මිනිස් හැඟීම් ගවේෂණාත්මකව ඉදිරිපත් කරන සිනමාකරුවාගේ – AIR DOLL

ජපානය යථා අයුරින් සිනමාරූපීව ඉදිරිපත් කළ විශිෂ්ට නිර්මාණකරුවා හිරොකසු කොරේඩා ගේ සුවිශේෂී චිත්‍රපටයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. කොරේඩා ගේ චිත්‍රපට වල පවුල කියන සාධකය වැඩිපුරම ඉස්මතු කරනවා වුණත්, ඒක රාමුවක් විදිහට සැලකුවොත්, රාමුවෙන් පිට පැනපු අවස්ථාවනුත් හමුවෙනවා. ජපානයේ සමාජ පද්ධතිය සම්බන්ධයෙන් ඔහුගේ කියැවීම සෘජුයි. අමුයි. යථාර්ථවාදීයි. ජපානය මෙහෙමයි, ජපන්නු මෙහෙමයි කියල වංසෙ කබල් ගෑමක් ඔහුගේ නිර්මාණ වල නැහැ. ඒ නිසාම ඔහුගේ චිත්‍රපට වලින් අපි දකින ජපානය හරිම වෙනස්. මේ කතන්දරයත් හරිම වෙනස්.

සෙක්ස් ඩෝල් කෙනෙක් එක්ක හැබෑවටම පවුල් කන මනුස්සයෙක්ව අපට මෙහිදී හමුවෙනවා. සෙක්ස් ඩෝල් කෙනෙක්ව පාවිච්චියට ගන්නේ අදාළ කාර්‍යය කරගන්න විතරනේ. එහෙම එකක් එක්ක කොහොමද පවුල් කන්නේ? අමුතු විදිහේ අස්වාභාවික මානසික තත්ත්වයක් කියල කියන්නත් පුළුවන්. ‘නොසොමි’ කියල නම් තබපු මේ බෝනික්කා එක්ක කතා බහ කරන එක, නාවන එක, ඇවිදින්න යන එක, එකට කෑම මේසේ වාඩිවෙලා කෑම ගන්න එක සහ ලිංගික කාර්‍යයේ යෙදීම යන සියල්ලම සිද්ධ වෙන්නේ සැබෑම මනුස්ස ප්‍රානියෙක් ගානට සලකලායි. ඉතින් මේ අමුතු හැසිරීමත් එක්ක තරමක් වික්ෂිප්ත වෙන ප්‍රේක්ෂකයාට ඊළඟ කොටසේදී තව තවත් පුදුමයට පත්වෙන්න වෙනවා. අවසාන භාගයට එනකොට මේ කතන්දරයත් එක්ක ඔළුව කුරුවල් වෙනවා.

සිදුවීම් සියල්ලම තුළ ඇත්තටම තියෙන්නෙ විස්මයක් ජනිත කරවන්නා වූ අද්භූත ක්‍රියාවලියක් නෙමේ. සාමාන්‍ය සමාජ පද්ධතියක කොටස් කරුවෙක් වෙන ඕනෑම ගැහැනියෙක්ට පිරිමියෙක්ට අදාළ වන්නාවූ මානුෂීය හැඟීම් ගැනයි මේ කියන්නේ. ආදරේ කරන්න, ආදරේ ලබන්න, තනිකම මකාගන්න, අතාරින්න, හිමිකරගන්න, ස්වාධීන වෙන්න, කෙනෙක් මත්තේ යැපෙන්න ආදී වශයෙන් වන දහසකුත් එකක් හැඟීම් ගැනයි මේ කියන්නේ. ඒ ඔස්සේ මිනිස්සුන්ට නිරත වෙන්න සිද්ධ වෙන අරගල ගැනයි මේ කියන්නේ. ඒ ඔස්සේ මෙතනදී ගැඹුරෙන් කතා කරනවා “ආදේශකයක් වීම” කියන කාරණේ ගැනත්. යම්කිසි දෙයක් හෝ කෙනෙක්, තවත් දෙයක හෝ කෙනෙකුගේ ආදේශකයක් බවට පත්වීමෙන්ම ගොඩනැගෙන සබඳතාවයන්හි අමුතුම පැතිකඩක් මේ ඔස්සේ නිරාවරණය කෙරෙනවා.

සෙක්ස් ඩෝල් ව සැබෑ ලෙසින් නිරූපණය කරන රංගන ශිල්පිනී Bae Doona ගේ දායකත්වය මෙහිදී වැඩි වශයෙන් කැපී පෙනෙනවා. චිත්‍රපටයකින් හමුවන විශිෂ්ටතම චරිත නිරූපණයක් විදිහට මතකයේ රැඳෙන්නට හේතු වන තරමේ ශක්තිමත් ‍රංගනයක් දකින්නට ලැබෙනවා. චිත්‍රපටය ජපන් වුණත් ඇය කොරියන් ශිල්පිනියක්. Kingdom කොරියන් සීරිස් එක නිසාත් වර්තමානයේදී ඇය වඩාත් ජනප්‍රියයි. කොරේඩා ගේ චිත්‍රපට ප්‍රිය කරනා අයට මේ නම් වෙනස්ම අත්දැකීමක් වනවාට කිසිම සැකයක් නැහැ. මිනිස් හැඟීම් කියන දේවල් මෙයාකාරයෙන් ගවේෂණාත්මකව ඉදිරිපත් කරන්නට හැකි සිනමාකරුවෙක් තවත් නෑ කියලත් හිතෙයි.

-ලක්ෂ්මන් අරංවල
සිනමාවේදීන් – The Cinema People

****************************************************

Edited & Directed by
Hirokazu Kore-eda

Written by
Hirokazu Kore-eda (screenplay)
Yoshiie Gōda (original manga)

Produced by
Hirokazu Kore-eda
Toshiro Uratani

Starring
Bae Doona
Arata
Itsuji Itao

Cinematography
Pin Bing Lee

Music by
World’s End Girlfriend

Country
Japan

Language
Japanese See Less

https://www.facebook.com/photo/?fbid=10225014939022843&set=a.10223404123193454

Leave a Reply

Your email address will not be published. Required fields are marked *