“මිදුණු විශ්වය” ලබන ජුනි මාසයේ තිරගත වෙනවා – ජයන්ත චන්ද්‍රසිරි

මෙයට අවුරුදු හතලිස් පහකට පෙර සිය පළමුවැනි නිර්මාණය වූ සරස්වතී නාට්‍යය නිෂ්පාදනය කරන විට ජයන්ත චන්ද්‍රසිරි නව යෞවනයකු වන්නට ඇත. පසුව ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියාවක නිරත වීමේ අවස්ථාව ලැබුණ ද මඳ කලකින් එය අත්හළ ඔහු වෘත්තීය පුවත්පත් කලාවට පිවිසෙයි. ඒ යුගයේදී සිත්තර පත්තරයට ඔහු ලියූ ස්පාටකස් යන චිත‍්‍ර කතාවත් ස්කාගස් යන චිත‍්‍ර කතාවත් මහත් සේ ජනප‍්‍රිය වුණේ ඒවා තුළ වූ රැඩිකල් ප‍්‍රවේශය හේතුවෙනි. පසුව උපාලි පුවත්පත් සමාගමේ “දිවයින” කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වූ ජයන්ත ස්වකීය පත‍්‍රකලා ජීවිතයෙන් විශ‍්‍රාම යනවිට දිනපතා දිවයින පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කළේය. මේ රටේ දෘශ්‍ය කලාව තුළ ඔහු ලබා ඇති ප‍්‍රමුඛ පෙළ අදටත් නොසැලී එලෙසම පවතී.

ඔබේ අලූත් චිත‍්‍රපටය ජූනි මාසයේ තිරගත වෙනවා නේද?
මිදුණු විශ්වය” ජනවාරි මාසයේ තිරගත වෙන්න සූදානමින් තිබුණත් කොවිඞ් තත්ත්වය නිසා තමයි ජූනි මාසයට කල් ගියේ.

මේ චිත‍්‍රපටයේ ගීත කීයක් ඔබ රචනා කළාද?
මේක සංගීතමය චිත‍්‍රපටයක් සමනල සංධ්වනියටත් වඩා. මේ චිත‍්‍රපටයේ ගීත පහක් තියෙනවා. හතරක් මම ලිව්වා. එකක් මගේ බිරිඳ මධුමනි ලිව්වා. ඇය හොඳ කිවිඳියක්. මේ මධුමනි ගේ පළවෙනි ගීතය. නවරත්න ගමගේ ගේ සංගීතය. කුෂානි සඳරේඛා, ලෙස්ලි තෝමස්, දමිතා අබේරත්න, ගීත ගායනා කරනවා.

ඔබ මුලින්ම රචනා කළේ වෙද හාමිනේ ටෙලි නාට්‍ය ගීතය?
මම කවදාවත් ගීත රචනා කරනවා කියලා හිතාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. මට එහෙම කිසිම ආසාවක් තිබුණෙත් නැහැ. මම ඔය කවියක් අරෙහෙ මෙහෙ ලිව්වට කාටවත් ඒවා පෙන්නන්නේවත් නැහැ. වැඩිම උනොත් මගේ බිරිඳට පෙන්නලා ඇති ඒ කවි. නමුත් කවදාකවත් පත්තරේකට දෙන්නවත් මට හිතුනේ නෑ ලියපු කවි. මගේ ඔලූවේ තිබුණෙම ඒවා චිත්ත කවි කියලා. ඒවා ලියන ඒවා නෙවෙයි ලියැවෙන ඒවා කියලායි මගේ ඔලූවේ තිබුණේ.

ඒක නෙමෙයිද වටින්නේ?
හරියටම හරි ඒක තමයි වටින්නේ. නමුත් මට තාම හිතාගන්න බෑ ඇයි මට ඒවා ප‍්‍රසිද්ධියට පත් කරන්නට හිතුනේ නැත්තේ කියලා.

ඒ කවිය ගීතයක් වුණේ කොතැනදීද?
කාලය ගතවෙලා මං වෙදහාමිනේ ටෙලි නාට්‍යය කරනකොට ඒ නාට්‍ය තුළ යටින් යන එක ගීතයක් තියෙනවා. චිත‍්‍රපටවලට ටෙලි නාට්‍යවලට ගීත ලියනකොට ඉතාම ප‍්‍රකට ගීත රචකයන් පවා ලියන්න ඕන මේ කෘතියේ කර්තෘට ඕන ගීතය. වෙන එකක් ලියන්න බෑ. කෘතියේ කර්තෘවරයා ගේ රචකයා එහෙම නැත්නම් අධ්‍යක්ෂවරයා අදහස අනුව මට මෙන්න මෙහෙම එකක් ලියලා දෙන්න කියලා කිව්වම ඒ අනුව තමයි ලියන්නේ. වෙද හාමිනේ ටෙලි නාට්‍යයේ කර්තෘවරයා මමමනේ. මම හිතුවේ නෑ කොයි වෙලාවකවත් සිංදුවක් ලියන්න. මම හරි ආසා ගීත රචකයෝ ඉන්නවා. ඉතිං මම මගේ සංගීතඥයා ආචාර්ය කේමදාසයන්ට මේ සිද්ධිය විස්තර කළා. 1950 දශකයේ සංගීත අධ්‍යාපනය පාසල් විෂය මාලාවට එකතු වෙච්ච කාලය ඔය. ඉතාම ගම්බද පාසල්වලට පවා සංගීතය විෂයක් විදිහට ඉගැන්වීම ගියා. හුඟක් වෙලාවට ගුරුවරියෝ තමයි සංගීත පාඩම් ඉගැන්නුවේ. නගරයෙන් එන ගුණේන්ද්‍ර සහ ඔහුගේ මිතුරා සුවය පතා වෙද මහත්තයා හම්බවෙන්න ඉතාම දුෂ්කර ගම්මානයකට එන ගමනේ දී ඔවුන්ට ඉස්සෙල්ලාම ශ‍්‍රවණය වන්නේ වෙද මහත්තයාගේ දියණිය මංගලී ගුරුවරිය පාසලේ ගහක් යට ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග ගීතයක් ගායනා කරමින් ඉන්න
අවස්ථාව.
මට මෙතන හිතුනේ අර වෙද හාමිනේගේ මනෝභාවයන් එක්තරා ආකාරයකින් ප‍්‍රකාශයට පත්කරන අවස්ථාවකුත් විය හැකියි කියලා මේ අවස්ථාව. එකක් තමා තිරයේත් අපි ඇයව දකින මුල්ම අවස්ථාව. මං මේ කාරණා කේමදාසයන්ට කිව්වා. මට මෙන්න මෙහෙම ඕන. මේකේ මෙන්න මේ ආකාරයේ තාලයක් තිබුණොත් හොඳයි. මං එහෙමත් කිව්වා. ඊළඟට සංගීත අධ්‍යාපනය ගැන මගේ රිසර්ච් එක මං කිව්වා ඒ කාලේ. මේ සිංදුව ලියන්න මගේ ඔලූවේ හිටියා බොහොම ප‍්‍රකට ගීත රචකයෝ කිහිප දෙනෙක්. මට අවශ්‍ය වුණා ඒ කෙනෙක් ලවා මේ ගීතය ලියවා ගන්න. මං ඒක කියන්න තමයි මාස්ටර්ට මේක කිව්වේ. මං ඒ කාලේ ප‍්‍රසිද්ධ නෑනේ. මං හිතුවා කේමදාසයන් ලව්වා මේක කියෙව්වොත් ගීත රචකයෙක් ඉක්මනට මේක ලියලා දෙයි කියලා. අපිව අඳුනන්නේ නෑනේ ඒ කාලේ කව්රුත්. ඉතිං කේමදාසයන් ලවා කියවගන්න අදහසින් මම ඒක කිව්වා. මං නම් කිහිපයකුත් කිව්වා, අහවලා, අහවලා අහවලා ලව්වා පුළුවන් නං මේක ලියන්න හොඳයි කියලා.

ඔහු ඔබට මොකද කිව්වේ?
කේමදාසයන් කිව්වා මොන පිස්සුද මේක ලියන්න ඕන ඔයා කියලා. ඔයා ඔය මට කියපු විස්තරේ ලියන්න බෑ කාටවත්. මේක ඔයා ලියන්න ඕන කිව්වා. මං කිව්වා මට සිංදු ලියන්න බෑ; මම සිංදු ලියලා නැහැ කියලා. ඊළඟට වෙච්ච දේ තමයි ඔහු කිව්වා මට දැන් ගීතය ලියන්න කියලා. මොයිසක්කා කියලා මාස්ටර්ගේ ගෙදර උදව්වට හිටපු එන හැමෝටම සංග‍්‍රහ සත්කාර කරන සේවිකාවට කතා කරලා කිව්වා මේන් මේ මහත්තයට තේකක් ගේන්න කියලා. ඔයා වාඩි වෙන්න ඔය මේසේ කියලා කෑම මේසේ පෙන්වලා මට ලියන්න කියලා මාස්ටර් එළියට ගියා. මට තේ එකකුත් හම්බුනා. ඉතිං මම ලියන්න පටන් ගත්තා. එතනදී මට ලියවුණා මේක. මේ චරිතයේ මනෝභාවයන් ආදිය විස්තර කරනකොටම මගේ මනෝ භාවයන් ඇවිස්සිලානේ තියෙන්නේ. ඒකයි ඔහු අර දැන්ම ලියන්න කිව්වේ. මට පස්සෙයි ඒක තේරුණේ. හරි ශ්‍රේෂ්ඨ මිනිස්සු. අවබෝධය, දැනුම හරි ඉහළයි. මං අර කලින් කිව්වනේ මට චිත්ත කවි ලියවුණා කියලා. ඒක තමයි මට මෙතනදීත් වුණේ. චිත්ත කවියක් වගේ තමයි මට මේක ලියවුණේ. එතකොටයි මම දන්නේ මට මෙහෙම සිංදුවක් දෙකක් පොඩියට ලියාගන්න පුළුවන් කියලා.

“දූවිලි” තරමක් විශේෂ යෙදුමක්?
වියළි කලාපයේ හරියට දූවිලි. එහෙ ඉන්න කාන්තාවෝ හරි වියළි කර්කෂ පරිසරයක ඉන්න අය. ඒගොල්ලන්ගේ තියෙන්නේ මහා අමුතු ලස්සනක්. පසුබිමේ තියෙන්නේ දූවිලි හැම තිස්සෙම. දූවිලි කියන එකේ මහා දාර්ශනික අර්ථයකුත් තියෙනවනේ. දූවිල්ලක් කියන්නේ හරි කුඩා ප‍්‍රපංචයක් නේ. අනිත්‍ය පිළිබඳ අදහසකුත් තියෙනවා යම් ආකාරයකින්. අනෙක් අතට ජනාලාප බහුල ජන කවි ආරක් තමා මට ඔලූවට ආවේ. මංගලි වෙන අය වෙනුවෙන් කැප වෙච්ච ජීවිතයක් බවට පත්වෙනවා නුදුරු කොටස්වලදී. අපේ වෙදකමේ තියෙන දේත් ඒකනේ. ලාබ ප‍්‍රයෝජන ලබන්නේ නැතුව අනුන් වෙනුවෙන් කැප වෙච්ච පුදුමාකාර පරාර්ථකාමී දෙයක් නේ අපේ වෙදකම කියන්නේ. ඔය බොහෝ දේවල් අතරේ තමයි මේ ගීතය පූදින්නේ. මං කියන දේ අහලා කේමදාසයන් මේක වෙන කාටහරි දුන්නා නං මං තාම ගීත රචකයෙක් වෙලා නෑ මං හිතන්නේ. අනික ගීතය ගයපු ගායිකාව විශාල බලපෑමක් වුණා. ප‍්‍රදීපාගේ පළමු ප‍්‍රසිද්ධ ගීතය මේ. ඒකත් විශේෂත්වයක්. කේමදාසයන් කිසිසේත්ම තෝරා ගත්තේ නෑ එවකට ජනප‍්‍රිය ගායිකාවක් මේකට. එයා කිව්වා මේකට ගැලපෙන ම හඬ ප‍්‍රදීපාගේ හඬ කියලා.

අකාල සන්ධ්‍යා හි ගීතය ?
පස්සේ කාලේ මං කළා ”අකාල සන්ධ්‍යා” ටෙලි නාට්‍යය. ඒකෙ ගීතය පැටියෝ දුක දරාගන්න මං ලිව්වා, කේමදාසයන් කියන්නේ නැතුවම. මට පුළුවන් කියලා මං හිතනවනේ ඊටපස්සේ. ඒක වෙන්නැති. මේ ගීතය ඒක දරු නැලවිළි ගීතයක් ඇත්තවශයෙන්ම. මාලිනි බුලත්සිංහල මහා පුදුමාකාර විදිහට ගායනා කළා මේ ගීතය. මං හිතන්නේ අර ගීතය ලියලා අවුරුදු හයකට විතර පස්සේ මං මේ ගීතය ලිව්වේ. දඬුබස්නාමානයේ පද්‍ය ගණනාවක් තියෙනවා. නමුත් ඒවා ජන සාහිත්‍යයෙන් ගත්ත ඒවා. එක ගීතයක් තිබුණා ඒක මං සුනිල් රත්නායක මගේ නිෂ්පාදකට පැවරුවා ලියන්න කියලා. ඔහුට කවි ලියන්න පුළුවන් කියලා මං දැනගෙන හිටියා. මගේ ආරාධනාව පිළිඅරන් ඔහු මේක ලිව්වා. ඒ ගීතයට සම්මානත් හිමිවුණා. මාලිනි බුලත්සිංහල සහ අමරසිරි පීරිස් ඒ ගීතය ඉතාම මනරම් ලෙස ගායනා කළා.

“නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ” ගීතය සුවිශේෂයි?
සමනල සංධ්වනිය නිර්මාණය කරන්න ගිහිං මං අඳුනගත්ත දක්ෂ තරුණ සංගීතඥයා තමයි දර්ශන රුවන් දිසානායක. දර්ශන දවසක් මට කිව්වා අයියේ සමන් ලෙනින්ට සිංදුවක් ලියලා දෙන්නකෝ කියලා. සමන් ගේ හඬට මං බොහොම කැමතියි. ඔහු මට ඉස්සෙල්ලම හම්බුනේ රජත රශ්මි වැඩසටහනේදී. ඒ රජත රශ්මි තරගයේ රඟපෑම් අංශය සම්පූර්ණයෙන්ම මෙහෙයවූයේ මම. ගායනා පැත්තට විවේක වෙලාවේදී මං මගේ සවන් යොමු කළා මම සිංදු අහන්න ආසා හින්දා. මං දැනන් හිටියා සමන් දිනයි කියලා. මොකද හරි විශ්මිත හඬක් ඔහුට තිබුණේ. ඒ රියැලිටි ෂෝ එකේ හොඳම ගායකයාට හිමි සම්මානය ලබා ගන්නෙත් සමන් ම තමයි. මං මේ කියන පස්සේ කාලේ වෙනකොට දර්ශන සමන්ට සිංදුවක් ලියලා දෙන්න කිව්වම මං බොහොම කැමැත්තෙන් පිළිගත්තා ඒ ආරාධනාව. පිළිඅරගෙන ඒ ලියපු ගීතය තමයි නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ.

ගීතය බොහොම ජනප‍්‍රිය වුණා. විදෙස් රටවල පදිංචි අය පවා මේ ගීතයට බොහොම කැමතියි?
මේක මගේ ඔලූවේ තිබිච්ච දෙයක්. ලියලත් දැන් අවුරුදු දොළහක් පහළොවක් වෙනවා. කලින් අපි දැක්ක දෙයක් තමයි මිනිස්සු කොළඹට ඒ අවට ඉඩ කඩම් අරං දුවන් ආපු එක පදිංචිය සඳහා. කොළඹ කේන්ද්‍රියව තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඔය සිංදුව ලියන කාලේ වෙනකොට මං දැක්කා කොළඹ ඉන්න ඔක්කොම ගම්වලට දුවනවා ආපහු. ගම්වල නිල් දිය පොකුණ හොයාගෙන, දීර්ඝ සති අන්තයක පාරේ යන්න බෑ ඒ තරං වාහන ගම්වලට යනවා. ගිහිල්ලා ඉතිං කුරහං කන්න හොයනවා. තරු පහේ හෝටල් වලත් කුරහන් තියෙනවා. මොකද්දෝ මහා අමුතු විපර්යාසයක් වෙලා තිබුණා. ඔය කාලේ යමක් කමක් තියෙන අය ආපහු ගම්වලට යන්න පටන් ගත්තා. ඕක මගේ හිතේ හරියට තිබුණා. ඒක තමයි ඔය පණ ගැහිලා ආවේ. කිසියම් ආකාරයකින් පේ‍්‍රමයටත් නතුව කතා කරන, මේ සමාජ රූපකය මම ආදර රූපකයක් බවට පත් කරගන්න සමත් වුණා කියලා මං හිතනවා මේ ගීතයෙන්.

”ඝරසරප” සහ ඔබ සම්මානයට පාත‍්‍ර වුණු ”හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ” ගීතය ඔබේ අත්දැකීමක්ද?
මගේ හිත පුරා අත පුරා ලියවෙච්ච ගීතය තමයි ඔය ‘හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ’ ගීතය. මගේ භද්‍ර යෞවනය මට නිතැතින්ම සිහිපත් කරන චරිතයක් තමයි ඔය ඝරසරප චිත‍්‍රපටයේ එන්නේ. සංගීතය චින්තන ජයකොඩි ගේ. ඔහු මනරම් තනුවක් නිර්මාණය කළා. ඒකත් හේතුවක් වුණා මේ ගීතය අතිශයින් ජනප‍්‍රිය වෙන්න. අනික සමිතාගෙයි බාචිගෙයි ගායනය. චිත‍්‍රපටයේ තේමාව වඩා උද්දීපනය කරන නළු නිළියන්ගේ භාව නිරූපනයට ලොකු ශක්තියක් සපයන ගීතයක් හැටියට මේක ලියවුණේ මගේ අතින්.

චිත‍්‍රපටයේ ‘සඳරැස්’ ඔබ ‘චන්ද්‍රසිරි’. මොකද්ද මේ ගැළපුම?
ඝරසරප එකේ සඳරැස්. මගේ නම චන්ද්‍රසිරි. එකම තේරුම. ඔය චරිතෙත් ඒකම තමයි. මම පාසල් යන කාලේ යකෙක් වැහිච්ච මගේ යාළුවෙක්ව අරං ගියා යක්කු එලවන කුඩාගම පල්ලිය කියන තැනට. යකා වැහිච්ච මගේ යාළුවයි එයා ගේ ලොකු අම්මයි මමයි තමයි ගියේ මේ සුව මෙහෙයට. මාව එක්කං ගියේ යකා වැහෙන මගේ යාළුවව බලා ගන්න. පැනලා දිව්වොත් හරි එහෙම මොනාහරි උනොත් කියලා. මෙතැනදී සමූහ ආවේශයක් වෙලා දෙසීයක විතර පිරිසකට එකවර තමයි මේකේ යකැදුරුකම කෙරෙන්නේ. මම බෞද්ධයෙක්නේ. තොවිල් පවිල් ඕන තරං දැකලා තියෙනවා, අපේ සම්ප‍්‍රදායේ ඒවා. නමුත් මේ පල්ලියක. මට මේක හරි නුහුරු අත්දැකීමක්. මම මෙතෙන්ට ආගන්තුකයි. ඒ නිසාම මං මේකේ නිරීක්ෂකයෙක් වුණා. බය කියන එක හිතේ නොතිබුණාමත් නෙමෙයි. ඉතිං මේ සිද්ධිය පුරාම දැක්ක දේවල් ටික තමයි මේ චිත‍්‍රපටය පුරාම තියෙන්නේ. තවත් දෙයක් වුණා මගේ හිත ගියා යක්කු වැහෙන යුවතියකට. මේ යුවතිය ඇත්තටම ද්‍රවිඩ යුවතියක්. ඇය මා එක්ක යම් සම්බන්ධයක් ඇතිකර ගත්තා. හරි ලස්සන ගෑනු ළමයෙක්. මේ ළමයට සනීප වෙලා තිබුණෙත් නෑ. දෙවැනි පාර ඇවිත් තිබුණේ. කළු කුමාරයා තමයි එයාට වැහෙන්නේ. අර සල්පිල් එහෙම තියෙනවනේ. ඒ සල්පිල් ගත් ලේන්සුවකුත් අපි හුවමාරු කරගත්තා ඇත්තටම ඒ චිත‍්‍රපටයේ තියෙනවා වගේ. ඒ කාලේ නව යොවුන් පෙම්වතුන්ගේ ලොකුම හුවමාරු කරගැනීම තමයි ඉතිං ලේන්සුව. බොහොම ලාභයි සත හැත්තෑ පහයි. ඕක තමයි ආදර තිළිණය. අන්තිමට එයා මගෙන් ඉල්ලීමක් කළා. අවසාන පූජාව වෙලාවට එන්න එපා කියලා එතෙන්ට. මොකද ඇය ඒ වෙලාවට කැත වෙනවා දරුණු විදිහට. මං කිව්වා මට ප‍්‍රශ්නයක් නෑ මං ඉන්නං කියලා. මට අද වගේ මතකයි සුදු ඇඳුමක් ඇඳන් හිටියේ. මේ පූජාව පටන් ගත්තත් මේ ගෑනු ළමයට යකා වැහුනේ නෑ. මොකද අපි දෙන්නා දෙපැත්තේ ඉඳන් ඇස දෙකෙන් බලං ඉන්නවා. මට එදා තේරුණේ මේ ආදරේ කියන්නේ මොන වගේ බලගතු දෙයක්ද කියලා. ඝරසරප එකට සංකල්පය මතු වුණේ ඕකෙන්. දෙවැනි කොටස සම්පූර්ණ ප‍්‍රබන්ධයක්. අපේ මනස ශක්තිමත් නං ආදරය මෛත‍්‍රිය කරුණාව වගේ දේවල්වලින් පිරිලා තියෙනවා නං වෙන කිසිම බලවේගයකට ඇතුල් වෙන්න බෑ. ඒක පොදු සත්‍යයක්. ඒක මම අත්දැකපු තැනක් තමයි ඕක. නවලිය පත්තරේ පටන් ගන්නකොට පළවෙනි පත්තරේ පළමු කලාපයට මම ලිව්වා මේ කතන්දරේ. ජනක රත්නායක තමයි චිත‍්‍ර ඇන්දේ. අද වගේ මට මතකයි භූතයකු සමග දවස් හතක් කියලා ලිව්වේ. හැබැයි නිර්මාණයක් කරන්න අදහස ආවේ පස්සේ කාලෙක.

ඔබ පුංචි කාලෙත් නාට්‍ය කළා නේද?
මං ඉගෙනගත්ත හීන්කෙන්ද මහා විද්‍යාලයේ. හයවෙනි පංතියේදී සීලවතී ගුරුතුමිය නිසා මට ළමා නාට්‍යයක් ලියන්න අවස්ථාව උදාවුණා. ඉතිං නාට්‍ය ලියපු නිසා නාට්‍ය කරන්නත් මට සිදුවුණා. ඕක තමයි මම නාට්‍යයක් කළා කියන්න මට තියෙන මතකය. බංකු වේදිකාවෙ පෙන්වපු පාර දිගේ කියන මේ වේදිකා නාට්‍ය තමයි මගේ ළමා කාලයේ මතකයකට තියෙන්නේ. කලාව කියන දේ එළියට පැන්න අවස්ථාව ඒක. පාසලෙන් ඉවත්වෙද්දී මං සම්බන්ධ වෙනවා නාට්‍ය කටයුතු වලට.

ඔබ රූපණය පිළිබඳ එවක හැදෑරුවා?
ඒ කාලේ ලංකාවට ආවා ආචාර්ය නෝබට් ජේ. මයර් කියන ජර්මන් ජාතික නාට්‍ය රංගන පුහුණුකරු. රූපණය පුහුණු කරන්නෙක් ඔහු. ඒ කාලේ ලෝක නාට්‍ය සංගමයේ සභාපති. ලෝක ප‍්‍රසිද්ධයි. ඔහු ලංකාවට ඇවිත් ඔහුට ඕන වෙනවා විසි පස් දෙනෙක්ගේ කණ්ඩායමක් තෝරා ගන්න මේ වෘත්තීය නළු නිළියන් විදිහට පුහුණු කරන්න. ජර්මන් සංස්කෘතික ආයතනයි, ළමා හා යොවුන් නාට්‍ය ආයතනයයි (ගාමිණී විජේසූරිය මහත්මයා කරගෙන ගිය), ජර්මන් ගතර් ආයතනයි එකතුවෙලා තමයි මේ කටයුත්ත කළේ. ඒකට පරීක්ෂණයක් තිබ්බා සුදර්ශියේ. ළමයි විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා හිටියා. මමත් ඒ පෝලිමේ හිටියා. මම එක්ක මගේ ළඟින්ම හිටිය එක්කෙනා තමයි ශ‍්‍රියන්ත මෙන්ඩිස්. අපි ඉතිං පෝලිමේ ඉන්නකොට, ඇතුලේ පරික්ෂණය යනවා, අපි එළියේ හරි මහන්සියි ඔහොම ඉන්නකොට පාසල් නිල ඇඳුම පිටින් ආපු කොල්ලෙක් පෝලිමේ ඉස්සරහට පැන්නා. අපි ඉතිං ගම්වල ළමයිනේ. මේ කොළඹ කොල්ලෙක් ඇවිල්ලා පැන්නා පෝලිම ඉස්සරහින්. මේකට ශ‍්‍රියන්තට කේන්ති ගියා. දැන් ඔයා කොහෙද පනින්නේ ඔන්න ඔහොම කතා බහක් ඇතිවුණා. පැනපු කොල්ලා ඇහුවා ඇයි අපිට පනින්න බැරිද? ශ‍්‍රියන්ත කිව්වා බැහැ තමයි කියලා. රණ්ඩු වුණාට කොළඹ කොල්ලොනේ හැරිලා පිටිපස්සට ආවේ නෑ එයා එතනම ඉඳලා සම්මුඛ පරීක්ෂණයට ගියා. ඒ තමයි කමල් අද්දරආරච්චි. කොහොම හරි 25 ක් තෝරා ගත්තා. ඒ 25ට කමල් ශ‍්‍රියන්ත මම තේරුණා. අපි තමයි මුලින්ම රූපණය රඟපෑම ඉස්සෙල්ලා විෂයක් විදිහට ඉගෙනගත්ත අය. දවසකට රුපියල් 5කුත් ගෙවනවා. මාස තුනක් දිනපතා ඉගෙනගත්තා. හරිම ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්. ඕක තමයි මගේ ආරම්භය. ඊටපස්සේ රඟපාන්න එහෙම ලැබුණා අවස්ථා කිහිපයක්ම. නළුවෙක් වෙන්න තමයි ලොකුම ආසාව තිබුණේ. හැබැයි රඟපෑම විෂයක් විදිහට ඉගෙනගත්තට පස්සේ ඒ ආසාව සම්පූර්ණයෙන්ම නැතුව ගියා. ඊටපස්සේ හිතුනේ තව ඉගෙනගන්න ඕන කියලා මිසක් තව රඟපාන්න නෙමෙයි. අධ්‍යක්ෂණයට මට ලොකු ශක්තියක් සැපයුවේ මේ පුහුණුව කියලා මං හිතනවා.

සමනල සංධ්වනියේ ගගන සරන්නට ගීතයත් ඔබ රචනා කළ ගීතයක්?
දර්ශන රුවන් අපේ ගෙදර ඇවිල්ලා ඔය ගීතය හැදුවේ. අපේ පොඩි දුවට පියානෝ එකක් තියෙනවා. ඒ පියානෝ එකේ තමයි දර්ශන මේ ගීතය හැදුවේ. එක්තරා රැයක මම ගීතයේ කොටස් ලියමින් දර්ශන තනුව හදමින් තමයි ගීතය නිර්මාණය කළේ. රූනි මැනැවින් මේක ගායනා කළා. ජනප‍්‍රිය වුණා ඒ ගීතයත්.

සමනළ සංධ්වනියේ ”මගේ සිහින මැදුරේ ගීතයත්’ ජනතාව අතරට ගිය ඔබේ ගීතයක්?
ඩිජිටල් සිස්ටම් එක අලූතෙන් පටන් ගත්ත කාලේ තමයි සමනල සංධ්වනියේ රූ ගත කිරීම් පටන් ගත්තේ. රුවන් කොස්තා මගේ කැමරා ශිල්පියා කිව්වා අපි පුළුවන් නම් ඉන්දියාවෙන් ලෙන්සස් ගෙන්වමු කියලා. සිනේ ලෙන්සස්. නිෂ්පාදක රුවන් ජයසිංහත් එක්ක කතා කළාට පස්සේ ඔහු කිව්වා හරි අපි ගෙන්වමු කියලා. ඒ ලෙන්සස් එක්ක ආව එක්කෙනා මනිරත්නම්ගේ කැමරා ඇසිස්ටන්ට් රාම් එක්ක තමයි අපි ලෙන්සස් ගත්ත සමාගම අපට ලෙන්සස් එව්වේ. මේ ෆිල්ම් එක පුරාම රාම් හිටියා. මේ ගීතය අහලා රූගත කිරීමේදීත් රාම් අඬනවා. ෆිල්ම් එකේ හුඟක් ජනප‍්‍රිය ගීතය ‘මට මගේ නොවන’ ගීතයනේ. නමුත් රාම් කැමති ගීතය මේක. වරින්වර අහනවා ෆෝන් ඒකෙත් දාගෙන. අහලා අඬනවා. මං ඇහුවා තේරෙනවද කියලා. ඒත්, සංගීතයේ තියෙන ප‍්‍රාතිහාර්යය ඒකනේ. සංගීතය වචනවලින් එහාට ගිය භාවයන් එක්ක සම්බන්ධ වෙනවනේ. අපේ හැඟීම් එක්ක ඒක වෙනම ගනුදෙනුවක් කරනවා. ඒක වචනවලට එහා ගිය දෙයක්. දර්ශනගේ නේ සංගීත නිර්මාණය. ඒකෙ ගෞරවය ඔහුට හම්බවෙන්න ඕන. ශම්මිකා අමානි ඉතා ලස්සනට ගීතය ගායනා කළා. ඇය පොලොන්නරුවේ ළමයෙක්. ඒකත් ජනප‍්‍රිය වුණා. ඔය සිංදුව ඇහෙන හැම වෙලාවේම මට රාම් ව මතක් වෙනවා.

  • (දිවයින පුවත්පත ඇසුරිනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *