ගින්නෙන් උපන් සීතල තුළින් ඇවිලෙන ගිනි

මා ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය නැරඹූවේ මාගේ පවුලේ සියලු දෙනා සමඟිනි. ඊට මාගේ බිරිඳ, පුතා සහ දුව ඇතුලත් විය. චිත්‍රපටය නරඹා එන ගමනේදී පුතා ඇසූ ප්‍රශ්න වැලෙන් කිහිපයක් මා මේ ලිපිය සම්පාදනය සඳහා යොදා ගනිමි. ඒ ප්‍රශ්න මෙසේය.

අප්පච්චි කවුද රෝහණ විජේවීර කියන්නේ?
ඇයි එයා බයෙන් තැනින් තැනට ගියේ?
ඇයි එයාලට එහෙම කළේ?
එයාට තිබ්බනෙ ඔයිට වැඩිය තද තීරණ ගන්න?
ඇයි අනිත් අය එයාව බේරගන්න ඔච්චර මහන්සි ගත්තේ?
එයා අනිත් අයට වැඩිය ලොකු වුණේ කොහොමද?
එයා එච්චරටම ලොක්කෙක්ද?

මේ ආදී වශයෙන් ප්‍රශ්න වැලක් මගේ පුතා ඇසීය. මගේ පුතා කුඩා දරුවෙක් වන අතර ඔහු නියෝජනය කරන පරපුරට මේ වැනි ප්‍රශ්න ‍රැසක් මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් මතුවිය හැක. ඒ ඔවුන්ගේ පරපුර විජේවීර හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ නොදන්නා බැවිණි. ඔවුන්ගේ පරපුරේ සෑම දෙනාම මෙසේ නොවනු ඇතැයි මා පෞද්ගලිකව සිතුවත් බහුතරයේ සිතුවිල්ල මේ යැයි විශ්වාස කළ හැක. මේ තත්ත්වය මත සැබැවින්ම විජේවීර හෝ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව හෝ නොදන්නා අයෙක්ට මීට සමාන ප්‍රශ්න ‍රැසක් ගින්නෙන් උපන් සීතල සම්බන්ධයෙන් ඇතිවීම ස්වභාවික වේ. එහෙයින් මා මේ ලියමන ලියන්නේ ඔවුන්ගේ පරපුර නියෝජනය කරමිනි.

චිත්‍රපටය ආරම්භ වන්නේ හිරගෙදරක දර්ශනයකිනි. ඒ දර්ශන වලදී අවසානයේ මෙහි කතානායකයා හිරෙන් නිදහස් වන බවත් අදාල නිලධාරියා විසින් මේ කතානායකයා රටේ පාලකයා වියහැකි බවටත් ඉඟි කරයි.

අදාල කතානයකයා පිළිබඳ අපට පලමු ඉගියක් ලැබෙන්නේ මෙන්න මේ මොහොතේය. නමුත් චිත්‍රපටයේ කතානයකයාගේ චරිතය ගොඩනැගීමට එය ප්‍රමාණවත්ද යන පැනය මට නැගේ. ඔහුගේ අතීතය කෙබඳුද? ඔහු එවැනි කෙනෙක්ද? කොටින්ම ඔහුගේ බුද්ධිමය හෝ පරිපාලනමය හෝ සංවිධානාත්මක ස්වභාවය පිළිබඳ හෝ කිසිවක් අපට දැනගන්නට ලැබෙන්නේ නැත. එකම දේ නම් චිත්‍රපටය විසින් ඔහු එවන් අයෙක් බව අපිට කියවීම පමණකි. නමුත් එය මෙවැනි චිත්‍රපටයක් සඳහා ප්‍රමාණවත්ද? තිරකතාව ලියන්න එය දැනගෙන සිටියා විය හැක. නමුත් අපි එය දන්නේ නැත. එසේනම් අපිට එය දැන ගැනීමේ අයිතියක් ඇත. එකී අයිතිය තිර රචනයේදී කප්පාදු කොට ඇති අතර එයින් අදාල කතානයකයාගේ චරිතය නිර්මාණය කිරීම අස්වාභාවික කර ඇත.

ඉන්පසු එළඹෙන ප්‍රධාන ‍රැස්වීම තුළින් මේ සිටින්නේ දේශපාලන පක්ෂයක නායකයෙක් බැව් අපිට හැඟී යයි. නමුත් මේ නායකයාගේ චරිත නිර්මාණය තුළින් ඔහු එවන් නායකයෙක්දැයි යන පැනය අපට මතු වේ. චිත්‍රපටය කියන බැවින් අපි බලා සිටිමු.

චිත්‍රපටය විසින් පෙන්වන දේශපාලන සංවාද හා ඔවුන් විසින් ගනු ලබන ඇතැම් තීරණ අරඹයා දේශපාලන පක්ෂයක් හා ගමේ මරණාධාර සමිතියක් අතර එතරම් වෙනසක් නැතැයි කියා මට සිතෙන්නට විය. විමුක්ති ගී සඳහා පක්ෂය විසින් තීන්දු තීරණ වලට එළඹෙන මොහොතේ මට එසේ සිත් විය. එය එතරම්ම ග්‍රාම්‍යයැයි මට සිතේ. ඉන් පසු එළඹෙන්නේ විමුක්ති ගී ප්‍රසංගයයි. එහිදී ගැයෙන ගීතය ප්‍රස්තුත කාරණය හා සමපාත වන බව හැඟී යයි. විශේෂයෙන්ම ගීය සඳහා යොදාගත් හඬ සේම ගීතයේ රිද්මය තනුව ආදිය චිත්‍රපටයට ආලෝකයක් සපයයි. නමුත් බොහෝ ශ්‍රී ලාංකේය චිත්‍රපටවල දකින්නට ලැබෙන ආකාරයට ගීතය රූ ගත කිරීමේදී ගීතය, වාදනය, වාදන භාණඩ, වාදනය කරන ආකාරය ආදී බොහෝ දෑ පිළිබඳව නොගැලපීම දැකිය හැකි වේ.

චිත්‍රපටය විශාල කාල පරාසයක් කතා කරන්නට යෑම නිසා බොහෝ තැන් වාර්තාමය ස්වරූපයක් ගනී. විශේෂයෙන්ම කතානායකයාගේ සිතේ ප්‍රේමයක් ජනිත වීම එය පෙන්විය යුතු නිසා එය එසේ පෙන්වීමට ගත් උත්සාහයකැයි කියා මට සිතේ. එය ඒ තරමටම අස්වාභාවිකය. නමුත් සිය නැගණියට රෝහණව කසාද බැඳිය යුතු යැයි කියා බලකරන හා බල නොකර බල කරන අයියලාගේ කතාව හා එය අවසානයේ නැගණිය වූ චිත්‍රාංගනීගේ ඉරණම පෙන්වන ආකාරය සිත්ගන්නා සුලුය. විශේෂයෙන්ම කිසිම හේතුවක් නැතිව එකී දර්ශනයේ අවසානයේ චිත්‍රාංගනී ළඟට එන ගැබිණි කාන්තාවගෙන් අධ්‍යක්ෂවරයා ඉතා අපූරුවට මේ තරුණ කාන්තාවට අත්වන්නට යන ඉරණම පෙන්වයි. එම ස්ථානයට එන්නේ ඇතැම් විට ලොකු අයියාගේ බිරිඳ විය හැක. කිසිඳු දෙබසක් නොමැතිව වුවද මේ මොහොත තුළින් අනාගත විපතක උපත පෙන්වයි. එසේම සමස්ථ කතාව තුළම ඇති පුරුෂෝත්මක ස්වරූපයද මෙහිදී මතු කරයි. කතාව තුළ ස්ත්‍රීන්ට තැනක් නැත. සමස්ථ ක්‍රියාවලියම පුරුෂ මූලික වේ. විප්ලවවාදිනියන් නැත. සිටිනවානම් ඔවුන්ද අරගලයේම ඛේදවාචකය. ඔවුන්ට කතාවක් නැත. ඔවුන් ළමයි වදයි හදයි පමණකි. කොටින්ම පැවසුවහොත් විප්ලවය අවසන් වන්නේත් කාන්තා හඩක් නිසාම බව අපට පෙන්වයි. ඒ කතානායක රෝහණගේ සිය දියණියට ඇති අසීමිත ආදරය නිසායි. එය අපි වෙනම කතා කරමු. නමුත් අදේශපාලනික චිත්‍රාංගනී නිහඬවම සංග්‍රාමයක නිරත වේ. නමුත් ඈ කොතෙක් අදේශපාලනික වූවද ඇගේ දේශපාලනික ඉව තේරුම් ගන්නට කතානායකයා සමත්ව නැති බව අපට අධ්‍යක්ෂවරයා පෙන්වන්නේ සැබැවින්ම මෙම චිත්‍රපටයේ කතානායක රෝහණව මුලුමනින්ම අසමත් කරමිනි. අවසාන රාත්‍රියේ තමන් ඕනෑම මොහොතක පලා යාමට සූනම්ව ලක ලෑස්ති වීඇති බව ඇය පැවසීම තුළින් ඈ කොතරම් නම් එකී දේශපාලන ප්‍රවාහය හා බද්ධ වී සිටීද යන්න පෙන්වයි. නමුත් රෝහණ එහිදී මුලුමනින්ම සිය අසමත්කම ප්‍රදර්ශනය කරයි. දැවැන්ත දේශපාලන ප්‍රවාහයකට නායකත්වය දෙන විප්ලවවාදී නායකයෙක්ට සිය නිවසේ බිරිදගේ පෙර සූදානම නොතේරුණිද? එයට ක්ෂණිකව ප්‍රතික්‍රියා දක්වන්නට නොහැකි වන්නේ මන්ද? තවද රෝහණ සිය බිරිද හුදෙක් ලිංගික සහකාරියක් සහ ඔහුගේ දරුවන්ට මවක් බවට පත්කිරීම සඳහා පමණක්ම චිත්‍රාංගනීව තබා ගෙන සිටිනවාද යන්න අපට මතුවන් පැනයකි. එය එසේ වන්නේ මෙකී දෙබස් සහ චිත්‍රපටය පුරාවටම රෝහණගේ අඹු සැමි චර්යාවේ ප්‍රතිපල දකින විටයි. කතාව සත්‍ය කතාවක් පදනම් කරගත්තේ නම් මේ මොහොතේ දෙබස් පිළිබඳව කතා රචකයා විමසිලිමත් විණිද? නැතිනම් සැබැවින්ම චිත්‍රාංගනී මෙසේ පෙර සූදානමික් සිටි කාන්තාවක්ද? කෙසේ වෙතත් ප්‍රවාහය ගිනිගනී.

මා මෙම ලියමන ආරම්භ කරන මොහොතේම කියූ පරිදි රෝහණ හෝ පක්ෂය පිළිබඳව නොදන්නා අයෙක්ට චිත්‍රපටයේ කතානයක, රෝහණව පෙනෙන්නේ වඩාත් සුදු චරිත නිර්මාණයක් ලෙසටයි. ඔහු පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුළ වුවද දැඩි තීන්දු තීරණ ගන්න බවක් නොපෙන්වයි. ගනු ලබන බොහෝ තීන්දු තීරණ සාමූහික තීරණ වේ. එතුළින් කිසිම මොහොතක ඔහුගේ නායකත්ව ලක්ෂණ නොපෙන්වයි. කොටින්ම කියනවානම් චිත්‍රපටයේ ඉන්නා රෝහණ නම් චරිතය සැබෑ චරිතයට වඩා පරස්පර ද නැතිනම් චිත්‍රපටයේ චරිතය ගොඩනගන්නේ රෝහණට හිමිවිය යුතු නිවැරදි අතීත හිමිකම අමතක කරමින්ද යන පැනය අපට මතුවේ.

මා මෙහිදී පක්ෂය විසින් හෝ රෝහණ විසින් හෝ ගනු ලැබූ දේශපාලනික තීන්දු, ඔවුන්ගේ දේශපාලනික චර්යාව පිළිබඳව කතා කරන්නේ නැත. නමුත් නිර්මාණය තුළ නිර්මාණය කරන රෝහණ යනු අතිශයෝක්තියක් යන පැනය මතුවීම වැලකිය නොහැක. වඩා මානුෂික චරිතයක් නිර්මාණය කිරීම සඳහා සකස් කරන ලද තිර රචනයක් ලෙසින් මෙම කතාව පෙනීම හා දැනීම වැලැක්විය නොහැක. ඒ අර්ථයෙන් ගත්විට කතාව ලියන්නේම එහි නිර්මිත අවසානයට ලඝු කිරීමටම නොවේද කියන පැනය මතුවේ. තවත් අයුරකින් ලියනවානම් ඔහු මහා වීර චරිතයක් නොවුනත් ඔවුන්ගේ හා ඔවුන්ට බලපෑම් කළ දේශපාලනික ස්වභාවය අනුව යෝජිත අවසානයකට යාමට ගත් දුර්වල උත්සාහයක් ලෙස මට සිතේ.

නමුත් සමස්ථ චිත්‍රපටයම මෙකී කරුණු නිසා ඉවත් කළ යුතු නිර්මාණයක් ලෙස මා කිසිම මොහොතක නොකියමි. චිත්‍රපටය හොඳය. සමස්ථ නිර්මාණය කියවද්දි අපට ප්‍රශ්න මතුවුවද ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය හොඳ නිර්මාණයක් සහ ප්‍රේක්ෂක ආකර්ෂණය නොමදව ලබන චිත්‍රපටයක් ලෙසට නම් කළ හැක. එනමුදු චිත්‍රපටය නැරඹීමේදී ගින්නෙන් උපන් සීතල තුළින් ගිනි මතුවීම වැලැක්විය නොහැක.

අරුණෝද් K.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *