බෙංගලුරු උළෙලේ සටන් වදින “ද නිවුස්පේපර්”

සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සමව අධ්‍යක්ෂණය කළ “ද නිවුස්පේපර්” චිත්‍රපටය, මේ දිනවල ඉන්දියාවේ බෙංගලුරු නුවර (බැංගලෝරය) පැවැත්වෙන 13 වෙනි බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙල (Bengaluru International Film Festival) නියෝජනය කෙරේ. එහිදී උළෙලේ  ප්‍රධානතම තරඟකාරී අංශය වන “ආසියානු සිනමා තරඟය” (Asian Cinema Competition) යටතේ තිරගත කෙරෙන “ද නිව්ස්පේපර්” , උළෙලේ පිරිනමන ඉහළම තරඟකාරී සම්මානය වන “හොඳ ආසියානු සිනමාපටය” (Best Asian Film) වෙනුවෙන් තරග වදී.

ලොව පුරා ක්‍රියාත්මක සිනමා උළෙල ප්‍රමිතිකරණයේ හා වර්ගීකරණයෙහි නියැලෙන ලොව ප්‍රමුඛතම ආයතනය වන “ෆිඇප්ෆ්” (FIAPF-  Fédération Internationale des Associations de Producteurs de Films) ආයතනයේ පිළිගැනීම (FIAPF Accreditation) මෙම වසරේ සිට බෙංගලුරු උළෙලට හිමි විය. එකී ෆිඇප්ෆ්  පිළිගැනීමත් සමග උළෙලට ඉහළ ජාත්‍යන්තර අවධානයක් හිමිවනවා සේම, මේ වසරේ සිට ඉන්දියාවේ පැවැත්වෙන  ප්‍රමුඛතම තරගකාරී අන්තර්ජාතික සිනමා උළෙල පහ අතරට (ගෝව, කේරළ, කොල්කටා, මුබ්බායි, බෙංගලුරු) බෙංගලුරු අන්තර්ජාතික සිනමා උළෙල එක්විය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ  “ද නිව්ස්පේපර්”  චිත්‍රපටය  බෙංගලුරු උළෙල ඉතිහාසයේ “ආසියානු තරග අංශය” නියෝජනය කරන 12 වෙනි ශ්‍රී ලාංකේය සිනමාපටය වේ. මීට පෙර තරග වැදුණු චිත්‍රපට 11 අතුරින්, එක් චිත්‍රපටයක් පමණක් බැංගලූරු උළෙලේදී  සම්මානයට පාත්‍ර වී ඇත. ඒ 2011 වසරේදී තරග වැදුණු සංජීව පුෂ්පකුමාරගේ “ඉගිල්ලෙන මාළුවෝ” චිත්‍රපටයයි.

එළඹෙන 10 වෙනිදා උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වේ. බන්දුල ගුණවර්ධන, සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර ප්‍රමුඛ පිරිසක් උළෙලට සහභාගි වීමට නියමිතව තිබුණි. එහෙත්  උළෙලට සහභාගි වන විදේශිකයන් සම්බන්ධව ප්‍රාන්ත රජය විසින් පැණවූ නව කොවිඩ් වසංගත නිතී රීතී නිසාවෙන් එකී අවස්ථාව ඔවුනට අහිමිවිය.

“ද නිවුස්පේපර්” චිත්‍රපටය බෙංගලුරු  උළෙලේ තරගකාරී අංශයට ඉදිරිපත් කිරීම හා උළෙල සම්බන්ධීකරණය උදිත ලක්මාල් කහඳවආරච්චිගෙනි.

අනුෂා රණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *