ජීවිතයේ ගැඹුර – Gehraiyaan

පේ ජීවිත වල කොයිතරම් නම් හැල හැප්පීම් තියෙනවද? කොයිතරම් නම් රහස් තියෙනවද? සමහරක් රහස් ඒ පුද්ගලයාගෙ ජීවිත කාලෙටම රහසක් විදියට තිබිල මරණෙයෙන් පසුවත් රහසක් විදියටම ඔහුත් සමඟම මිහිදන් වේවි. මෙන්න මේ මිනිස්සුන්ගේ ජීවිත වල අඳුරු පැතිකඩක් පෙන්නවන චිත්‍රපටියක් තමයි Gehraiyaan .

S P O I L E R A L E R T

කෙනෙක්ට හිතෙන්න පුලුවන් අලීශාගෙයි සෙයින්ගෙ ආදරය නිකන්ම නිකන්ම හැඟීමක් නැති ආදරයක් කියලා. රාගය විතරයි එතන තියෙන්නෙ කියල. ඒත් එය තමා යථාර්ථය . බහුතරයක් අසම්මත ආදර කතාවල පටන් ගැන්මම එය නොවේද.. තමන්ගේ හිත රවට්ට ගන්න මොන දේ කිව්වත් එය තමා සත්‍යය. අපිට කොයි තරම් සෙයින්ල අලීශල ගැන අහන්න ලැබිල තියෙනවද? කොයිතරම් නම් සමාජ මාධ්‍ය තුළ ,එදිනෙදා පුවත් වල, සමාජයේ මේ අය හමුවෙලා ඇතිද? වෙනසකට තිබුනේ ඒ එකිනෙකාට වෙනම කතාවක් තිබුන එකයි. හැබැයි අපේ මිනිස්සුන්ට මේ අසම්මතය උනත් සාධාරණීකරණය වෙන විදියට තිබ්බ නම් මේ ගැන ගොඩාක් කතා කරයි. නමුත් මේ චරිත වල අමු ගතියම තමා චිත්‍රපටියේ සාර්ථකත්වය .

අලීශාගෙ චරිතෙ ගත්තම ඇය අතීතය අමතක කරන්න උත්සහ කරන නමුත් ඒ තුළම පැටලිලා ඉන්න චරිතයක්. නමුත් ඇයට ඕන උනා ජීවිතයේ ඉදිරියට යන්න සාර්ථක වෙන්න. නමුත් තමන්ගෙ සහකාරයගෙන් ඒ විදියටම අත්වැලක් නොලැබුන නිසාත් තමන්ගේ ඤාති සහෝදරිය ගත කරන සැපවත් ජීවිතය හා ඇයගේ සහකාරයාගෙන් ලැබෙන ආදරය දකින අලීශ තුළත් තමන් ගැන කළකිරීමක් දුකක් ඇති නොවුනා කියල කියන්න අමාරුයි. එවැනි අවස්ථා කීපයක්ම අපට චිත්‍රපටයේ හමුවෙනවා.

චිත්‍රපටයම අලීශාගෙ චරිතය වටා ගෙතෙන අතර කොතනකවත් මට දීපිකාව හමුවුණේ නෑ අලිශව මිස. චිත්‍රපටයේ මාව සංවේදී කරේ අවසානයේ තාත්තා හා දුව අතර ඇතිවන සංවාදය.

ඒ අවස්ථාවේ තමන් වරදවා වටහා ගත් නිසා ඇතිවූ පසුතැවීම අලීශා තුළින් පෙනෙන්නට තිබුනා වගේම එහෙම නොවුන නම් ඇගේ ජීවිතේම වෙනස් වෙන්න තිබ්බා. ඇය මානසික රෝගියෙක් නොවෙන්න තිබ්බ, අම්මගෙ ආදරය නැතත් තාත්තගෙ ආදරය ලැබෙන්න තිබ්බ. නමුත් අවසානයේ හරි ඇය අතීතයෙන් එළියට ආපු නිසා පුංචි හරි සැනසීමක් ලැබෙන්න ඇති.

මට දැනෙන විදියට මෙයින් දෙන පණිවිඩයත් එයයි. ජීවිතයේ ඉස්සරහට යද්දි අපි අතීතය අල්ලන් හිටියොත් අපි එතනමයි. නමුත් කොයිතරම් සඟවන්න උත්සහ කරත් දියේ තියෙන රබර් බෝලයක් වගේ අතීතයේ අපි අමතක කරන්න හදන දේවල් කොයි මොහෙතේ අපිට හමුවෙයිද කියන්නත් බෑ. හරියට චිත්‍රපටයේ අවසානය වගේ….

සටහන – දුලාංජලී මදුවන්ති Deepika Padukone Fan Club – Sri Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *