බොලිවුඩයෙන් හොලිවුඩයට ගිය ලංකාවේ ජැකලින්

ශ්‍රී ලාංකික නිරූපිකාවක හා නිළියක වන ජැකලින් ෆර්නැන්ඩස් බොලිවුඩ් සිනමාව ජයගත්තේ 2009දී. නිරූපණ කොන්ත්‍රාත්තුවක් මත මුම්බායි වෙත පැමිණි ඇයට සුජෝයි ගොෂ් විසින් අධ්‍යක්ෂණය කරන ලද බොලිවුඩ් චිත්‍රපටයක් වන ඇලඩින් චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව හිමිවුණා.

මේ වනවිට ඇය බොලිවුඩයෙන් හොලිවුඩ් සිනමාවටද එක්වෙලා. බ්‍රිතාන්‍ය සිනමාකරුවකු වන ජේම්ස් සිම්සන් අධ්‍යක්ෂණය කළ ඩෙෆිනිෂන් ඔෆ් ෆියර් චිත්‍රපටයේ ඇය නිරූපණය කරන්නේ සාරා ෆෝර්ඩිං නමැති මනෝවිද්‍යාව හදාරන සිසුවියකගේ චරිතයක්.

කැනඩාවේ රෑගත කළ මෙම චිත්‍රපටය පසුගිය වසරේ ඉන්දියාවේද ප්‍රදර්ශනය කෙරුණා. ලොව පුරා විවිධ සිනමා උළෙලවලදී ප්‍රදර්ශනය වූ එම චිත්‍රපටයට විචාරක පැසසුම්ද හිමිව තිබෙනවා.

1985 අගෝස්තු 11 වැනි දින බහරේනයේ මනමා හි උපත ලද ජැකලින්ගේ පියා එල්රෝයි ෆර්නැන්ඩස් නමැති බර්ගර් ජාතික ශ්‍රී ලාංකිකයෙක්. මව කිම් මැලේසියානු හා කැනේඩියානු සම්භවයක් සහිත කාන්තාවක්. ඇගේ මවගේ සීයා කැනේඩියානු ජාතිකයෙකු වන අතර ඇගේ පියාගේ ආච්චිලා සීයලා ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේ වැසියන්. සංගීතඥයකු වූ ඇගේ පියා 1980 දශකයේ දී බහරේනයට සංක්‍රමණය වූ බැවින් ජැකලින් උපන්නේ එහියි. ජැකලින් වැඩිමහල් සහෝදරියක් සහ වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් සිටින දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා.

බහරේන්හි මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසු ඇය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය හැදෑරුවාය. උපාධිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි ජැකලින් මෙරට රූපවාහිනී නාලිකාවක වැඩ සටහන් ඉදිරිපත් කළා.. ඇය ස්පාඤ්ඤ, ප්‍රංශ සහ අරාබි භාෂාවද ප්‍රගුණ කර තිබෙනවා

යොවුන් වියේ සිටම ඇගේ ආසාව වූයේ සිනමා නිළියක වීමයි. හොලිවුඩ් සිනමා තාරකාවක වීමට සිහින මැවූ බව ඇය මාධ්‍යයට පවසා තිබුණා. රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස කටයුතු කරන අතරම නිරූපණ ක්ෂේත්‍රයටද ඇය එක්වූයේ ඇගේ සිහිනය ජයගැනීමේ අදිටනින්. 2006දී ලොස් ඇන්ජලීස්හි පැවති ලෝක විශ්ව රූ රැජිණ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඇයයි. 2006 දී ඇයට භාතිය සහ සන්තුෂ්ගේ සංගීත වීඩියෝවක පෙනී සිටීමටද අවස්ථාව හිමිවුණා.
ඇය බොලිවුඩ් සිනමාවට එක්වූයේ සුජෝයි ගෝෂ්ගේ &ඇලඩින්* චිත්‍රපටයෙන්. 2009 දී තෙළිඟු චිත්‍රපටයකටද එක් වූ ඇයට ඉන්දියාවේ සුප්‍රකට නළුවක් රුසක් සමඟ රඟපෑමට වරම් ලැබුණා.

2014දී ඇයට සජිඩ් නාදියාවාලා අධ්‍යක්ෂණය කළ කික් නමැති ක්‍රියාදාම චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව හිමි වුණා. ඇය රඟපෑ හවුස්ෆුල් 2 චිත්‍රපටය ලොව පුරා ජනප්‍රිය වූ අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 3.75 ක ආදායමක් උපයමින් බොලිවුඩයේ වැඩිම ආදායමක් උපයාගත් සිව්වන චිත්‍රපටය බවට පත් වුණා. එය ජැකලින් බොලිවුඩයේ ජනප්‍රිය නිළියක ලෙස ස්ථාවර කළ චිත්‍රපටයයි.

ඇලඩින්, ජනේ කහන් සේ ආනේ හායි, හවුස්ෆුල්, මර්ඩර් 2, හවුස්ෆුල් 2, රේස් 2, රමයා වතාවයා, කික්, රෝයි, බන්ගිස්ථාන්, බ්‍රදර්ස්, හවුස්ෆුල් 3, ඩිෂුම්, අ ජෙන්ට්ල්මන්, ජුඩ්වා 2, බාගි 2, රේස් 3, සහු, ඩ්‍රයිව්, රාද් බච්චන් පාන්ඩේ වැනි බොලිවුඩ් චිත්‍රපට රැසක රඟපෑවා.. මෙම චිත්‍රපටවලින් වැඩි ප්‍රමාණයක් තිරගතවීමට නියමිතව ඇත්තේ 2022 සහ 2023 වසරවලයි. ඇය ශ්‍රී ලාංකික චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑවේ චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය අකෝඩිං ටු මැතිව් චිත්‍රපටයේ. එය මෙරට සිදුවූ ප්‍රසිද්ධ මිනිමැරුම් නඩුවක් වූ මැතිව් පීරිස් හා ඩැල්රින් ඉංග්‍රම්ගේ කතාව පාදක කරගනිමින් නිර්මාණය වූ චිත්‍රපටයක්.

2020 අවසානයේ ඇය සතු සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ලෙස ගණන් බලා තිබෙනවා.. වැඩිම ගණනක් අය කරන බොලිවුඩ් නිළියන් අතර ඇය සිටින්නේ 16 වැනි ස්ථානයේ. ඇය චිත්‍රපටයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 3.5ක් අයකරනවා. වැඩිම මුදලක් අය කරන බොලිවුඩ් නිළිය ලෙස ඉදිරියෙන්ම සිටින්නේ දීපිකා පදුකෝන්. ඇය චිත්‍රපටයක් සඳහා ඉන්දියානු රුපියල් කෝටි 29ක් අයකරනවා.

රංගන දිවියට සමගාමීව ජැකලින් Jhalak Dikhhla Jaa නමැති ඉන්දියානු නර්තන රියැලිටි වැඩසටහනේ විනිශ්චයකාරවරියක ලෙස කටයුතු කර ඇති අතර විවිධ වෙළඳ නාම සහ නිෂ්පාදන සඳහා වන වෙළෙඳ දැන්වීම්වලටද පෙනී සිටිනවා. සංදර්ශන වැඩටසහන්වලට මෙන්ම මානුෂීය වැඩසටහන් සඳහාද තම දායකත්වය ලබාදෙනවා.

  • ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
    දේශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *