පුරහඳ කළුවර – (1997)

පෞද්ගලිකව මම විස්වාස කරන කියමනක් තියෙනවා”කන්වලටත් ඇස් තියෙනවා…”ශබ්දයක් ඇහෙන්න වගේම රූපයක් දකින්නත් ඉතින් එවුවට හිතේහැටියට පුළුවන් …මම මේ ⁣ගතවෙන තත්පරෙත් ඒ කාරණාව සෑහෙන්ඩ තදින් විශ්වාස කරනවා..පුරහඳ කළුවර කියන්නේම මාව රිද්දවපු අතිශයින්ම සංවේදි කතන්දරයක් ..

දරුවෙක්ව කුසින් නොවැදුවට උන්ව අප්පෙක්ට නොදැනෙන්නෙ කොහොමද..ලේ පුසුඹ,ඒ නහර පුරාවට දුවන ධාරක ස්නේහයේ ඉව ,පිට උන්ගෙ ඇස්ගෙඩිවලට පේන තරම් සරල නෑ….මේ සිනමා නිර්මාණය පිළිබඳව හඳුන්වා දෙන්න කලියෙන් මම මනාප ප්‍රසන්න විතානගේ මහත්තයගෙ ප්‍රණාමය සදහන් කරන තැනට..”අවුව ,වැස්ස හා යුද්ධය සමඟ පොර බදනනුවරකලාවියෙ නෑසියන්ට…

“මට ඒ ප්‍රණාමය අරඹන තැනින්ම කතන්දරේ බලන්න තඩි උවමනාවක් ඉපදුණේ….යුද්ධයෙන් ගිනියම් වෙච්ච හිත් සිහිල් දිය පොදකින් නිවන්නා වාගෙ ඒ ඇරඹුම…රැය බදා වැළඳගෙන උන් අහසක් අළුයම තම නැවුම් පරිච්ඡේදයට ස්වකැමැත්තෙන්ම එකගවෙන මොහොතක කොහේ හෝ දිහාවකින් ඇහෙන නමස්කාරයක්…අපි පුරුද්දක් විදියට බියට පත්වෙච්ච මොහොතක ඉබේම මුවින් පිටවන ඉතිපිසෝ ගාථාව බෝම සංයමයෙන් ඉන් අනතුරුව අපිට හීන්සීරුවට ඇහෙනවා…මට ඒ මොහොත දැණුනෙ සහ හි⁣තුණේ එතනදි බුදුගුණ සිහිපත් කිරීම තුළින් බෞද්ධයන් විදියට යුද්ධයෙ බිය පහව යන්නට දවසේ කරන ඒකායන ප්‍රාර්ථනයක් ගානට….ඒක බෝම සන්සුන් හැඩයක දවසක්…

මිරිවැඩිසඟලක්වත් පයෙහි දැවටිච්ච නැති ,කර්කෂවෙච්ච පොළවක හීන් සීරුවට හැරමිටිය තම සරණ කරගත්ත වයෝවෘද්ධ තාත්තෙක්….අපිට අදුරගන්ඩ ලැබෙන විදියට ඔහු නමින් වන්නිහාමි….වන්නිහාමි මාමා මේ ගාටාගාටා බෝම අමාරුවෙන් ඇවිදින් තියෙන්නෙ වතුර ඩිංගිත්තක් අරන් යන්ඩ..රිදී කළ,රංකොතල නැතුවාට නිකං කළේකවත් පිපාසෙකට පැන් නැතිවෙන ජාතියෙ පෑවිල්ලක් ඒක බැලූ බැල්මට….වන්නිහාමි මාමාගෙ දෑස අඳ වුණත් ඔහු හි⁣තන්නෙවත් නෑ ඔහු දුර්ව⁣ලයෙක්ය කියලා….ඒක අපිට කතාවේ මුලදිම ඔහුගෙන් ඇහෙනවා.- වන්නිහාමි මාමේ,කිවුවනම් මං වතුර බූලියක් ගෙනත් දෙනවනේ….

– උඹ හිතුවද බොල මට අංශබාගෙ කියලා…සෝමෙ ළමයෝ හෙට මගෙ පැළ හෙවිල්ලලා දෙන්න ඕන..

– මේ අවුකාස්ටකේ…?

– මේ යන විදියට තව හතර දොහකින් වහිනවා…

මේ අනාවැකි කියන්නේ වන්නිහාමි මාමා …මම මුලදිම කිවුව කාරණාව මම මෙතනට ආයෙම මතක් කරන්න හිතුවෙ ඒකමයි.

“කන්වලටත් ඇස් තියෙනවා….

“ඇගෙ පතේ දැවටෙන හුළග…පරිසරයෙ වෙන විපරියාස වන්නිහාමි උන්නැහැ දකිනවා..විදිනවා…එවුවා කෝමවත් බොරු වෙන්ඩ බෑ…මහමිනිස්සු කියන්නේ ජීවිත සරසවියෙන් පශ්චාත් උපාධියටත් එහායින් දැනුම් සම්භාරයන් එක්කාසු කරගත්ත උදවියට….⁣මළ පොතේ අකුරක් නොදැන උන්නත් ඒ අනාවැකි බොල් වී අහුරක් වාගේ අහක දාන්ට හැකිද….

වහළ හෙවිල්ලන්ඩ තමන්ගේ පොඩි බෑනට පංකාත්තු කොරවපු එකඟතා ගැන වන්නිහාමි උන්නැහැ තමන්ගේ බාල දියණිය වෙච්ච සුනන්දාට කලියෙන් දන්නලා තියන්නෙ පහුවදාට මාළුපිනි දෙක තුනක්වත් හදන්ඩවෙයි කියන ⁣පූර්ව දැනුම් ⁣දීම වෙනුවෙන් …මොකද අපි දකින්නෙ නෑ වන්නිහාමි උන්නැහැගෙ පියම්බිකාව .අම්මෙක් නැති ගෙදරක දැලි වළන් ,හාල් තුනපහ එක්කලා යුද්ධ කරන්නෙ ගෙදරක ඉන්න දැරිවියෝ….ඉතින් සුනන්දාගෙ චර්යාවන් කල්තියා පිරික්සුවහම ඒ ගෙදර අම්මා නෑ කියලා ඉන්තේරුවටම කියතෑකි..

වහළ හෙවිල්ලන්ඩ දින නියම කරගෙන තියෙද්දි ගමට පැමිණෙන වාහනය නතරවෙන්නෙ වන්නිහාමි උන්නැහැලගෙ ගෙවල් දිහාවෙන්….සීල් කරපු මිනීපෙට්ටියක් උඩින් ජාතික කොඩිය අතුරුවලා මේ ගෙදරට එන්නෙ තමන්ගේ පුතා වෙච්ච බණ්ඩාර කියලයි ඉගි ලැබෙන්නෙ…සුනන්දාගෙ වැළපීම් අතරට රාත්තිරියෙ එක්කාසු වෙන සුනන්දාගෙ අක්කා යමුනාගේත් ලතෝනි අහාන පිළ දිහා⁣වට වෙලා නිසොල්මනේ ඉන්නෙ වන්නිහාමි උන්නැහැ …ඒ හැසිරීමෙ තිබ්බ අන්කොමන් සංසුන්ගතිය ප්‍රේක්ෂකයන් මවිත කරවන සුළුයි….තමන්ගේ පුතා නැති බව තාත්තෙක් දැනගත්තම කෝ අකම්පාලගතියක හැඩයක්වත්…..නෑ එහෙම හාංකවිසියක හැඩයක්වත් නෑ…..

ප්‍රේක්ෂිකාවක් විදියට මම බෝම පරිස්සමින් නිරීක්ෂණය කළේ වන්නිහාමි උන්නැහැගෙ හැසිරීම් රටාව…පුන පුනා ඔහුගෙ මුහුණේ ඉරියව්,වචන, මේ සියල්ලම…

ඇත්තටම තාත්තෙක්ට එහෙම ඉන්න පුළුවන්ද…?

මට මුලින්ම එහෙම නොහිතුණාම නෙවෙයි…හැරමිටිය තිය තිය පුරුද්දට තමන්ගේ පුතාගෙ මිනිය වළදැම්මයි කියපු තැන තට්ට තනියම හොයාගෙන ⁣ගිහින් හැරමිටියෙන් ඇනලා තට්ටුකරන තැනදි මගෙ හිත ඇත්තටම රිදුණා …

ඒ කාලෙ රටේ පැවතිච්ච යුධමය වාතාවරණය එක්ක යුද්ධෙට ගිය අයගෙ ගෙවල් වල උදවිය කොයිතරම් පණබයෙ ⁣ගැහි ගැහී ඉන්න ඇතිද කියලා නිකමට වගෙ හිතුණා..යුද්ධෙට ගිහින් මැරුණොත් ලක්ෂයක වන්දියක් එක්ක වීරයෙක් කියලා හිත්වල ඉතිහාසගතවෙච්ච අඳුරු දුෂ්කර කාලයක්ම තමයි ඒක…වේදනාව දන්නෙ තුවාලෙ තියෙන එකා මිසක ඒ තුවාලෙට බේත් නියම කරන වෙදා නොවිච්ච කොට වන්නිහාමි උන්නැහැට ග්‍රාමසේවක මහත්තයගෙ වන්දි අදෝනාව දැනෙන්ඩ ඇත්තෙත් එහෙම වෙන්ඩැති ඉන්තේරුවටම …

තමන්ගේ පුතාගෙ මරණයෙන් පස්සෙ ටික දොහකින් ගෙදරට එන ලියුම ආයෙම බලාපොරොත්තුවක් එක්කාසු කරනවද එහෙමත් නැත්නම් රිදිල්ලක් නැවුම් කරනවද කියන අවිනිශ්චිත මොහොතක් ඒක…හැබැයි වන්නිහාමි උන්නැහැ ඒ පිළිබඳව සෑහෙන්ඩ උනන්දුවකින්..

– මල්ලිගෙ ලියුමක් ..

????

– මොනාද දන්නෙ නෑ කියලා තියෙන්නෙ,

තෙරුවන්සරණයි….

ආදරණීය නංගී වෙත ලියමි..,මම නිවාඩු ඉල්ලලා තිබුණත් හදිසි operation එකකට කැඳවා ඇති නිසා ළඟදි එන්න ලැබෙන්නෙ නැහැ..නිවාඩු ලැබුණ ගමන් මම ගෙදර එනවා..මේ වතාවෙ මම එන්නෙ ගේ වැඩ කටයුතු ඉවරකරලා නංගිවත් පිළිවෙළක් කරන්න බලාගෙන..අප්පච්චිටත් ඒ බව කියන්න..අපෙ යුනිට් එකේ ඔක්කොම දැන් යන්න ලෑස්ති වෙලා ඉන්නෙ..මටත් දැන් යන්න වෙනවා ..අදට නවතිමි.සියළු දෙනාටම සම්මා සම්බුදු සරණයි..

මීට,

අයියා,

බණ්ඩාර …

ලියමනෙ තිබ්බ ඉක්මනින් ගෙදර එනවා කියන බලාපොරොත්තුව වන්නිහාමි උන්නැහැට අළුත් හුස්මක් වාගෙ දැනෙන්න ඇතියි කියලා මට දැණුනෙ …ගෙදර සියල්ලෝම ඒක තමන්ගේ සහෝදරයා මියයන්ඩ කලියෙන් ලීව ලියමනක්ය කියලා දහඅතේදිවුර දිවුරා කිවුවත් උන්දැ නෙවෙයි එවුවා තඹේකටවත් මායිම් කරේ…

නගර⁣යට ⁣ගියපු දාක මිලට ගන්නා සුදුපැහැති ටීෂට් එක මතක වස්ත්‍රයක් නොවී පුතා එනකල් පරිස්සමින් තියාගන්ඩ ගත්ත ඇදුමක් වාගේ..සුනන්දා පවා ඒ ඇදුම වන්නිහාමි තමන්ගේ මල්ලෙ ඔබාගන්නවා දකිනවා …ඒ ගැන හාර හාර නාහා නොදැක්ක ගානට කරබගෙන ඉන්න සුනන්දා අමතක කරන්නෙත් නෑ…ඒ ඇවිල්ලත් වන්නිහාමි උන්නැහැ බෝධිය පැන් කළවලින් නාවලා ප්‍රාර්ථනා කරනවා ඇත්තෙ පුතා ඉක්මනින් ගෙදර එන්ඩ කියලම තමයි වගෙ දෙයකුත් හිතුණා..

තුන් මාසෙ දානෙ දින කට ළගටම එද්දිත් වන්නිහාමි උන්නැහැ පන්සලේ හාමුදුරුවන්ටත් හරි අපූරු කාරණාවක් කියනවා..

-උපාසක මහත්තයෝ…

– අපෙ හාමුදුරුවනේ

– දැන් බණ්ඩාර පුතාගෙ තුන්මාසෙ දාන කටයුතුත් ළඟයි නේද…?

– ඔය පිංකමට කලින් ඒකා ගෙදර ⁣එන⁣වා අපෙ හාමුදුරුවනේ…

කොයිතරම් හිත උණුවෙන බලාපොරොත්තුවක්ද ඒක…තාත්තෙක් තමන්ගේ ලෙයට ජාතක වෙච්ච පැටවු වෙනුවෙන් මොනතරම් කැක්කුමක් හිතේ හිරකරන් උහුලන් මහපොළවක් වාගෙ දරාගන්නවද…

– අපට අමාරුකම් තියෙන එක ඇත්ත..ඒත් අපෙ පරම්පරාවේ කවුරුවත් නොහොබිනා වැඩ කරලා නෑ..ඒවා අපට පුරුදු නෑ….බණ්ඩාරයගෙ ඇගේ තියෙන්නෙත් මගේ ලේ….උඹලා වන්දියක් ගැන කතාලරන්නෙ බණ්ඩාරයා කවුද කියලා දන්නෙ නැතුව..ඌ හමුදාවට බැදුණෙ වන්දි ගන්ඩ නෙවෙයි.ගෙයක් හදාගන්න ..උඹලගෙන් නිදහස් වෙන්න ..

ඌ ඒවා හිතේ තියාගෙන තමයි ගෙදර එන්නෙ..උඹලා හම්බකරන්න යන්න ඕන නෑ…ඌ ඒවා කරයි..උඹලා මොනවා කිවුවත් මං තරහ නෑ බන්…උඹලා තාම නොදරුවොනෙ…ඒ වචන වලට පපු ඇදුම්කන තරම කියන කාරණාවත් සෑහෙන්ඩ දුෂ්කරයි …එච්චරකට ඒ වචන ප්‍රබලයි…

– මම කණා වෙච්චි ..උඹලා ඇස් පේන උන්..උඹලටවත් පෙන්නුවද ඒකගෙ මූණ …?

ඇත්තටම ඒ ප්‍රශ්ණාර්ථයක් කොයිතරම් නම් තියුණුද …ඒ ජාතියෙම තව තැනක් මට අහුවුණා …

– අපේ ගමේ සේරම එකතුවෙලා ගමට හැරෙන හන්දියේ බණ්ඩාර වෙනුවෙන් බස්හෝල්ට් එකක් හදන්නයි යන්නෙ ..බණ්ඩාරගෙ තුන්මාසෙ පිංකමට කලින් දවසෙ වැඩ ඉවර කරන්නයි අපෙ බලාපොරොත්තුව…මේක අපි සළකන්නෙ රට වෙනුවෙන් ජීවිතේ පූජාකරපු වීරයෙකුට අපෙන් කරන්න ඕන උපහාරයක් හැටියට…

– කවුරු වෙනුවෙන් හරි එහෙම ඒවා කරන එක හොඳයි අපෙ හාමුදුරුවනේ …

එතනදිවත් වන්නිහාමි උන්නැහැ පිළිගන්නෙ නෑ ඒක තමාගෙ පුතා වෙනුවෙන්ම විය යුතු දෙයක්ය කියලා….

තැනක් එනවා ඒ බලාපොරොත්තුව උපද්දන්න තමන්ගේ පුතා වෙනුවෙන් හිත්වල පැළවෙච්ච පාංශුකූලයෙ මුදුන්මුල උදුරලා විහික් කරන්ඩ…

දෙහි කැපුම් වලට එවුවා නතර කොරන්ඩ ඇහැකිද…

ඊ⁣ට වැඩියෙන් අප්පෙක්ගෙ ධාරක ස්නේහය සෑහෙන්ඩ බලවත්..

ඒකමයි මිනිවළ කියාගත්ත පස්ගොඩක් ආයෙම හාරන්නෙ තමන්ගේ අත්වලින් …එහෙවු ජාතියෙ හිතකට දැනෙන දේ කෝමද දෙයිහාන්දුරුවනේ මුසාවක් වංචාවක් වෙන්නෙ…තමන්ගේ පුතා කියලා වළලපු පෙට්ටියෙ ති⁣යෙන්නෙ කෙසෙල් කඳන් ගල් ගෙඩි වෙච්ච කොට…

අහසෙ පාවෙන මන්දාරම්ගුලි වලට තමන්ගේ පුරුදු ඉවෙන් අනාවැකි කියන, වැහිගම්පලමුත්තා වඩින දවස් ආදේශ කරන අප්පෙක්ට දරුවෙක් ගැන දැනිච්ච දැනිල්ලක් වරදීද…..?

ඇත්තටම ඒක මහ පුදුම රිදිල්ලක් මුහුවෙච්ච කත⁣න්දරයක්….මම දන්නෙ නෑ කොතනින් අවසානය ගැන සදහන් කරන්නද කියලා …මේ කතන්දරේ නොබලාපු කෙනෙක් නැතිම තරම් ඇති..ආයෙ ආයෙම බලලා හිත් රිදුම් නැවුම් කරගන්න පුළුවන් කතාවක් මේක..ඔවු..මේක ඒ ජාතියෙ කතන්දරයක් ..

සටහන – රුවන්ති ජයතිලක

https://www.facebook.com/100004546364384/posts/1902919409869586/?sfnsn=mo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *