‘No Other Choice’ (2025)
මෙහෙම එකක් එනවා කියල ආරංචි වුණ දා ඉඳන්මත් මුල්ම පෝස්ටරය නිකුත් වුණාට පස්සෙත් බලන්න නොඉවසිල්ලෙන් හිටපු චිත්‍රපටයක්. හේතුව ඉතින් ලෙජන්ඩරි කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂක Park Chan-wook නිසා. එයා කවුද මොනවද කළේ කියල අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නෑ. ඔහුගෙන් බහුලවම අපිට හමුවෙලා තියෙනවා neo-noir ක්‍රයිම්/සයිකොලොජිකල් ත්‍රිලර්ස් කතන්දර. ඒ අතරටම රොමෑන්ස්, ඉරොටික් ඒවත් අපි දැකල තියෙනවා. එතකොට මේක අයත් වෙන්නෙ බ්ලැක් කොමඩි වලට. ඒ වගේම මේක රීමේක් එකක්. Park Chan-wook ගෙ රටාවෙන් බ්ලැක් කොමඩියක් බලනකොට තියෙන ආතල් එක කොහොමත් වෙනම ලෙවල් එකක්. මෙදා සැරේ ඔස්කාර් යවන්න කොරියාවෙන් තෝරාගෙන තියෙන්නෙත් මේකම තමයි. එක අතකට මේක Park Chan-wook ගෙ Parasite එක කියල හඳුන්වන එකේ වැරැද්දකුත් නෑ හැබැයි.
1997 දි නිකුත් වූ The Ax කියන ඇමරිකානු නවල් එක තමා කතන්දරයට පාදක වෙන්නේ. පොත ඇසුරෙන් The Axe කියල චිත්‍රපටයකුත් නිකුත් වෙනවා 2005 වසරේදී ප්‍රංශය, බෙල්ජියම සහ ස්පාඤ්ඤය යන රටවල සම නිෂ්පාදනයක් විදිහටත්. ඒ එකම කතන්දරයම කොරියානු රහට අඩුම කුඩුම යොදලා පිලියෙල කරන එක තමා Park Chan-wook ගෙ භාරදූර කාර්‍යය වෙන්නේ. වැඩේ දීල තියෙනවා තිතටම. එයාගෙ සමස්ත චිත්‍රපට පෙළ එක්ක එකට තියල බැලුවම, අනෙක් තේමාවන් එක්ක සැසඳුවාම, විතරක් මේක ශ්‍රේණිගත කරන්න වෙන්නේ අඩුවෙන් කියලත් හිතෙන්න පුලුවන්. හැබැයි මේක මම ඉතාම ප්‍රියකරන බ්ලැක් කොමඩි ශානරයේ වැඩක් නිසාම පෞද්ගලිකව මට මේක ඉතාම ඉහළ වැඩක්. බ්ලැක් කොමඩියෙන් මතුකරන විකාරරූපී බව තුළ සැබෑවටම අඩංගු වන යථාර්ථවාදී පැතිකඩක් තියෙනවනේ. මේ කතන්දරය ඇතුළෙත් රැකියා විරහිත බව කියන සාධකය පදනම් කරගෙන කියන්නේ සැබෑම දරුණු වාතාවරණයක්.
අධ්‍යක්ෂකවරයා වගේම රංගන ශිල්පීනුත් සෑහෙන්න හොඳ හේතුවක් වෙනවා මේක නරඹන්නට. විශේෂයෙන්ම ප්‍රධාන රංගන ශිල්පියා Lee Byung-hun කියන්නෙ Park Chan-wook ගෙ තවත් විශිෂ්ටතම නිර්මාණයක් වන JSA (2000) හි කැපී පෙනෙන ඉදිරිපත් කිරීමක් සිදු කළ අයෙක්. තවත් බොහෝ නිර්මාණ අතරේ අපට මෑතකදී වඩාත් මතකයේ රැඳෙන්නේ Squid Game නිසාමයි. මෙහිදී වෙනස්ම ස්වරූපයකින් තමා අපට ඔහුව හමුවෙන්නේ. ඒ අපූරු චරිත විස්තරයට ලැබෙනවා ඉස්තරම්ම දායකත්වයක්. ඔහුගේ බිරිය ලෙස හමුවන So Ye-jin කියන්නෙ ඉතින් සදාදරණීය කොරියානු ආදර කතාවක් වන A Moment to Remember (2004) හි ප්‍රධාන රංගන ශිල්පිනිය. මේ බිරියගෙ භූමිකාවත් වඩාත් වැදගත් වෙනවා සැමියාගෙ ක්‍රියාකලාපය හා අනුගත වෙන්නට ගියාම. හොඳ සහයක් ඒ ඉදිරිපත් කිරීම තුළත් දකින්නට ලැබෙනවා. Yeom Hye-ran කියන්නෙත් මම ඉතා ප්‍රියකරන ශිල්පිනියක්. ඇයට ලැබිල තියෙන අවස්ථාව තුළ අවශ්‍ය කරන ඇක්ට් එක ඉතාම සාධාරණව ඉදිරිපත් කරල තියෙනවා. මෙවර ඔස්කාර්ස් වල හොඳම ජාත්‍යන්තර චිත්‍රපට ශෝට්ලිස්ටඩ් වලට එකතුවෙලා තියෙනවා. ඒ වගේම එළැඹෙන ගෝල්ඩන් ග්ලෝබ් සිනමා සම්මාන උළෙලේදී
Best film – musical or comedy, Best non-English language film සහ Best male actor – musical or comedy වෙනුවෙන් රංගන ශිල්පී Lee Byung-Hun නිර්දේශ වී තිබෙනවා.
තේමාව පැත්තට ගියොත් මේක තමා ඇත්තටම වෘත්තිකයින්ගේ ඉදිරි අනාගතය. යන්ත්‍රසූත්‍ර වල තාක්ෂණික දියුණුවත් එක්ක කෘතිම බුද්ධියත් එක්කාසු වුණාම තවදුරටත් මිනිස් ශ්‍රමය කියන දේ අහෝසි වෙලා යනවා. මුලු කර්මාන්තශාලාවක්ම තනි පුද්ගලයෙකුගේ මෙහෙයවීමෙන් පමණක්ම පවත්වාගෙන යන්නට හැකි වෙනවා. ඒ පුද්ගලයාව වුණත් අවශ්‍ය නොවෙන තැනට අනාගතය හැඩගැසේවි. එතකොට ඉතින් තමන් ආසාවෙන් කරපු රස්සාවල් දාලා මිනිස්සුන්ට වෙන වැඩ කරන්න වේවි. ආසාවටත් වඩා ඉතින් බඩ වියත රැකගන්න තමන් දන්න එකම දේ වෙනුවට වෙනත් ආදේශක සොයා ගන්නට වේවි. අදාළ කාර්‍යය සම්බන්ධයෙන් තමන් සතු විශේෂඥ දැනුම සහ පළපුරුද්ද පුස්සක්ම වේවි. එහෙව් අනාගතයක් ගැන අනතුරු අඟවන්නක් වගේම විරැකියාව කියන නපුරු හීනෙන් නිරන්තරයෙන්ම මඬිනා ලද මනුස්සයෙක්ව ජීවිතේ නොහිතන පැත්තකට තල්ලු කරල හරින්නට තරම් වන පීඩනයක බලපෑමත් දකින්නට හැකියි. “No other choice” කියන එක පූර්ණ වශයෙන්ම අරුත්ගන්වන 2025 වසරේ සුපිරියක් විදිහට ඉහළින්ම නිර්දේශ කරන්නට කැමතියි.
-ලක්ෂ්මන් අරංවල
සිනමාවේදීන් – The Cinema People
