අක්ෂේ කුමාර් සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් පෙරට එයි

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රකට අධ්‍යක්ෂවරයෙක්, නර්තන අධ්‍යක්ෂවරයෙක් සහ රංගන ශිල්පියෙක් වන රාගව ලෝරන්ස් ඉන්දියාවේ සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් දැවැන්ත පියවරක් තබා තිබෙනවා. ඒ ඔවුන් සඳහාම වෙන් වූ දැවැන්ත නිවස්නයක් ඉදි කිරීම වෙනුවෙන්.

රාගව ලෝරන්ස් යනු අතිශය මෙරට පවා ජනප්‍රිය වූ ‘කාංචනා’ චිත්‍රපට පෙළේ නිර්මාණකරුවාය. එමෙන්ම ඩොනල්ඩ් ජයන්ත මෙරටදී නිර්මාණය කළ ‘මායා’ චිත්‍රපටය ‘කාංචනා’ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. සංක්‍රාන්ති ලිංගිකයන්ගේ චර්යාවන් සහ ඔවුන් එදිනෙදා විඳින ගැහැට හොඳින්ම පෙන්වූ කාංචනා චිත්‍රපට පෙළට චිත්‍රපට 3ක් ඇතුළත්.

රාගව ලෝරන්ස් නමින් ඔහු පුණ්‍ය ආයතනයක් පිහිටුවා තිබෙන අතර එහි 15 වන සංවත්සරය පසුගියදාට යෙදුනා. ඒ වෙනුවෙන් ඔහු ප්‍රසිද්දියේ ප්‍රකාශ කළේ ඉන්දියාවේ සංක්‍රාන්ති ලිංගිකයන් සියල්ල වෙනුවෙන් නිවාස තනා දීමට තමන්ට අදහසක් ඇති බවයි. එහි පළමු පියවරක් ලෙස මෙම දැවැන්ත නිවාසය ඉදිකරන බව ඔහු පැවසුවා.

ඔහු යොමු කළ ට්විටර් පණිවිඩයකින් දැක්වෙන්නේ ඒ සඳහා භූමියක් තම පදනමෙන් සපයාගෙන ඇති බවත් ඉදිකිරීම් සඳහා ආධාර පතන බවත්ය. මේ අතර බොලිවුඩයේ සුපිරි නලු අක්ෂේ කුමාර් මෙම සද්කාර්යය සඳහා දායක වීමට තීරණය කොට තිබෙනවා. ඒ සඳහා අක්ෂේ කුමාර් ඉන්දීය රුපියල් කෝටි 1.5ක් පරිත්‍යාග කර තිබෙනවා. රාගව ලෝරන්ස් පවසන ආකාරයට මෙම කාර්යයට දායක වන්නන් තමා දෙවියන් ලෙස සලකන බවත් ඒ අනුව අක්ෂේ කුමාර් දෙවියෙක් ලෙසට තමා නම් කරන බවත් රාගව ලෝරන්ස් පැවසුවා.

මේ වන විට කාංචනා චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණය අවසන් වී ඇති අතර එය නම් කොට තිබෙන්නේ ‘Laxmmi Bomb’ ලෙස. එහි ප්‍රධාන චරිතය අක්ෂේ කුමාර් රඟදක්වන අතර අධ්‍යක්ෂණය රාගව ලෝරන්ස් අතින් සිදුවුණා. ‘Laxmmi Bomb’ මේ වසරේ තිරගත වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *