ඔස්කාර් උළෙලේ කප්පාදුවක් – Road to Oscars 2

ඔස්කාර් උළෙල නැතිනම් ඇකඩමි සම්මාන උළෙල මේ මස 24 පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව තිබෙනවා. ඒ ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි ශාලාවේදී. ඒ අනුව මෙවර 2019 දී පැවැත්වෙන්නේ 91 වැනි ඔස්කාර් උළෙලයි. හොලිවුඩයෙන් ලැබෙන අලුත්ම තොරතුරු වලට අනුව මෙවර ඔස්කාර් රාත්‍රියේදී සම්මාන බෙදා දීමේදී යම් කප්පාදුවක් වීමට නියමිතයි.

ඊට මූලිකම හේතුව වන්නේ ගිය වසරේදී ඇකඩමිය විසින් ගනු ලැබූ තීන්දුවකි. එනම් මෙතෙක් abc නාලිකාව ඔස්සේ ලෝකයටම සජීවීව පෙන්වූ ඔස්කාර් රාත්‍රියේ සම්පූර්ණ විකාශන කාලය අඩු කිරීමට ගත් තීන්දුවයි. වෙන වසරවල එම විකාශනය දීර්ඝ රාත්‍රියක් වූ නිසා මෙවර එය පැය 3 ක රාත්‍රියකට සීමා කිරීමට ඇකඩමිය තීරණය කොට තිබෙනවා.

ඒ සඳහා උළෙලේ යම් අංග කිහිපයක් කප්පාදුවට ලක් කිරීමටයි ඇකඩමිය තීරණය කොට තිබෙන්නේ. ඒ වාගේම උළෙලේ ඉදිරිපත්කරන්නා නැතහොත් නිවේදකයා ලෙස එක් අයෙකුගේ නමක් පමණක් යෝජනා කර නැත. ඊට හොලිවුඩයේ බොහෝ දෙනෙක් වරින් වර පැමිණීමට නියමිතයි. කප්පාදුවට ලක් වුනු අනෙක් අංග කිහිපය නම් හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය, හොඳම කෙටි චිත්‍රපටය සහ හොඳම වේෂ නිරූපණ සහ කොන්ඩ සැකසුම් යන සම්මාන රූපවාහිනී සජීව විකාශයෙන් ඉවත් කිරීමයි.

එය මේ වන විටත් හොලිවුඩයේ යම් විවේචනයකටද ලක්ව තිබෙනවා. සමාජ ජාලා වල පවා බොහෝ දෙනා අසා තිබුනේ එම අංග සිනමාවට අවශ්‍යය නැති ඒවාද යන්නයි. එම අවස්ථා සජීවීව විකාශය නොකළද ඒවා අන්තර්ජාලය ඔස්සේ විකාශනයට ඇකඩමිය කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම තවත් සම්මාන 24ක් රූපවාහිනී වෙළඳ දැන්වීම් අතරතුර බෙදා දීමටත් සැලසුම් වී තිබෙනවා. සම්මාන දිනුවන් කරන සම්ප්‍රදායක කතාව උළෙලෙන් පසු විකාශය කිරීමටද කටයුතු යොදා අවසන්.

ගිය වසරේදී යම් ආන්දෝලනාත්මක යෝජනාවක් ලෙස හොඳම ජනප්‍රිය චිත්‍රපටයක් සඳහා සම්මානයක් නිර්දේශ කිරීමට ඇකඩමිය සාකච්ඡා කළ නමුත් පසුව තීරණය වුනේ එම සම්මානය දීම මෙවර උළෙලේදී සිදු නොකිරීමටයි. ඒ අනුව මෙවර සම්මාන රාත්‍රිය කෙටි නමුත් අභිමානවත් එකක් වනු ඇති බවට මත පල වනවා. එය ඔස්කාර් උළෙලට පසුගිය වසර ගණනක සිට කෙමෙන් කෙමෙන් අඩු වන ප්‍රේක්ෂක සංඛ්‍යාව මෙවර යම් අකාරයකින් වැඩි වනු ඇති බවටද අනාවැකි පල වෙනවා.

ඔස්කාර් නාම යෝජනා වලට පිවිසෙන්න – Road to Oscars 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *