අවස්ථාවක ශී‍්‍ර ලංකාවේ නව සාමාන්‍ය කතාබහ ආර්ථිකය දෙසට යොමු වීම ඉතාම ස්වභාවිකය. ණය වාරිකයේ සිට ලාබ අඩුවීම, වැටුප් කැපීම වැනි වැඩිමනක් මහජනතාවගේ දෛනික ආර්ථික ප්‍රශ්න වැඩියෙන් කතා කරන වකවානුවක් නැවතත් ඒවි යැයි උපකල්පනය කරන සමයක් අප ඉදිරියේ පවතී. ඒ අතරේ අපේ සමහර සිනමාශාලා වසා දැමීමට කටයුතු කිරීමේ තත්වය තුළ හා ඇඳීරි නීති තත්ත්වය තුළ නැවත විවෘත කරන දිනයන් අවිනිශ්චිතව පවතී. මාර්තු මාසයේ රට වසන විටත් ආචාර්ය සෝමරත්න දිසානායකගේ සුනාමි, සුජීව පි‍්‍රයාල්ගේ සුපර්ණා, චින්තන ධර්මදාසගේ ඇවිළෙන සුළුයි සිනමාශාලාවල ප්‍රදර්ශනය වෙමින් පැවතිණි. එමෙන්ම අපේ‍්‍රල් මාසයේදී විජේගේ මාස්ටර් දමිළ චිත්‍රපටය මෙන්ම ජේම්ස් බොන්ඩ් නවතම චිත්‍රපටය වන නෝ ටයිම් ටු ඩයි මෙරට සිනමාහල් ආක්‍රමණයට නියමිතව තිබුණි. ඒ සියලු ප්‍රදර්ශන ක්ෂණයෙන් අඩාළ විණි. නව සාමාන්‍යය තුළ විදෙස් චිත්‍රපට නොලැබී යාම්, සිනමාශාලා හදිසියේ වසා දැමීමේ නියෝග, ශාලාවෙන් ඉක්මනින් ගැලවෙන චිත්‍රපට, නිෂ්පාදකයා බංකොලොත් වීම්, දේශීය චිත්‍රපට ගොඩගැසීම් මෙන්ම ශාලා කිහිපයක් වසා දැමීම් වැනි තත්ත්වයන් යථාර්ථයන් වීමේ අවදානමක් ඇත. මෙරට සුපිරිම සිනමා සංකීර්ණ පවා තමන්ගේ සුපිරි මිල ලාභ කළ තත්ත්වයක් යටතේත් එතරම් පිබිදීමක් නොතිබූ අපේ කර්මාන්තයේ ඉදිරි තක්සේරුව කෙසේ මනින්නදැයි දැනට ප්‍රශ්නාර්ථයක් ඇත.

තැටිය රත් වුණු වෙලේ පිච්චුණු රොටි

ලෝකේ ඕනෑම තත්ත්වයකදී තරඟකාරී වෙළෙඳපොළේ යට යන ව්‍යාපාර මෙන්ම උඩ යන ව්‍යාපාර ඇත. එම තත්ත්වය තවත් සරල කොට කියන්නේ නම් දහදිය වැගිරෙන ගි‍්‍රෂ්ම සමයක උණු තේ ව්‍යාපාරය අඩාල වී සිසිල් බීම ව්‍යාපාරය ලාබ ලබනවා හා සමානය. මාර්තු මාසයෙන් ලෝකය පුරා ඇරැඹි රටවල් වසා දැමෙන තත්ත්වයක් තුළ ලෝක ආර්ථිකයද අවපාතයකට ගිය අතර ව්‍යාපාර කඩා වැටෙන තත්ත්වයක් තුළ සරු වූ ව්‍යාපාරද තිබූ බව ආර්ථික තත්ත්වයන් නිරීක්ෂණයේදී පෙනී යන කරුණකි.

ඒ අනුව ලෝකයේ ඔන්ලයින් මඟින් කරන සිල්ලර වෙළෙඳාම් කටයුතු ඉහළම තැනක ස්ථාපිත විය. එය කොතෙක් ලාබදායි වෙළෙඳාමක් දැයි කියනවානම් ඇමරිකාවේ ජෙෆ් බෙසොස් මෙහෙයවන  amazon වෙළෙඳ ජාලයේ එක කොටසක මිල පසුගිය මාස 6 ඇතුළත තිබූ මිලට වඩා ඩොලර් 1000 කටත් වැඩියෙන් මිල නියමවිය. ඉන්පසු පිරිසිදුකාරක හා විසබීජ නාෂක ද්‍රව වෙළෙඳපල, නිවසේ සිට වැඩ කිරීම පහසු කරන සූම් වැනි මෘදුකාංග වෙළෙඳපළ සෑහෙන වර්ධනයක් පෙන්නුම් කර තිබිණි. ඉන් අනතුරුව ලෝක ආර්ථිකය අත් පත් කරගන්නේ වැදගත්ම වෙළෙඳපල දෙකකි. ලෝකයේ බොහෝ විට එකකට එකක් නැතුවම බැරි මත්පැන් ව්‍යාපාරය සහ අන්තර්ජාල විනෝදාස්වාදන ඊළඟ සරු ව්‍යාපාර දෙක බවට පත්විණි.

මේ මොහොතේ ලෝක සිනමාව දැන් ලෝක සිනමාව

මේ මොහොතේ ලෝක සිනමාව කියන්නේ මේ අන්තර්ජාල විනෝදාස්වාදන සේවාවටයි. Streaming Services යනුවෙන් ඉංගී‍්‍රසියෙන් හඳුන්වන්නේත් මේ ඇප් මූලික සේවාවලටයි. තවත් සරල කරනවා නම් Netflix, Amazon Prime” Apple TV” Disney+ “Hulu” I Player  ආදී ලෝකයේ ජනපි‍්‍රයම චිත්‍රපට ඇතුළු විනෝදාස්වාදන අංගයන් සපයන සේවාවන් මෙම Streaming Servicesවලට අදාළ වේ. ඒ අනුව රටවල් වසා දැමීමෙන් පසු ලොව පුරා සිනමා රසිකයන් ක්ෂණික අකර්ශනයකට ලක් කරගැනීමට මෙම විනෝදාස්වාදන සේවාවන් සමත් විය. සිනමාවද ඇතුළුව සංගීත සංදර්ශන, රාති‍්‍ර විනෝද කටයුතු ආදී විනෝදාස්වාදන කර්මාන්ත සම්පූර්ණයෙන් ඇනහිටුණු තත්ත්වයක් මත ලෝකයක් වෙත ඉතුරු වූයේ රූපවාහිනිය හා අන්තර්ජාලය පමණකි. එහෙයින් සිනමාවට වැඩි තැනක් ලැබීම ගැන එතරම් පුදුමයක් වීමට නැත්තේ අන්තර්ජාල විනෝදාස්වාදන සේවාව භාවිත කරන්නන්ගේ දත්ත සැලකීමට ලක් කරද්දීය.

වෘත්තාන්ත චිත්‍රපට, වාර්තා චිත්‍රපට, ටෙලි කතා කොටස් ඇතුළු 50,000 කට අධික අන්තර්ගතයන් අඩංගු ලෝකයේ ජනපි‍්‍රයම සේවාව ලෙස කිරුළ දරා සිටින නෙට්ෆ්ලික්ස් මේ වසරේ මුල් කාර්තුවේ තමන්ගේ වර්ධනය සටහන් කරගත්තේ අලුත් පාරිභෝගිකයන් මිලියන 16 ක් තමන්ගේ සේවාව වෙත එකතු කරගනිමිනි. ඒ එම සමාගම කිසිසේත් අපේක්ෂා නොකළ අගයක්. එමෙන්ම ඇමසන් ප්‍රයිම් වසරේ පළමු අර්ධය තුල වර්ධනය කරගත් අගය ඩොලර් බිලියන 5 කට අධික යැයි පැවසෙන අතරතුරයි. මේ සියලූ අගයන් ඔවුන් උපයාගන්නේ ඔවුන්ද නිර්මාණ වෙනුවෙන් විශාල ආයෝජන සිදුකරන පසුබිමකයි.

මාර්තු මාසයේ එළිදැක්වුණු අති කි‍්‍රයාදාම නෙට්ෆ්ලික්ස් චිත්‍රපටයක් වූ Extraction  ඩොලර් මිලියන 65ක් වැයකර නිමවූ අතර එහි තිබූ කි‍්‍රයාදාම ජවනිකා නිසා ලෝකය පුරා තරුණ ප්‍රජාවගේ නොමද අවධානයට ලක් විය. එමෙන්ම ඒ චිත්‍රපටය ඇවෙන්ජර්ස්, කැප්ටන් ඇමරිකා වැනි දැවැන්ත බ්ලොක්බස්ටර් චිත්‍රපටවල ප්‍රධාන නිෂ්පාදන භූමිකාවන් දැරූ රුසෝ සහෝදරයන්ගේ ව්‍යාපෘතියක් වීම මෙම චිත්‍රපටයේ අවධානය තවත් වැඩි කළ සාධකයක් විය. එමෙන්ම මේ වසරේ ඔස්කාර් උළෙලේ අවධානයට පාත්‍ර වූ මාර්ටින් ස්කෝසසේ ගේ ‘ද අයිරිෂ්මන්‘ ද ඩොලර් මිලියන 159ක් වැය කළ නෙට්ෆ්ලික්ස් චිත්‍රපටයක්ය.

මෙතැනින් නොනවතින නෙට්ෆ්ලික්ස් ඩොලර් මිලියන 200 කට ආසන්න මුදලක් වියදම් කරමින් ‘රෙඩ් නෝටිස්‘ නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන අතර ඩවේන් ජොන්සන් , රයන් රෙනොල්ඩ්ස් , ගැල් ගැඩෝ එහි රංගන දායකත්වය ලබා දීමට නියමිතව තිබුණි. එතැනින් නොනැවතී රුසෝ සහෝදරයන්ගේ මීළඟ දැවැන්තම චිත්‍රපටය එළිදැක්වීමට සූදානමින් පසුවෙයි. දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි ඩොලර් මිලියන 200කට අධික මුදලක් ඒ සඳහා වැයවන අතර නම් තබා තිබෙන්නේ ‘ද ග්‍රේ මෑන්‘ නමින්. කි‍්‍රස් එවන්ස් සමඟින් රයන් රෙනොල්ඩ්ස් මෙහි රංගනයෙන් දායක වීමට නියමිතයි. මෙම චිත්‍රපට දෙකෙහිම එළිදක්වන දිනයන් තවම ප්‍රකාශයට පත් කොට නැත. තමන්ගේ මිලියන ගණනක පාරිභෝගිකයන් වෙනුවෙන් ඔවුන් කරන ආයෝජන එබඳුය. ඒ සරල නෙට්ෆ්ලික්ස් උදාහරණයකි.

නෝලන් සාධකය

මෙමෙන්ටෝ, ද ඩාර්ක් නයිට්, ඉන්සෙප්ෂන්, ඉන්ටස්ටෙලර්, ඩන්කර්ක් ආදී දැවැන්තම චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා වූයේ කි‍්‍රස්ටෝෆර් නෝලන්. ඔහු සිනමා ලෝකයේ කොළඹ හතේ මනාලිය යැයි කීම එතරම් අසාධාරණ නොවේ. වරෙක ඔහු චිත්‍රපටයක් සඳහා අක්කර 500ක ඉඩමක ඉරිඟු වගා කොට ඊට ගිනි තිබ්බේ මිනිත්තු කිහිපයක දර්ශනයක් වෙනුවෙනි. මෑතකම එළිදැක්වුණු ඔහුගේ චිත්‍ර‍පටය වෙනුවෙන් බෝයින් 747 යානයක් ගොඩනැගිල්ලක හප්පා විනාශ කළේය. එබැවින් ඔහු කිසිදිනෙක නම්‍යශීලී අධ්‍යක්ෂවරයෙක් වූයේ නැත. කොළඹ හතේ මනාලියක මෙන් මිල අධිකය. ඔහු චිත්‍රපට හදන්නේ ධ්ථචය 70 ථථ අනුපාතයටය. ඒ සෙලියුලොයිඩ් පට වලිනි. බොහෝ බටහිර චිත්‍රපටවල අති විශාල මිල අධිකම දර්ශන තල නිමවෙන්නේ චිත්‍රපටයේ උච්චම අවස්ථාවටය. නමුත් නෝලන්ගේ චිත්‍රපට පළමු තප්පරයේ සිටම තිබෙන්නේ උච්ඡුම අවස්ථාය. නෝලන්ගේ කතා සැකසෙන්නේම විශාල තිරයක විශාල අත්දැකීමක් වෙනුවෙනි. හොලිවුඩයේ ප්‍රධානම චිත්‍රාගාරවලින් කේවල් කිරීමකින් තොරව චිත්‍රපටයක් වෙනුවෙන් වැඩිම අය කිරීමක් ලබා ගත හැකි අධ්‍යක්ෂවරුන් ස්වල්පය අතරින් මුදුනේ සිටින්නේ ඔහුය. ඒ ඇසුරින් බලන කල ඔහු ලෝක සිනමාවේ සක්විති රජ කෙනෙකි.

ජීවිතයේ පෙනෙන ප්‍රමාණයට වඩා සිනමාව විශාල යැයි විශ්වාස කරමින් ඔහු චිත්‍රපට නිර්මාණය කරන නිසා වර්තමාන අන්තර්ජාල විනෝදාස්වාදන සේවාවන් ගැන ඔහු පසුවෙන්නේ එතරම් තෘප්තියකින් නොවෙයි. ඒ නිසාම 2017 දී ඔහු නෙට්ෆ්ලික්ස් ආයතනය විවේචනය කරන්නේ ඔවුන්ගේ ප්‍රදර්ශන මාදිලිය පිළිබඳ අතෘප්තියකින් කතා කරමිනි. නෝලන්ට අනුව නෙට්ෆ්ලික්ස් කරන්නේ සිනමා අත්දැකීම හකුළුවාලීමය. මන්ද ඔහු කරන්නේ සිතුවිලිවලට එහා ගිය දෙයක් දිගහැර විශාල තිරයක පතිත කිරීමයි. ඒ අනුව නෙට්ෆ්ලික්ස් විසින් කරන සමහර ආයෝජන එවන් දිගහැරෙන චිත්‍රපටවලට කරන්නේ අපරාධයකි. එම ප්‍රකාශ මඟින් ඔහු නෙට්ෆ්ලික්ස් සමඟ වැඩ කිරීම පතික්ෂේප කර ඇත. 2019 දී ප්‍රසිද්ධ සංවාදයක් අතරතුර ඔහු කියා සිටියේ නිර්මාණකරුවන් නිර්මාණ කළ යුත්තේ හැකිළුණු තිරයකට නොව පුළුල් තිරයකට බවය.

වෝනර් බ්‍රදර්ස් දුන්නු පිදේනිය

නෝලන් යනු සිනමා ලෝකයේ ප්‍රබල සන්නාමයකි. පසුගිය සැප්තැම්බර් මාසයේදී එළිදැක්වුණු ඔහුගේ ටෙනට් චිත්‍රපටය වෙත වැඩි අවධානයක් යොමු වුණේ එහි රඟන ජෝන් වොෂිංටන් නිසාවත් රොබට් පැටින්සන් නිසාවත් නොව නෝලන් නිසාය. බනිස් බනිස්මය. නමුත් ටී බනිස් කෑමෙත් මාලූ බනිස් කෑමෙහිත් වෙනසක් ඇත. ඒ වෙනස ලෝකයේම ඉන්නා ප්‍රේක්ෂකයෝ හොඳීන් දනිති. ඒ අනුව වසංගත සමයේ ශාපයෙන් මදක් හෝ සිනමාව ගලවාගැනීමේ අටියෙන් වෝනර් බ්‍රදර්ස් කළේ මේ ඉස්තරම් මාළු බනිස ලොව පුරා සිනමාශාලා වෙත බෙදාහැරීමය. මන්ද කිසිම සිනමාපටයක් නැති තැන කුමක් හෝ චිත්‍රපටයකට පේ‍්‍රක්ෂකයන් පැමිණෙනවා නම් එය යහපත් නිසාය. ඩොලර් මිලියන 224 ක වියදමින් නිමකළ ටෙනට් සති 5ක කාලයක් අවසානයේදී ලොව පුරා ඉපයූ මුළු මුදල ඩොලර් මිලියන 307 කි. බැලූ බැල්මට නිෂ්පාදන වියදමට වඩා ලොව පුරා අදායම අංකයෙන් වැඩි වුවත් හොලිවුඩයෙන් වාර්තා වෙන්නේ බොහෝ සිනමා සංකීර්ණවල මෙහෙයුම් වියදම් ආවරණය කිරීමට තරම් චිත්‍රපටය ආදායම් ගෙන නොදුන් තරමකි. ටෙනට් අදායම මෙතරම් වැදගත් වන්නේ එය ආදායම් ලැබුවහොත් ලෝක කර්මාන්තයට වාසි සැලසෙන හින්දාම නොවෙයි. එයින් පරාවර්තනය කරන අදායම් අඩු වීමේ පරතරයයි. දශකයකටත් වැඩි කාලයක් තිස්සේ නෝලන් නිර්මාණය කරන දැවැන්තම චිත්‍රපටවලින් අඩුම ආදායම් වාර්තා කරන්නේ ටෙනට් චිත්‍රපටයයි. ද ඩාර්ක් නයිට් (2008* මිලියන 1272ක් වාර්තා කරද්දී ද ඩාර්ක් නයිට් රයිසස් (2012* මිලියන 1252ක් වාර්තා කරන්නේ නෝලන් මෙහෙයවූ චරිතවල සුවිශේෂී භාවය නිසයි. ‘කාලය’ නම් සංකල්පය සමඟ හරඹ කරන නෝලන් ලියනාර්ඩෝ ඩි කැප‍්‍රියෝ යොදා කළ ඉන්සෙප්ෂන් ඩොලර් මිලියන 953ක අදායමක් ලබා තිබුණි. ‘කාලය’ යොදාගෙන තිබුණු රහස් මෙහෙයුම් කතාවක් වන ටෙනට් මේ අනුව බලා සිටියදීම අසාර්ථක අන්තයකට රැගෙන ගොස් තිබේ.

බැලූ බැල්මට නෝලන්ගේ අනුහසට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය නොවුණු තරම්. එමෙන්ම වෝනර් බ්‍රදර්ස් වසංගත යක්ෂයාට දුන්නු පිදේනිය නොවටිනා තරම්. කෙසේ වෙතත් නෝලන් දරන අදහස් අනුව ඔහුගේ චිත්‍රපට අන්තර්ජාල විනෝදාස්වාදන මාධ්‍යයන්ට නුසුදුසුයි නම් වඩ වඩාත් ප්‍රේක්ෂකයා වෙත ටෙනට් ගෙන යාමට වෝනර් බ්‍රදර්ස් කුමන තීරණයක් ගනීවිද යන්න ප්‍රශ්නාර්ථයකි. ඒ ටෙනට් වෙනුවෙන් වෝනර් බ්‍රදර්ස් ඉලක්කය වුණු ඩොලර් මිලියන 450-500 ත් අතර ඉලක්කය මඟ හැරී ගිය පසුබිමකය. අනෙක් පසින් යුනිවර්සල් සමඟින් එම් ජී එම් බලා සිටියේ මේ නොවැම්බර් මාසයට ජේම්ස් බොන්ඩ් 25 වන චිත්‍රපටය, නෝ ටයිම් ටු ඩයි තිරගත කොට සිනමාහලට ප්‍රේක්ෂකයා ගෙන්වා ගැනීමටයි. නමුත් පුදන පිදේනිවල අසාර්ථකත්වය නිසාම එම මුදාහැරීම 2021 අප්‍රේල් දක්වා කල් දමා තිබේ.

අල්ලපු රටේ මොකද වෙන්නේ?

දැඩි සිනමාලෝලයක් පවතින ඉන්දියාවේද මේ තත්ත්වය එසේම බල පවත්වා තිබේ. එරට රසිකයන්ටද අවසානයේ ඉතිරි වූයේ අන්තර්ජාල විනෝදාස්වාදන මාධ්‍යයයි. හොලිවුඩයේ චිත්‍රපට ඉන්දියාව තුළ ඒ තරම්ම වැදගත්කමක් උසුලන්නේ නැති හෙයින් නෝලන් සාධකය ඔවුන්ට වැඩකට නැති තරම්ය. ඒ අනුව ඉන්දියාවේ සියලු කර්මාන්ත වල සිනමාශාලා වසා දැමීම නිසා ඒවායේ නිෂ්පාදකයන් හා බෙදාහරින්නන් ඔවුන්ට ලැබෙන මීළඟ අවස්ථාව ගැන නොබියව කල්පනා කොට තිබේ. ඒ අනුව බොහෝ නම ගිය ආයතන තම චිත්‍රපට අන්තර්ජාල විනෝදාස්වාදන මාධ්‍ය වෙත යොමු කිරීමට තීරණය කොට ඇත. ඉන්දියාවේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් රඳවා ගැනීමට මේ වන විට සමත් වන්නේ නෙට්ෆ්ලික්ස් ආයතනයයි. ඉන් පසුව ඇමසන් ප්‍රයිම් මෙන්ම ඩිස්නි හොට්ස්ටාර් එම ලයිස්තුවේ ඉහළින්ම රැකෙනවා. නෙට්ෆ්ලික්ස් මෙන්ම ඇමසන් ප්‍රයිම් ඉන්දියාව වෙනුවෙන්ම චිත්‍රපට සහ ටෙලි කතා මාලා වෙනුවෙන් දැවැන්ත ආයෝජන සිදු කොට තිබේ. තිරය වෙනුවෙන් යොමු කිරීමට නොහැකි බොහෝ චිත්‍රපට ඩිස්නි හොට්ස්ටාර් මඟින් ප්‍රේක්ෂකයා වෙත සමීප කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වී තිබෙන අතර එම චිත්‍රපට මල්ටිප්ලේක්ස් ඛාණ්ඩය යටතේ ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගනු ඇත.

වසංගතයේ උග්‍රම අවධියේ සිය ගණනක් වූ චිත්‍රපටවල රූපගත කිරීම් නැවතීම නිසා අසරණ වන සේවා නියුක්තිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් සුපිරි තරු අරමුදල් පිහිටුවීමට එක් වුණි. දැන් දැන් මේ ප‍‍්‍රශ්නය ළඟා වී තිබෙන්නේ සිනමාශාලා හිමිකරුවන් වෙතයි. ඔවුන් ප්‍රකාශ කරන පරිදි පසුගිය මාස 6ක කාලය තුළ ඉන්දීය සිනමාව ලැබූ පාඩුව ඩොලර් බිලියන 1.2කි. ඔවුන් විශ්වාස කරන පරිදි සිනමාපට පෝලිමේ ගොස් අන්තර්ජාල වේදිකා වෙත මුදාහැරියහොත් ඔවුන්ට ඉතිරි වන්නේ ස්වල්ප චිත්‍රපට සංඛ්‍යාවක් පමණක් බවයි. එමෙන්ම ඔවුන්ගේ වෙළෙඳ එකමුතුව විසින් එරට පුවත්පත්වල දැන්වීම් දමමින් අදාළ පාර්ශවවලින් ඉල්ලා සිටියේ සිනමාශාලා සීමිත තත්ත්වයන් යටතේ හෝ විවෘත කර දෙන ලෙසටයි. කෙසේ වෙතත් ඔවුන්ගේ නාමධාරී බොහෝ චිත්‍රපට තවමත් තිරය වෙනුවෙන්ම බලා සිටින බව නම් සත්‍යයකි.

මීට කලින් මෙහෙම වෙලා නැතිද?

ලෝකය පුරා පේ‍‍්‍රක්ෂකයාගේ චර්යාවන් වසංගතය ආරම්භයේදී ලිහිල් එකක් වුවද පසුකාලීනව එය ඉතාමත් තදින් කි‍්‍රයාත්මක කිරීමට ඔවුන් වග බලා තිබේ. ඒ අනුව පොදු ස්ථානවල ඉතා අඩුවෙන් ගැවසීම ඔවුන් ප්‍රගුණ කළ කළ අතර මුඛ ආවරණය සෑම තත්පරයකම තබා ගැනීමට ඔවුන් උත්සුක වූවා. එවන් තත්ත්වයක් තුළ සිනමාශාලාව තුළ පොප් කොර්න් කමින් බීම බොමින් විනෝදයෙන් ගත කිරීමට බහුතර පේ‍‍්‍රක්ෂක පිරිස ප්‍රතික්ෂේප කොට තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ ලංකාවේ පාඩු ලබන හෙයින් සිනමාශාලා වසා දමන තත්වය ඇමරිකාව ඇතුළු ලෝකයේ බොහෝ කර්මාන්තවල ඉරණම බවට පත් වීමට නියමිතයි. 1918 දී ඇමරිකාව ඇතුළු රටවල් රැසක පැතිරුණු වසංගත ඉන්ෆ්ලූවෙන්සා උණක් වූ ස්පාඤ්ඤ උණ පුරා වසර 2 කට කිට්ටු කලක් මහජනයා භීතියෙන් ඇලළුවා. එකල සිනමාහල් ව්‍යාපාරයේ ප්‍රමුඛයා වූ ඇමරිකාවේ 90% ක් සිනමාහල් වසා දැමීමට කටයුතු කෙරුණා. එනමුත් වසංගත තත්ත්වය අවසන සිනමාව වෙනම නැම්මක් වෙත ගෙන ගියා. එකල අද මෙන් වඩා සංවිධිත සිනමා චිත්‍රාගාර හිමි සමාගම් බිහිව තිබූ නැති හෙයින් බහුතර සිනමාහල් තිබුණේ බහුතර හිමිකාරත්වයක් යටතේය.

ඇඩොල්ෆ් සුකෝ

ඕනෑම සන්දර්භයක හැරවුම් ලක්ෂ්‍ය විශ්වාස කරන කෙනෙකුට විශ්වාස කළ හැකි හොඳම හැරවුම් ලක්ෂ්‍යයකි 1918 ස්පාඤ්ඤ උණ වසංගත තත්ත්වයේ අවසන සිනමාවේ හැසිරීම. එකල ඇමරිකන් සිනමාවේ පතළ නමක් වූ ඇඩොල්ෆ් සුකෝ මෙකී නව නැම්මෙහි පුරෝගාමියාය. එකලත් මෙකලත් සුප්‍රකට පැරමවුන්ට් චිත්‍රාගාරයේ ආරම්භකයෙක් වූ සුකෝ වසංගතය අවසානයේ කදිම සැලැස්මක් ක‍‍්‍රියාවට නැංවූවා. ඔහු මුලින්ම කළේ වෝල් ස්ට‍රීට් වෙතින් මුදල් සම්පාදනය කොට ගැනීමයි. ක්‍රමයෙන් ඔහු මන්දෝත්සාහි වී සිටි අනෙක් සිනමාහල් ජාලයන් වෙත ගොස් එම මුදලින් පැරමවුන්ට් එකී ජාලයන් මිලදී ගනු ලැබුවා. ඉන්පසු එළඹුණේ ඇමරිකානු සිනමා ව්‍යාපාර ඉතිහාසයේ කතිපයාධිකාර සමයයි. කුඩා ව්‍යාපාර මහා ව්‍යාපාර සමඟ එකතු වූ අතර ඉන් අනතුරුව එළඹුණේ චිත්‍රපට නිපදවා තමන්ගේ ශාලාවලටම ඒවා බෙදාහරින, උවමනාවන් අනුව තරු නොවන තරු බිහිකරන වැඩි වියදම් වැඩි ආකර්ෂණය සහිත නිර්මාණ බිහිකරන චිත්‍රාගාර යුගයයි. ඉන් අනතුරුව සිනමාව පැමිණියේ ලෝක ව්‍යාප්ත විනෝදාස්වාදන මාදිලියකටයි.

අනාගතය අදයි

ලෝකයේ විනෝදාස්වාදය සඳහා වියදම් කරන්නේ දුගියන් හෝ යාචකයන් නොවෙයි. යම් වියදමක් දැරිය හැකි ඕනෑම මිනිසෙක් අන්තර්ජාලය සඳහා යම් වියදමක් දරයි. ඒ අනුව සිනමාහලකට ගොස් යම් ප්‍රේක්ෂකයෙක් වියදමක් දරන්නේ ඔහුට අන්තර්ජාල පහසුකම් නැති නිසා නොවෙයි. මෙවන් කාලයකදී වඩාත් ජනපි‍්‍රය මෙන්ම හොඳම චිත්‍රපට වෙනුවෙන් නෙට්ෆ්ලික්ස් විසින් මාසිකව අය කරන මුදල ඩොලර් 15.99 කි. එය ඇමසන් නම් ඩොලර් 12.99 කි. ඒ ඔවුන් ලබා දෙන සුපැහැදිලි 4ඬ රූප ඇති ඉහළම පැකේජයයි. ඒ අනුව මෙම විනෝදාස්වාදන සේවා කිසිසේත් සුඛෝපොභෝගි සේවා ගණයට අයත් නොවේ. 1918 ස්පාඤ්ඤ උණ වසංගත විසින් සිනමාවට කරන ලද අලුත් නැම්ම සියවසක් ඇවෑමෙන් නැවත ලැබෙන්නට නියමිතව තිබෙන්නේත් මුදල් තිබෙන ඇත්තන් විසින් සිනමාව සුඛෝපොභෝගි සේවාවක් බවට විශ්වාස නොකළ නිසාය. පවතින වසංගත තත්වය මත පාඩු පාර්ශ්වය වන්නේ සිනමාහල නඩත්තු කරන පිරිස විනා නිර්මාණකරුවා හෝ උග්‍ර ප්‍රේක්ෂකයා නොවේ.

ලෝකයේ විවිධ කලාපවල වෙසෙන ජනයාගේ අන්තර්ජාල වේදිකාවන් පරිහරණය කිරීමේ පුරුද්ද මැන ගැනීමට හොඳම උදාහරණයක් සපයා ගත හැකිය. යුරෝපා සංගමය මීට මාස කිහිපයකට පෙර නෙට්ෆ්ලික්ස්, ඇමසන් වැනි සමාගම්වලින් ඉල්ලීමක් කළේ ඉහළ යන අන්තර්ජාල ඉල්ලුම හමුවේ ඔවුන්ගේ අන්තර්ගතයන් සඳහා අවශ්‍ය බෑන්ඩ්විත් සීමා කරන ලෙසයි. මෙම ඉල්ලුම ඉහළටම ගිය විටෙක ජාලයන් අවුල් වී අන්තර්ජාලය ඇනහිටින හෙයින් ඔවුන් මෙම ඉල්ලීම කර තිබේ. ලෝකයේ තවත් රටවල් කිහිපයකම ජාල හිමිකරුවන් නෙට්ෆ්ලික්ස් වෙත මෙම ඉල්ලීම සිදු කොට තිබේ.

කෙසේවෙතත් මෙම වේදිකා තව දුරටත් වඩාත් හොඳ චිත්‍රපට වෙනුවෙන් ආයෝජනය කරනු ඇත. සුපිරි තරු මෙන්ම ඉහළ වැදගත්කමක් සහිත අධ්‍යක්ෂවරුන් ඔවුන් සමඟ වැඩ කරනු ඇත. ඒ අනුව ලෝක සිනමාවේ නව සාමාන්‍යය අන්තර්ජාලය වනු ඇත. වඩාත්ම වැදගත් දේ රස වින්දන සීමාවන් ගැන නෝලන් ගේ ප්‍රකාශය අභියෝගයට ලක් වීමයි. ඒ මාවල් සිනමා විශ්වයේ දැවැන්තම චිත්‍රපට නිපදවූ රුසෝ සහෝදරවරු විශාල පිරිවැය සහිත නිෂ්පාදන මේ වේදිකා මතට ගෙන ඒමේ උත්සාහය නිසයි. ඒ අනුව මේ අන්තර්ජාල වේදිකා කිසිසේත් අනාගතය නොවේ. විකල්පයක්ද නොවේ. එය නම් වර්තමානයයි. අනිවාර්යෙන් බාර ගත යුතු වර්තමානයයි. යලි ලෝකය සැනසුම් සුසුම් හෙළා සිනමාශාලාවට යන තෙක් ලෝක සිනමාව යනු අන්තර්ජාලය පමණක්මය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *