කොලිවුඩ් අඹරට පායන අපේ අලුත්ම තරුව මධුමතී

ඇය මධුමති පත්මනාදන් ය. ප්‍රවීණ දකුණු ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරයකු වන හලිතා ශමීම්ගේ නවතම සිනමාපටය වන “එලෙයි” විත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නී ඇය ය. ආඩම්බරයෙන් කිව යුත්තේ කොලිවුඩ් අඹරට පායන අපේ අලුත්ම තරුව මධුමතී බවය.

ත්‍රිකුණාමලයේ ඉපිද එහිම හැදි වැඩි ඉගෙනුම ලැබූ මධුමතී ගේ පියා පත්මනාදන් මෙරට චිත්‍රපට සහ විවිධ නිර්මාණ රැසකට දායක වූ සංගීත අධ්‍යක්ෂවරයෙකි. මධුමතී අපේ රසිකයන් හඳුනා ගන්නේ “තමරසා”, “උන්මාදයක්”, “කෝඩුකාරයා” වැනි නූතන පරපුර අතර බෙහෙවින්ම ජනප්‍රිය වූ ගීත වීඩියෝවල රංගන රූපණයෙනි. මුලින්ම මාධ්‍ය ක්ෂේත්‍රයට නිවේදිකාවක ලෙස සම්බන්ධ වන ඇය අනතුරුව නිරූපිකාවක හා කෙටි චිත්‍රපට රංග රූපණ ශිල්පිනියක් ලෙස රංගන ජීවිතයට එළඹෙන්නීය. රංගන ශිල්පිනියක ලෙස ඇය ඇරඹූ ගමනේ සැබෑ වු විශාලම සිහිනය පිළිබඳ ඇය මේ දිනවල ඉන්නේ උතුරා යන සතුටකිනි. මධුමතී රසඳුන හා සංවාදයට එක් වන්නේ ඒ සතුටත් සමඟය.

මධුමතී, කලෙක සිට දුටු හීනය හැබෑ වීමේ සතුට දැන් වචනවලට පෙරළමු නේද?

පුංචි කාලේ ඉඳන් මගේ ළැදියාව තිබුණේ කලාවට. ලංකාවේ නිර්මාණ කිහිපයකටම දායක වුණත් හැම වෙලේම මම උනන්දු වුණේ, හීන දැක්කේ දකුණු ඉන්දියානු සිනමාවට සම්බන්ධ වෙන්න. අන්තිමට ඒ හීනේ හැබෑ වුණා. මගේ කුලුඳුල් කොලිවුඩ් නිර්මාණය තිරගත වෙනකල් මම හිටියේ ඇඟිලි ගනිමින්. දැන් ඒ සතුට මම උපරිමයෙන් විඳිනවා..

කොහොමද ඔබ ඒ හීනේ හැබෑ කරගත්තේ ?

මට තිබුණු උනන්දුව නිසාම දකුණු ඉන්දියාවේ සිනමා කර්මාන්තයේ දැනහැඳුනුම්කම් හදාගෙන තිබුණේ. අලුත් නිර්මාණ ගැන මම හැම වෙලේම හොයමින් හිටියේ. ඔය අතරේ “වයිනොට් එන්ටර්ටේන්මන්ට්” කියන දකුණු ඉන්දියාවේ දැවැන්ත චිත්‍රපට නිෂ්පාදන සමාගමෙන් අලුත් චිත්‍රපටයක ඔඩිෂන් තියෙනවා කියලා දැන ගත්තා. ඔඩිෂන් එකට අවස්ථාව උදා කරගෙන මම සහභාගී වුණා. නැවත ලංකාවට ඇවිත් දවස් 15කට විතර පස්සේ ඔවුන් කතා කරලා කිව්වා මාව ප්‍රධාන නිළිය ලෙස තෝරා ගත් බව. පුදුම සතුටක් මට දැනුණේ.

“එලෙයි” චිත්‍රපටයේ ඔබේ චරිතය ගැන කතා කළොත් ?

මම නිරූපණය කරන්නේ බොහොම සාම්ප්‍රදායික ගැමි තරුණියකගේ චරිතයක්.

චරිතය වෙනුවෙන් ඔබේ තිබුණ සූදානම කෙබඳුද ?

අවුරුදු 19 සාම්ප්‍රදායික ගැමි තරුණියකගේ පෙනුම වෙනුවෙන් අවුරුදු 28ක් වෙන මගේ පෙනුම මුළුමනින්ම වෙනස් කරගන්න ලොකු කැපකිරීමක් කරන්න වුණා. මෙය කලාත්මක සහ වාණිජ ධාරා සංකලනයෙන් නිර්මාණය වන සිනමා කෘතියක්. චිත්‍රපටය පුරාම මට කිසිම මේකප් එකක් පාවිච්චි කළේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණේ සරල ගැමි යුවතියකගේ පෙනුම ස්වභාවිකවම ඉස්මතු කරන්න.

නිර්මාණ කණ්ඩායමෙන් ලැබුණු සහාය කොයි වගේද ?

මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සමුද්‍රගනි, චිත්‍රපට අධ්‍යක්ෂ හලිතා ෂමීම්, කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තේනි ඊෂ්වර් දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්තයන්. එවැනි ප්‍රවීණ නිර්මාණ කණ්ඩායමක් සමඟයි මට වැඩ කරන්න ලැබුණේ. සියලු දෙනාම බෙහොම සුහදයි. වෙනත් රටකින් ආ නවකයෙක් යන ආකල්පයෙන් කිසි විටෙක ඔවුන් මා දෙස බැලුවේ නැහැ. අධ්‍යක්ෂවරයාගේ මඟපෙන්වීම සහ කණ්ඩායමෙන් ලැබුණු සහාය මට වචනවලට ගොනු කරන්න බැහැ.

මධුගේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

සිනමාවට ආධුනික වුණත් මගේ චරිත නිරූපණය හොඳ මට්ටමක තිබුණු බව බොහෝ දෙනෙක් කිව්වා. මේ චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂක සිත් තුළ අනිවාර්යෙන්ම මගේ රංගනය පැලපදියම් වේවි කියලා අධ්‍යක්ෂවරයා මට කීවා. ඒ ලැබුණු ප්‍රතිචාරයට දැනෙන සතුට නම් කියලා නිම කරන්න බැහැ.

ඔබේ රංගනය ගැන ඔබ තෘප්තිමත්ද ?

මම මේ ක්‍ෂේත්‍රයට එන්නෙම හරිම ආදරෙන්. ඒ තුළ කරන කියන හැම දේම බොහොම ආදරණීයව හා ගෞරවයකින් යුතුවයි කරන්නේ. මේ චරිතයත් ඒ විදිහට කළ චරිතයක්. එනිසා යම් කිසි තෘප්තියක් මට තිබෙනවා.

මධුට දැන් කොලිවුඩයේ තවත් දොරටු විවර වුණාද?

මේ චිත්‍රපටය තිරගත වෙන්න තිබුණේ ගිය වසරේ. මේ වසංගතය නිසා සියල්ල කල් ගිහින්, නිර්මාණ කටයුතු බොහොමයක් නැවතිලා තිබුණේ. නැවත ඉන්දියාවට ගියාම තමයි මට ලැබෙන අවස්ථා ගැන දැන ගන්න වෙන්නේ.

ඒ කියන්නේ මධුගේ බලාපොරොත්තුව අනාගතයේ කොලිවුඩයේම රැඳෙන්න ?

කොලිවුඩ් තරුවක් වෙන්න නොවෙයි. මට අවශ්‍ය දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න. රංගනයේ වැඩි දායකත්වයක් දකුණු ඉන්දිය සිනමාවට යොමු කළත් මම ලංකාවෙත් රැඳේවී. දැනටමත් මෙහෙ මගේම රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයකින් ව්‍යාපාරයක් අරඹන්න සැලසුම් කරමින් ඉන්නේ.

ඉදිරියේදිත් ලංකාවේ නිර්මාණවලට මධු දායක වේවිද ?

මම ටෙලි නාට්‍යවලට නම් ඒ තරම් කැමැත්තක් නැහැ. සිනමා නිර්මාණ ලැබුණොත් හොඳ රූපණ අවකාශයක් තියනවා නම් එය බාර ගනිවි.

රංගනය තුළ ඕනෑම කැප කිරීමකට ඔබ සූදානම්ද ?

මගේ සීමාව තුළ උපරිම කැප කිරීමක් කරන්න මට පුළුවන්.

කලාවේ නියැළුණාට ඔබ උසස් අධ්‍යාපන කටයුතු කළේ විද්‍යා අංශයෙන් ?

ඉගෙනීමට කලාව තෝරා නොගන්න මට විශේෂ හේතුවකුත් තිබුණේ නැහැ. අධ්‍යාපන කටයුතු අවසන් කරපු ගමන්මයි මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් ලැබුණේ. ඒ අවස්ථාව මගහරින්න හිතුණේ නැහැ. ඒ ඇරඹුම තමයි අද මෙතැනට ඇවිත් තියෙන්නේ.

රංගනය ගැන හැදෑරීමක් ඔබට තිබෙනවාද ?

මම කවදාවත් ඉගෙන ගෙන නැහැ. 2014 දී කෙටි චිත්‍රපටයකට දායක වුණෙත් හිතේ කැමැත්තකට. එදා ඒ නිර්මාණකරුවන් කිව්වා මම හොඳට රඟපාන බව. ඒ ලැබුණු ප්‍රතිචාර එක්කයි මගේ රංගනය ගැන මටම යම් කිසි තක්සේරුවක් ඇති වුණේ.

මගේ පෞද්ගලික අදහස නම් රංගනය කියන්නේ අපේ ඇතුළාන්තයෙන්ම එන සහජයක්. විෂයක් වශයෙන් හැදෑරීමකදී එය ඔප මට්ටම් වෙනවා ඇති. එහෙත් ස්වභාවික භාව ප්‍රකාශනයක් සඳහා වැදගත්ම වෙන්නෙ ස්වයං අධ්‍යයනයක්.

මධුගේ පවුලේ අනිත් උදවිය කලාවට සම්බන්ධ නැද්ද ?

තාත්තා නම් දැන් අප අතර නැහැ. මට ඉන්නේ අම්මයි අක්කයි. අක්කා දැන් විවාහකයි. කලාවේ නියැළෙන්නේ මම විතරයි.

  • ටානියා මෝසස් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *