ජපානයේ 34 වැනි ටෝකියෝ සිනමා උළෙලට යන “ඇල්බොරාදා”

ජපානයේ පැවැත්වෙන 34 වැනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙල ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 8 වැනිදා දක්වා ටෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා අශෝක හඳගම සහ සංජීව පුෂ්පකුමාර විසින් නිර්මාණය කළ සිනමා කෘති දෙක තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව 34 වැනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ අන්තර්ජාතික තරඟකාරී අංශය සඳහා ආරාධිත චිත්‍රපට ලැයිස්තුවට අශෝක හඳගමගේ අධ්‍යක්ෂණය කරනු ලැබූ “ඇල්බොරාදා” (The Dawning of the Day) චිත්‍රපටය සහ ආසියානු තරගකාරි අංශයේ සිනමා කෘති අතරට සංජීව පුෂ්ප කුමාර අධ්‍යක්ෂණය කළ “ආසු” (Asu) චිත්‍රපටය තෝරාගෙන ඇති බව පසුගියදා ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙල නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.

“ඇල්බොරාදා” (The Dawning of the Day) චිත්‍රපටය

1929-1931 අතර කාලයේ ලංකාවේ හිටි චිලියන් තානාපතිවරයා තමයි පැබ්ලෝ නෙරුදා. ඇල්බොරාදා චිත්‍රපටියට පාදක වී තිබෙන්නේ ලෝක ප්‍රකට ග්‍රන්ථ කර්තෘවරයෙක්, කලාකරුවෙක් නොබෙල් සම්මානලාභියෙක් වන නෙරුදා ලංකාවට ඇවිත් ගත කළ මුල් දවස් කිහිපය. ලයනල් වෙන්ඞ්ට්ගේ ගෙදරට නෙරුදා දාපු නම තමයි ‘ඇල්බොරාදා’. ඒක ස්පාඤ්ඤ වචනයක්. ඇල්බොරාදා කියන්නේ අරුණට. ඉංග්‍රීසියෙන් නම් dawn.

අශෝක හඳගමයන් “ඇල්බොරාදා” සිනමාවට නගන්නේ නෙරුදා ලියා තිබූ විස්තර හා අධ්‍යයනයකින් පසුව කළ ප්‍රබන්ධයකින්. ස්පාඤ්ඤ නළුවකු වන Luis J Romero හා ප්‍රංශ නිළියක වන Anne Solenne Hatte මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඊට අමතරව රිතිකා කොඩිතුවක්කු,මැල්කම් මචාඩෝ,Dominic Keller, නිම්යා හැරිස්, තුසිත ලක්නාත්, කෞශල්‍යා මෙන්ඩිස්, සමන්ත බාලසූරිය, කසුන් පෙරේරා සහ කාන්චනා නන්දනී රංගනයෙන් දායක වී තිබෙනවා.

අංගරචනය – සමරසිරි කඳනගේ, ඇඳුම් නිර්මාණය පියතිස්ස අකුරන්බොඩ. වර්ණසංයෝජනය දිනිදු ජාගොඩ. පසුතල නිර්මාණය බිමල් දුෂ්මන්ත. සංගීතය අජිත් කුමාරසිරි සහ නාමිනි පංචලා. කැමරාකරණය චන්න දේශප්‍රිය. සංස්කරණය රවින්ද්‍ර ගුරුගේ. නිෂ්පාදනය ඒච් ඩී ප්‍රේමසිරි.

“ඇල්බොරාදා” තිර රචනා කරමින් සිනමාවට නගන්නේ අධ්‍යක්ෂ අශෝක හඳගම විසින්. “ඇල්බොරාදා” චිත්‍රපටය 2020 වසරේ කොවිඩ් වසංගතය මැද රූ ගත කළ සිනමා නිර්මාණයක් බැවින් ඒ වෙනුවෙන් සහයෝගය ලබා දුන් සැමට නිෂ්පාදන කණ්ඩායම වෙනුවෙන් ස්තුතිවන්ත වන්නට ද අශෝක හඳගමයන් අමතක කරේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *