Spoiler Alert! එකක්

“මිනිසා තරම් භයානක සත්වයෙක් ලෝකයේ කොතැනකවත් නැහැ” යන මතය මා අදටත් ප්‍රභලව විශ්වාස කරන දෙයක්. විශේෂයෙන්ම මිනිසා සහ සොබාදහම අතර ඇති ගැටුම අදටත් දෑස් ඉදිරිපිට දැක බලා ගත හැකි කාරණයක්. අප ලංකාව දෙස අවදානය යොමු කරොත්, අලි මිනිස් ගැටුම තවමත් දරුණු ලෙස සිදුවන දෙයක්. ඉන්දියාවේ මිනිසා සහ සොබාදහම සම්බන්දව ඇති ප්‍රධාන ගැටළුවක් වන්නේ, මිනිස් කොටි ගැටුමයි. Amit V. Masurkar අධ්‍යක්ෂණය කළ Sherni චිත්‍රපටයටද පාදක වන්නේ මෙම මිනිස් කොටි ගැටුම සම්බන්දවය. ඉන්දියාවේ මීට වසර තුනකට පෙර මහාරාෂ්ටාහි වනාන්තරයක විසූ අව්නී නම් කොටි දෙනක් ඝාතණය වනවා. වාර්තාවන්ට අනුව එම ප්‍රදේශයේ ජීවත් වූ ගම් වාසීන් 13 න් දෙනෙක් ඇගේ ගොදුරට හසුවී තිබෙනවා. එහි ප්‍රතිපලයක් වශයෙන් ඇයව වෙඩි තබා මරා දමනවා. මෙම සිදුවීම සම්බන්දව ඇති වන ප්‍රධාන කථිකාවක් වූයේ, සැබවින්ම වැරදි මෙම කොටි දෙනද නැති නම් මෙම සත්වයින්ගේ සීමාවන් ආක්‍රමණය කළ මිනිසාද යන පැණයයි. Sherni හරහා මෙහි අධ්‍යක්ෂක Amit Masurkar සහ තිර රචනය කළ Aastha Tiku මෙය සම්බන්දව ප්‍රභල අධ්‍යනයක් සිදු කරනවා.

විද්‍යා වින්සන්ට් යනු මධ්‍යා ප්‍රදේශ් ප්‍රාන්තයේ, එක් වනගත ගම්මානයක සේවයේ නියැලෙන වනජීවී නිලධාරිනියක්. ඇයගේ සේවා ප්‍රදේශය තුල වත්මන්ව පවතින දරුණුම තත්වයක් මිනිස් කොටි ගැටුම. විද්‍ය යනු සොබාදහමට සහ එයට උරුමකම් කියන වනසතුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක්. එම ප්‍රදේශයේ ජීවත් වන ගම්මුන් කිහිප දෙනෙකු, T12 නම් කොටි දෙනකුගේ ප්‍රහාරයට ලක්වී ඇති බවට ප්‍රචාරයක් ගොඩ නැගෙනවා. මෙම කතාවේ සත්‍යක් ඇති වූවත්, එය පහසුවෙන් විසඳා ගත හැකි ගැටළුවක් නොවේ. විද්‍යා එම වන සතුන්ව සුරැකීමට වෙර දරද්දී, එහි සිටින ගැමි ජනයා මෙය නිසා මුහුණපාන ගැටළු වලටද ඇය සවන් දිය යුතුයි. ඊට හේතුව වනය යනු එහි සිටින ගැමි ජනයාගේ ජීවිතය ගැට ගසා ගැනීමට ඇති සම්පතක් වීමයි. විද්‍ය වින්සන්ට් මෙම දෙපාර්ශවයටම සාදාරණයක් ඉෂ්ට වන ආකාරයේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනවා. ඇයගේ වැඩ පිළිවෙලට ප්‍රධාන සහයෝගයක්‌ දක්වන පුද්ගලයෙක් හසන් නුරානී. හසන් යනු එම ප්‍රදේශයේ වනජීවීන් සම්බන්දව වැඩ කටුයුතු කරන මහාචාර්යවරයෙක්. විද්‍ය සහ හසන් එක්වී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරත්, එයට දේශපාලනය හරස් වනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඡන්දයක්‌ හමුවේ මෙම මිනිස් කොටි ගැටුම දේශපාලනික අවියක් බවට පත් වනවා. ප්‍රදේශයේ සිටින දේශපාලකයින් සහ ඇතැම් වනජීවීයට සම්බන්ද නිලධාරීන්ද මෙම සංකීර්ණ මාතෘකාව තමන්ගේ පුද්ගලික වාසීන් වෙනුවෙන් භාවිතා කරනවා. විද්‍යා ඇතුළුව මෙම ගැටළුවට විසඳුමක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ පිරිසගේ වැඩ පිළිවෙලට සිදු වන්නේ කුමක්ද?.

මෙම සටහන ආරම්භයේදී මා මිනිස් සත්වයා සම්බන්දව කළ ප්‍රකාශයට ප්‍රභල නිදසුනක් Sherni හරහා ඉදිරිපත් කරනවා. වනය යනු එහි සිටින සත්වයින්ට සොබාදහම විසින් ලබා දුන් දායාදයක්. සත්වයාගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ඇති එකම මාර්ගය වන සම්පතයි. නමුත් ගහ කොළ සහ සතා සිව්පාවන්ව විනාශ කර දැමීමට මිනිස් සත්වයාද නින්දිත ලෙස ඉදිරිපත් වනවා. ඇතැමුන් විනෝදයට වන සතුන් දඩයම් කිරීමට පෙළඹී තිබෙනවා. ඇතැමුන් තමන්ගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් ගහ කොළ විනාශ කිරීමට ඉදිරිපත් වනවා. නමුත් මේ සියල්ලම අභිබවා යන භයානකම මැදිහත් වීම වන්නේ දේශපාලනිකව මිනිසා විසින් සිදු කරන බලපෑම්. මෙවැනි සංකීර්ණ ගැටළුවක් උදෙසාද දූෂිත දේශපාලනික වාසි ලබා ගැනීමට වනජීවීයට සම්බන්ද පිරිස් පවා දායක වනවා. එය එසේ සිදුවන විට සොබාදහම ආරක්ෂා කිරීමට සිටින ඔවුන්ගේ වෘතිය ආචාර ධර්මයන් කෙතරම් දරුණු ලෙස විනාශ වනවාද?. වන සතුන්ගේ නිවහන සොබාදහමයි. එයට බාදා කිරීමට ඔබ පැමිණියොත් ඔවුන්ද එයට විවිද ලෙස ප්‍රතිචාර දක්වනවා. Sherni තුල කතා බහ කරන T12 නම් කොටි දෙනද සිදු කරන්නේ එයට ක්‍රියාත්මක දැක්වීමක්. කොටි මිනිස් ගැටුමක් තිබෙනවා නම් එයට විසඳුම වන සතුන් මරා දැමීම නොවේ.

මෙහිදී විද්‍යා වින්සන්ට් යන චරිතය, චිත්‍රපටය තුල ඉතා තාත්වික ලෙස වර්ධනය වනවා. විද්‍යා ජීවත් වන්නේ දූෂිත සමාජ වට පිටාවක. එය එලෙසින්ම ඇය නියැලෙන වෘතියටද ප්‍රභලව බලපාන සාධකයක්. වනජීවී කාර්යාලයන් තුල ඇති දූෂිත ක්‍රමවේදයන් සහ පිටතින් පැමිණෙන දේශපාලනික බලපෑම් විද්‍ය වින්සන්ට් වැනි අවංක නිලධාරීන්ට ප්‍රධාන බාදකයක්. විද්‍යා යනු වන සම්පතද රකිමින් මෙම දූෂිත ක්‍රමවේදයද වෙනස් කිරීමට වෙර දරණ කාන්තාවක්. නමුත් ඇය අවට සිටින බහුතරයක් නිලධාරීන් සහ බහුතරයක් වන පොදු ජනයාද ජනයාද එයට සුදානම් නැත. විද්‍යාගේ චරිතය එක් පැතිකඩකින් මෙම ක්‍රමවේදය වෙනස් කිරීමට උත්සාහ කළත්, තවත් පැතිකඩකින් ඇය හෙම්බත් වී ඇති බවද පෙනී යනවා. ඇයට ඉහල සිටින බලදාරීන් හට ඇගේ ක්‍රියා මාර්ගයන් පිලිබඳ පැහැදිලි කිරීමට උත්සාහ කරත්, ඔවුන් ඇයට නිසි අවධානයක් ලබා දෙන්නේ නැත. විශේෂයෙන්ම මෙම බලදාරීන් සමග ඇති වන සංවාදයන් තුල විද්‍යාගේ හැඟීම් ප්‍රකාශනයන් වලට අවධානය යොමු කරන්න. විටෙක ඇය සටන් කිරීමට පෙළඹුනත් මෙම දූෂිත ක්‍රමය පහසුවෙන් වෙනස් නොවන වග දැනෙන විට විද්‍යා තුල ඇති කනස්සල්ලද පෙන්නුම් කළා. විද්‍ය මුහුණපාන අනිකුත් ප්‍රධාන ගැටළුව වන්නේ ඇය කාන්තාවක් වීමයි. ඇය එහි සිටින බහුතරයක් දෙනාට වඩා දැනුවත් වූවත්, විවිද ස්ත්‍රී විරෝධී/ලිංගික කුහක අදහස් වලට මුහුණ පෑමට ඇයටද සිදු වනවා. නමුත් චිත්‍රපටය තුල ඇයව මෙවැනි සිදුවීම් තුලින් විප්ලවකාරී වීරවරියක් බවට පත් කරන්නේ නැත. ඊට හේතුව ඇයගේ සටන වන සම්පත රැක ගැනීම වීමයි.

Sherni තිර රචනය කළ Aastha Tiku ගේ තිර රචනය තුල මා දුටු තවත් ප්‍රභල අංගයක් වූයේ, මෙහි ඇතැම් සිදුවීම් තුලින් නරඹන්නා තුලින්ද හරි වැරැද්ද කුමක්ද යනුවෙන් විමසීමයි. මෙවැනි සංකීර්ණ තේමාවක් තුල ප්‍රධාන වශයෙන් ඉස්මතු කළ යුතු සාධකයක් එය. ඒ සමගම විද්‍යා වින්සන්ට්ගේ චරිතය ඇතැම් ලිංගික කුහකත්වයන්ට මුහුණපෑවත් එය හමුවේ ඇයව අරගලකාරී වීරවරියක් ලෙස ඉදිරිපත් නොකිරීම සම්බන්දයෙන් මා සතුට වනවා. එම නිසා චිත්‍රපටයේ මූලික කතා වස්තුවට හානියක් සිදු වූයේ නැත. Rakesh Haridas ගේ සිනමාකරණය සහ Benedict Taylor සහ Naren Chandavarkar ගේ සංගීත අධ්‍යක්ෂණයද චිත්‍රපටයේ ප්‍රධාන වශයෙන් කැපී පෙනුණ අංගයක්. මෙහි ඇති කුතුහලය මෙන්ම ගුප්තසහගත බව ඉස්මතු කිරීමට යොදාගත් ප්‍රභල සාධකයක් එය.

විද්‍යා බාලන් තුලින් නැවතත් Kahaani සහ Ishqiya වැනි චිත්‍රපට තුල පෙන්නුම් කළ විශිෂ්ට රංගන ප්‍රතිභාව, Sherni හරහා නැවතවාරයක් දැක ගැනීමට හැකි වුනා. විද්‍යා වින්සන්ට් යන චරිතය තුල ඇති අධිෂ්ඨානය සහ දූෂිත ක්‍රමය හමුවේ අත්විඳින හෙම්බත් බව, විද්‍යාගේ රංගනය තුලින් ඉතා විශිෂ්ට ලෙස ඉස්මතු වුනා. ඒ සමගම Vijay Raaz, Sharat Saxena, Brijendra Kala සහ Neeraj Kabi ගේ රංගනයන්ද කැපී පෙනුණා.

මෙය මග නොහැර නරඹන්න!. The Cinemates’ City ( සිනමාකරුවන්ගේ නගරය) සමුහයට ලිවූ රමිත විමුක්තිගේ සටහන,

https://www.facebook.com/photo?fbid=602204244501492&set=gm.545823833451728


Leave a Reply

Your email address will not be published. Required fields are marked *