දැන් හැමෝම දන්න, කවුරුවත් දන්නේ නෑ චිත්‍රපටය අද සිට දිවයින පුරාම…..

කවුරුවත් දන්නේ නැහැ – බෙනට් රත්නායක

අස්වැසුම, සුළඟ, ඉරහඳයට සහ නෙලා ලාංකීය සිනමාවට නිර්මාණය කළ සම්මානිත සිනමාවේදී බෙනට් රත්නායක අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමා නිර්මාණය “කවුරුවත් දන්නේ නෑ” (Nobody Knows) චිත්‍රපටය මේ මස 22 සිට ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් සිනමාශාලාවන්හි තිරගත වීමමට නියමිතයි.

අද දවසේ මේ කතාබහ “කවුරුවත් දන්නේ නෑ” (Nobody Knows) චිත්‍රපටය තිරරචනය කොට අධ්‍යක්ෂණය කරනු ලැබූ බෙනට් රත්නායකයන් සමඟයි.

මම රාජ්‍යසේවයේ සේවයේ වසර ගණනාවක් වැඩ කරපු කෙනෙක්. ඒ නිසා මගේ ජිවිතේ වැඩි කාලයක් මම අපේ රටේ සිදුවෙන දේශපාලන වෙනස්වීම් පිළිබඳව අත්විදපු අත්දැකීම් ලබපු පුද්ගලයෙක්. අපි පුංචි කාලේ හිටපු දේශපාලඥයින් කියන්නේ හරිම සුන්දර මිනිස්සු. මට මතකයි අපේ ගමේ හිටියා ටී.බී  තෙන්නකෝන් කියලා ඇමති කෙනෙක්. ඇමතිතුමා පාරේ යනවා ඇවිදගෙන අපිව දැක්කම හලෝ කියාගෙන අපි පොඩි කාලේ. නමුත් අපි පොඩි කාලේ 1970 ගණන් වල දැකපු දේශපාලඥයින් සහ අද ඉන්න දේශපාලඥයින් අතර ලොකු වෙනස්කම් සහ ඒ අයගේ ක්‍රියාකලාප වල මිහිරි සහ  අමිහිරි දේවල් අත්වින්දා.

ඉතින් මගේ සිනමා ජිවිතේ ගත්තම එකම තේමාවක් ඔස්සේ චිත්‍රපට කරන කෙනෙක් නෙවෙයි. මම එහෙම චිත්‍රපට ගොඩක් හදලත් නැහැ. මම හදලා තියෙන්නේ චිත්‍රපට 5යි. “අස්වැසුම” කියන චිත්‍රපටය තමා මම මුලින්ම නිර්මාණය කළේ. ඒ තුළ තියෙන්නේ තණ්හාව ගැන. දෙවැනි නිර්මාණය “සුළඟ” ලිංගික ඉරිසියාව පිළිබඳ සමාජ ස්ථර හතරක ඉන්න කාන්තාවන් හතරදෙනෙක් ගැන. ඊළඟ නිර්මාණය “ඉරහඳයට” ඒ තුළ  තියෙන්නේ මේ රටේ තියෙන ජාති ආගම් වර්ගවාදී වෙනස්කම් පිළිබඳව. සිව්වැනි චිත්‍රපටය “නෙලා” තුළින් මම පිවිතුරු ආදරය ගැන කතා කළා. මේ මගේ සිනමා ගමනේ පස්වෙනි නිර්මාණය. මේ තුළ මම හිතුවා ජිවිතේ මම ලබාපු අත්දැකීම් එක්ක දේශපාලන ත්‍රිලර් එකක් කරන්න ඕනේ කියලා හිතුවා.

මගේ පෙර චිත්‍රපට නම් ජාත්‍යන්තර සම්මාන උළෙලවල් රැසක් නියෝජනය කළා. මොකද ඒ නිර්මාණ සියල්ල විශ්වීය විෂයන් නිසා. නමුත් මෙය එවැනි නිර්මාණයක් නෙවෙයි. මට අවශ්‍ය වුණෙත් නැහැ විදෙස් සිනමා උළෙලවල් නියෝජනය කරන්න. මට ඇත්තටම ඕනේ වුණේ අපේ රටේ මගේ දේශපාලන දැක්ම සහ මම අත්විදපු දේවල් සිනමා කෘතියක් තුළින් ඉදිරිපත් කරන්න. ඒ අනුව තමා “කවුරුවත් දන්නේ නෑ” (Nobody Knows) චිත්‍රපටය මම තිරරචනය කරලා අධ්‍යක්ෂණය කළේ.

කවුරුවත් දන්නේ නෑ චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ පොල්ගෙඩි අටක් සොරකම් කර පරිවාස සිරභාරයට නියම වන යොවුන් පාසැල් දැරියක් , එම පොල්වතු හිමිකරු වන ව්‍යාපාරික දේශපාලනඥයෙකු , සහ සාධාරණත්වය, නීතිය සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් වෙනුවෙන් පෙනී සිටින අවංක පොලිස් නිලධාරියකු වටායි.

දුෂිත දේශපාලකයින්, මැරයන් රකින රටක්, නීතියක් !!

පොල් ගෙඩි 8ක් නිසා පරිවාස සිරගෙට යන්නට සිදුවන ගැහැණු ළමයෙක් !!

සමාජ අසාධාරණයට විරුද්ධව සටන් කරන සංවේදී පොලිස් නිළධාරියෙක් !!

පවතින ක්‍රමයට අභියෝග කර වෙනස් කරන්නට ඔවුනට හැකිවේද?

මේ චිත්‍රපටයේ සියලු වැඩකටයුතු අවසන් වුණේ 2020 මුලදී. මේ චිත්‍රපටයට විශාල ප්‍රවීන දක්ෂතා සපිරි පිරිසක් දායක කර ගත්තා. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි ප්‍රධාන චරිතය ද කුඩා චරිතයක් ද කියන එක නෙමෙයි වැදගත්, ඒ අදාල චරිතයට සාධාරණය ඉෂ්ට කරන වඩාත් සුදුසු රංගනශිල්පියෙක් ගන්න එකට තමා මම නිර්මාණකරුවෙක් විදියට කැමති. ඒ නිසා මම හැමවෙලේම එක දර්ශනයකට පවා ඉතාම දක්ෂම රංගනශිල්පින් තමයි සහභාගී කර ගත්තේ. සමහර ප්‍රවීන දැවැන්ත චරිත මේ තුළ ඉන්නේ දර්ශන දෙක තුනකට පමණයි. මම ඒ අයට පැහැදිලි කළාම ඒ අය කැමැත්තෙන් කළා. ඒ අය සියලු දෙනා දැක්වූ දායකත්වය නිසා තමයි සාර්ථක නිර්මාණයක් කරන්නට පුළුවන් වුණේ. මම නිර්මාණය කරන නිර්මාණ තුළ මම උත්සහ කරන්නේ කරන්න පුළුවන් උපරිමයෙන් කරන්න.

ලකී ඩයස්, සංගීතා විරරත්න, බිමල් ජයකොඩි, උදාරි වර්ණකුලසූරිය, දුලීකා මාරපන, ජයනි සේනානායක, ගිහාන් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, කුමාර තිරිමාදුර, බුද්ධික ජයරත්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, උදාර රත්නායක, අජිත් ලොකුගේ, ගාමිණී ජයලත්, ටීනා ශනෙල්, ක්‍රිස්ටල් අමේරා, අරුණි මෙන්ඩිස්, නිල්වලා විශ්වමාලි, මල්කාන්ති ජයසිංහ, උදිත ගුණරත්න ඇතුළු පිරිස සහ හඳුන්වාදෙන ළමා නළුවන් වන නිමෙශා ඈන්, ෂෙවාන් ප්‍රනාන්දු,එමාරා ප්‍රනාන්දු මෙහි රංගනයෙන් දායකවනවා.

නිෂ්පාදනය සමන්මලී හේවාමාන්න, තිර රචනය බෙනට් රත්නායක සහ චූලාභය ශාන්ත කුමාර හේරත්, කැමරා අධ්‍යක්ෂණය දනුශ්ක ගුණතිලක, සංගීතය මිලින්ද තෙන්නකෝන්, සංස්කරණය අජිත් රාමනායක, ශබ්ද පරිපාලනය අරුණ කළුආරච්චි, වර්ණ සංයෝජනය දිනිඳු ජාගොඩ කලා අධ්‍යක්ෂණය, සුජීව ගුනරත්න ඇඳුම් නිර්මාණය කුමාර කරව්දෙනිය, අංගරචනා ශිල්පය ප්‍රියන්ත දිසානායක, සහාය අධ්‍යක්ෂණය ප්‍රසන්න ඉත්තෑපාන, නිෂ්පාදන කළමනාකරණය අශෝක ආරියරත්න, කාර්මික උපදේශකත්වය රවින්ද්‍ර ගුරුගේ, ගී පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න ගායනය නන්දා මාලනි මේ සඳහා දායක වී තිබෙනවා.

“කවුරුවත් දන්නේ නෑ” (Nobody Knows) චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ සිටින මාලක යාපා කියන සංවිධායකවරයා මගෙන් ඉල්ලුවා ජනවාරි මාසයේදී විශේෂ දර්ශන දෙකක් තුනක් තියන්න පුළුවන් කියලා. මම ඔහුට චිත්‍රපටය ලබා දුන්නා. ඇත්තටම ඒ පලවෙනි දර්ශනවාර දෙක තුනේදී ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා ඕස්ට්‍රේලියාවේ හැම නගරයකම ප්‍රදර්ශනවාර 40ක් පමණ තිරගත කරන්න පුළුවන් වුණා. ඒ වගේම ඊටත් එහාට ගිහින් නවසීලන්තයේ හැම නගරයකම දර්ශනවාර දෙක බැඟින් ප්‍රදර්ශනය කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ ලන්ඩන් වල ඉන්න තව සංවිධායකවරයෙක් දර්ශන වාර දෙකක් ප්‍රදර්ශනය කළා. නමුත් කොවිඩ් අනතුර නිසා එය අතරමග නතර වුණා.

මේ කාලයේ චිත්‍රපටයක් තිරගත කරනවා කියන එක හරිම අවදානම්. මම ඒ අවධානම අරගෙන තමයි මෙය තිරගත කරන්නේ. මොකද කොවිඩ් අර්බුදයට කලින් හොඳ චිත්‍රපටයක් ආවම බලන්න පුරුදු වෙලා හිටිය ගාරයක් තිබ්බා. කොවිඩ් වලින් පස්සේ ප්‍රේක්ෂකයා කොයි ආකාරයෙන් හැසිරෙයිද කියන එක පිළිබඳ විනිශ්චයක් දෙන්න අමාරුයි. දැන් චිත්‍රපටය හදලා අවුරුදු 2ක්නේ. අපිට මේක නිර්මාණකරුවන් විදියට ලොකු පසුබැස්මක්. ඒ වගේ අවස්ථාවක අත්හදා බලන්න හරි චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න පෙළඹෙනවා. නමුත් මට විශ්වාසයි 10දෙනෙක් චිත්‍රපටය බැලුවොත් ඉන් නවදෙනෙක් ම කැමති වෙන බව. ඒ විශ්වාසය මත චිත්‍රපටය ප්‍රේක්ෂකයින් අතරට යාවි.

– අනුෂා රණසිංහ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *