වසරේ හොදම චිත්‍රපටය

‘Nomadland’   ජීවිතය මෙතැනයි…
ජීවිතය කියන්නෙ ඉද්ද ගැහුවා වගේ එක කෙළින් ඇදී යන දෙයක් නෙමෙයි. ජීවිතයේ කඩාවැටීම්, අතපසුවීම්, නොසලකාහැරීම්, බිඳීවැටීම් අනුව අප යන ගමන, එහි දිශානතිය, වේගය තීරණය කරනව. ඒ පීඩාවන් දරාගන්න බැරිවම සමහරුන් අතරමගදි ජීවිතය අතහැර දානව. ඒකට හොඳම උදාහරණය තමයි බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරුවක් වුණ සුෂාන්ත් සිං රාජ්පුත්. බලය, ධනය, ආකර්ශනය, ආදරය ඕන තරම් තියෙද්දි ජීවිතය අලුයම ලූ කෙළ පිඩක් වගේ සුෂාන්ත් අත්හැරල දානව. දුක – සැප, යස – අයස, නින්දා – ප්‍රසංසා, සමව විඳදරා ගන්න කියල බුදුන් වහන්සේ කිව්වත් ඒක කොයි තරම් අමාරු දෙයක්ද මේ ජීවිත ගමන ගෙනියද්දි අපිට තේරෙනව. හිතන්නෙ නැති විදිහට හිතන්නෙ නැති වෙලාවට අපිට දේවල් අහිමි වෙනවා.  ඒ අහිමි වන දෙය අපි ආදරය කරන කෙනෙක්ගෙ ජීවිතයක්, අපේ ආදරයක්, අපේ රැකියාවක්, කොටින්ම කියනව නම් අපි ආදරය කරන සුරතලෙක් වෙන්නත් පුළුවන්.  ඔය කඩාවැටීම් හමුවේ ඔළුව කෙළින් තියාගෙන ජීවිතය ඉදිරියට ගෙනියන එක තමයි වැඩේ.

නමුත් ජීවිතය අත්හරින්න දහසක් දේවල් තිබියදීත් ජීවිතය අල්ලන් ඉන්න මිනිස්සු කොට්ඨාසයකුත් අප අතරම, අපිත් එක්කම ජීවත් වෙනව. මට අනුව අනුන්ට කරදරයක් නොවෙන්න ඔය ජීවන ගමන කොහොම ගෙනිච්චත් අවුලක් නෑ. එක් එක්කෙනාගෙ මිනුම්දඬු අනුව මිනිස්සු උසස්, පහත් කියල බෙදුවට අපි හැමෝම මිනිස්සු. ඒක තේරුම් ගන්න අපිට ලැබිල තියෙන හොඳම අවස්ථාව තමයි මේ කොවිඩ් වසංගතය. උස්සල පොළොවෙ ගැහුව වගේ අපි ළඟ හිටිය මිනිස්සු මැරෙනව. අපි ගෙවන ජීවිතය මොකක්ද කියල ආයි පාරක් හිතන්න කොවිඩ් නිසා අපිට අවස්ථාවක් ලැබිල තියෙනව.  මේ ගැන වැඩිපුර හිතුනෙ මෙවර ඇකඩමි සම්මාන උළෙල හොඳම චිත්‍රපටය වුණු ‘Nomadland’  බැලුවට පස්සෙ. මේ චිත්‍රපටය පදනම් වෙන්නෙ වාහනයක් තුළ ජීවත් වෙමින් සංචාරක ජීවිතයක් ගෙවන Fern නමැති කාන්තාවගෙ චරිතය වටා. තැනින් තැනට සංක්‍රමය වෙමින් අහුවෙන ඕනෑම රස්සාවක් කරමින් මේ කාන්තාව ජීවිතය ගෙවනව. හැබැයි මේ ජීවිතය ඇය කැමැත්තෙන් තෝරගත් එකක් නෙමෙයි. ස්වාමියා අහිමි වීම නිසා ඇයට උරුම වන ජීවිතය තමයි ඒක. අකමැත්තෙන් වුණත් ඒ ජීවිතය ඇයට බාරගන්න වෙනව. නැතිවෙන්න තියෙන හැමදේම නැතිවුණාට පස්සෙත් ඇය ජීවිතය අල්ලගෙන ඉන්නව.  ඒකෙ ප්‍රධාන චරිතය රඟපාන Fernට ‘නෝමැඩ්’ ප්‍රජාවගෙ හමුවකදි හමුවන වාහනයක ජීවිතය ගෙවමින් සංචාරක ජීවිතයක් ගත කරන Swankie නමැති කාන්තාව මෙහෙම කතාවක් කියනව.“දොස්තරල මට කිව්ව මගේ පෙනහැල්ලෙ පිළිකාවක් තිබිල අයින් කළා කියලා. එයාල කිව්ව ඒක මොළයටත් ගිහිල්ල කියල. මට තව මාස හත අටක් විතරයි ජීවත් වෙන්න තියෙන්නෙ.

මම මේ අවුරුද්දෙ මගේ 75 වැනි උපන් දිනය සමරනව. මම හිතන්නෙ මම හොඳ ජීවිතයක් ගතකළා. මම ලස්සන දේවල් දැක්ක. එක දවසක් ඉවුරක් ළඟින් යද්දි වැහිළිහිණි කූඩු සිය ගණනක් දැක්ක. උන් වටේටම පියෑඹුවා. වතුරට උන්ගේ හෙවනැල්ල වැටිල තිබුණ. මමත් උන් එක්කම පියාඹනව වගේ ඒ වෙලාවෙ මට දැනුණෙ. උන් මාව වටකරගෙන හිටියෙ. පොඩි පැටව් බිත්තරවලින් එළියට එනවා. බිත්තර කටු වතුරට වැටෙනවා. වතුරට වැටිලා පාවෙනවා. මට දැනුණෙ ඒක ආශ්චර්යක් කියලා. මට හිතුන මේ ඇති කියල. ජීවිතේ සම්පූර්ණ වුණා වගේ දැනුණා. ඒ වෙලාවෙ මම මැරුණත් කමක් නෑ වගේ හැඟීමක් මට ඇතිවුණා.” මිනිස්සු කොයි තරම් පොඩි පොඩි දේවල්වලින් ජීවිතය විඳිනවද. නමුත් අපි කිසිම දේකින් තෘප්තිමත් වෙනවද. ඒ වුණාට අපි ලෝකය කියල දකින්න පුරුදු වෙලා තියෙන්නෙ මොනාද. ලොකු ගෙයක්, වාහනයක්, ලොකුබාත්රූම් එකක්, හොඳ කුස්සියක් නෙමෙයිද. එකම රටේ, එකම නගරයක, හැමදාම එකම මිනිස්සු ටික දැක දැක, එකම රස්සාව කර කර ගෙවන ජීවිතය මොන තරම් නීරසද. අඩු ගානෙ අපිට අපි ගෙවන්නෙ එහෙම ඒකාකාරී ජීවිතයක් කියල හිතන්නවත් වෙලාවක් තියෙනවද. පවුලෙ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්නවලට කොටුවුණාම ඔය මනස්ගාත හිතන්න වෙලාවක් නෑ තමයි. ඒත් ජීවිතය කියන්නෙ ඔය විදිහට එකම විදිහට ගෙවල දාන එකකට නෙමෙයි කියල තව පාරක් හිතන්න ‘Nomadland’  අපව පොළඹවනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *