ප්‍රථම වරට VUE Harrow Cinema සංකීර්ණයේ ප්‍රදර්ශණය වන ශ්‍රී ලාංකීය හෙළවුඩ් චිත්‍රපටය,

කෝවිඩ් නිසා යුරෝපයේ සිනමාශාලා මාස ගණනාවක් වැසී තිබුනා. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අවසන් වරට සිංහල චිත්‍රපටයක් සිනමා ශාලාවක නරඹා තිබුනේ 2019 දී. එන්නත්කරණයත් සමග යුරෝපයේ සිනමා ශාලා මැයි මාසයේ සිට 50% දාරිතාවයකින් තිරගතවීම් ආරම්භ කලා.

පුරා අවුරුදු දෙකකට පසු එංගලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට සිංහල චිත්‍රපටයක් සිනමා ශාලාවකට ගිහින් රසවිදින්න අවස්ථාවක් උදාවෙලා තියෙනවා. ඒ ප්‍රවීණ අධ්‍යක්ෂක බෙනට් රත්නායක මහතාගේ දැන් හැමෝම දන්න, “කවුරුවත් දන්නේ නෑ” චිත්‍රපටයයි. මේ ඉරිදා (ජූලි 4) ලාංකිකයන් වැඩි ප්‍රමාණයක් ජීවත්වන Harrow නගරයේ, “කවුරුවත් දන්නේ නෑ” චිත්‍රපටය තිරගත්වීමට සියලු කටයුතු සූදානම්. අතිනවීනතම පහසුකම් වලින් යුතු VUE Harrow Cinema සංකීර්ණයේ පැවැත්වෙන ප්‍රථම ලාංකික චිත්‍රපටය ලෙස මෙය හැදින්විය හැකියි.

කෝවීඩ් නිසා උදාවී තිබෙන තත්වය සමග හොදින් ගණුදෙනු කල චිත්‍රපටයක් ලෙස “කවුරුවත් දන්නේ නෑ” චිත්‍රපටය හැදින්විය හැකියි. එය ශ්‍රී ලංකාවේ සිනමාශාලා වැසී ඇති අවදියක වෙනත් චිත්‍රපට වලට වඩා වෙනස්ම ප්‍රදර්ශනය කිරීම් මාවතක් ආරම්භ කලා. ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට ප්‍රථම 2021 ජනවාරී මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ ප්‍රදර්ශනය කිරීම ආරම්භකල “කවුරුවත් දන්නේ නෑ” මේ වනවිට අතිසාර්ථකව ප්‍රදර්ශන වාර 39ක් ඒ රටවල් දෙකේ පමණක් සම්පූර්ණ කර අවසානයි. මේ කාලය පුරාවටම පැවති සංචරණ සීමා පැනවීම් වලට අනුකූලව විවෘත වන නගරයෙන් නගරයට මේ ප්‍රදර්ශනය කිරීම් සැලසුම් කෙරුනා.

ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කල ආකාරයෙන්ම ලන්ඩන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ද ඇදබැද ගැනීමට “කවුරුවත් දන්නේ නෑ” චිත්‍රපටය සමත්වී තිබෙනවා. ඊයේ දිනය වනවිට(2021.07.01) එන්ගලන්තයේ දිනකට නව කෝවිඩ් ආසාදිතයින් 27,000ක් හමුවුන තත්වයක් තිබුණත්, අවුරුදු දෙකකට පසු හොද ශ්‍රී ලාංකික චිත්‍රපටයක් බලන්නට ලැබුනු මේ මහගු අවස්ථාව ලාංකිකයන් අත්නොහැරගෙන තිබෙනවා. එරට රජයන් මගින් පනවා ඇති විශේෂ සෞඛ්‍යය නීති රීති වලට අනුව ඒ සියලුම ප්‍රදර්ෂණයන් පැවැත්වීමට දැනටමත් කටයුතු කර ඇත.
අද දිනය වනවිට ප්‍රදර්ශනයට දින දෙකකට කලින් ලන්ඩන් තිරගතවීමේ සියලු ප්‍රවේශපත් විකිනි අවසන් වී තිබෙනවා. මේ නිසා අගෝස්තු 1 ඉරිදා, දෙවන ප්‍රදර්ශන වාරයක් සංවිධානය කර තිබෙනවා. ඒවගෙම එංගලන්තයේ ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම පරිදි බර්මින්හැම්, මැන්චෙස්ටර්, නගරවලටත් ඉදිරි මාසවලදී තිරගතවීම් සැලසුම් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ හා එංගලන්තයේ චිත්‍රපටය බෙදාහැරීම, ප්‍රවර්ධනය සිදුකරන්නේ මාලක යාපා ප්‍රමුඛ Mega Live Events කණ්ඩායමයි. ශ්‍රී ලාංකාවේ ප්‍රදර්ශනයට ප්‍රථම ශ්‍රී ලංකාවෙන් පිටත වැඩිම තිරගත්වීම් ගණනාවක් පවතින කෝවිඩ් තත්වය හමුවේ සාර්ථකව සිදුකරන “කවුරුවත් දන්නේ නෑ” කණ්ඩායමටත් “Mega Live Events” කණ්ඩායමටත් හෙළවුඩ් අපෙන් සුභපැතුම්.

ඒ වගේම එරට රජයන් පනවා ඇති විශේෂ සෞඛ්‍යය නීති රීති වලට යටත්ව, ඒ සියලුම කාර්යන් සිදුකර තම ආරක්ෂාව ගැනද සැලකිලිමත් වන ලෙස අප මතක් කර සිටින අතර, කොවිඩ් වසංගතය නිමා වී ශ්‍රී ලාංකීය සිනමා රසිකයන්ටත් ඉතාමත් ඉක්මනින් “කවුරුවත් දන්නේ නෑ” චිතරපටය වගේම ඉදිරියේදී තිරගත කිරීමට සැලසුම් කර තිබෙන හෙළවුඩ් චිත්‍රපට නැරබීමට වාසනාව උදාවේවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *