ක්‍රිෂ්ටි ෂෙල්ටන්ගේ “යාත්‍රා” නේපාල අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධාන තරඟකාරී වටයට…

එළෙඹෙන මැයි මස 06 වෙනිදා සිට 10 වෙනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වීමට නියමිත 04 වෙනි නේපාල අන්තර්ජාතික සිනමා උළෙල (Nepal International Film Festival) නියෝජනය කිරීමට ක්‍රිස්ට් ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ “යාත්‍රා” (The Voyage) චිත්‍රපටය සුදුසුකම් ලබා ඇත.

ඒ අනුව උළෙලේ ප්‍රමුඛතම තරගකාරී අංශය ලෙසට සැලකෙන “ලෝක පැනොරාමා- අන්තර්ජාතික දීර්ඝ වෘත්තාන්ත තරගය” (World Panorama- International Feature Competition) නම් වූ අංශය යටතේ “යාත්‍රා” චිත්‍රපටය තිරගත වීමට නියමිතය. එහිදී ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, තුර්කිය, පෘතුගාලය, නේපාලය හා හොංකො යන රටවලට අයත් සිනමාපට 08 ක්, “යාත්‍රා” සමග උළෙලේ පිරිනමන ඉහළම සම්මානය වන “ගෞතම බුදුන් සම්මානය” (Gautama Buddha Award) සහ “දොන් කුවික්ඔට් සම්මානය” (Don Quixote Award) වෙනුවෙන් තරග වදී.

2018 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කළ නේපාල අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට නියමිත තෙවෙනි ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය “යාත්‍රා” වේ. මීට පෙර 2018 වසරේදී ජයශිකා පද්මසිරිගේ “දිය කිඳුරියන්ට ඇබෑර්තු ඇත” සහ 2019 වසරේදී ලලිත් රත්නායකගේ “විෂම භාග” යන සිනමාපට උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය යටතේ තිරගත විය. එහිදී “විෂම භාග” ජූරියේ තේරීම් සම්මානයෙන් (Jury’s Choice Award) පිදුම් ලැබීමට සමත් විය.

2020 වසර තුළදී ඇමෙරිකාව, භූතානය, ඉන්දියාව හා රුසියාව ආදි රටවල පැවති විවිධ ස්තරයේ අන්තර්ජාතික සිනමා සම්මාන තරග උළෙල (Festivals of International Film Awards Competitions) නියෝජනය කරමින් “යාත්‍රා” චිත්‍රපටය මේවන විට සම්මාන 05 කට පාත්‍රව තිබුණද, අන්තර්ජාතික සිනමා උළෙලක් (International Film Festival) නියෝජනය කිරීමට “යාත්‍රා” චිත්‍රපටය සුදුසුකම් ලද පළමු අවස්ථාව මෙය වේ.

අරුණ ජයවර්ධනගේ තිරපිටපතකින් නිර්මාණය වූ “යාත්‍රා” , රුවන් ජයසිංහගේ හා ශ්‍රීයානි අමරසේනගේ නිෂ්පාදනකි. ශ්‍රියානි අමරසේන, ශ්‍රියන්ත මෙන්ඩිස්, ක්ලීටස් මෙන්ඩිස්, ලක්ෂ්මන් මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය, සෙනාලි ෆොන්සේකා, සාරංග දිසාසේකර, පබෝදා සංදීපනී, දිනෙත් ද සිල්වා, සඳුන් විජේසිරි, උදාරි පෙරේරා, ඉන්දික මදුරගේ, කුමුදු නිශාන්ත හා ලිලානි පෙරේරා යන අයගේ රංගනයෙන් හැඩවෙනවා.

“යාත්‍රා” හී කැමරාකරණය අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගෙනි. සංස්කරණය හා වර්ණ සංයෝජනයෙන් මේඝ කාවින්ද කොළඹගේත්, කලා අධ්‍යක්ෂණයෙන් සුනෙත් නන්දලාලුත්, ශබ්ද සැලසුම්කරණයෙන් ඩිරාන් විජයසිංහත්, නිෂ්පාදන කළමණාකරණයෙන් සෝමදාස මල්දෙණියත්, අංග රචනයෙන් ඉන්දික උදාර ලංකාත්, සහාය අධ්‍යක්ෂණයෙන් අජිත් ලොකුගේත්, සංගීත අධ්‍යක්ෂණයෙන් නවරත්න ගමගේත්, ගීපද රචනයෙන් බණ්ඩාර ඇහැළියගොඩ හා වසන්ත කුමාර කොබවකත්, පසුබිම් ගායනයෙන් නෙලූ අධිකාරි හා ඉන්දිකා උපමාලිත් “යාත්‍රා” චිත්‍රපටයට දායකත්වය ලබාදී ඇත.

  • සටහන: උදිත ලක්මාල් කහඳවආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *