“රූකඩ පැංචි” නැවත වරක් රිදී තිරයට

වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ සොහොයුරන්ගේ නවතම සිනමා නිර්මාණය වන රූකඩ පැංචි පසුගිය වසරේ සැප්තැම්බර් 24 වනදා සිට තිරගත වීම ආරම්භ වුණා.

කෙසේ වෙතත් පවතින කොරෝනා වසංගතය නිසා සිනමා ශාලා වැසීමට සිදු වීමත් එක්කම තිරගත වීම ආරම්භ වූ සැණින් නැවත සිනමා ශාලා විවෘත වන තුරු තිරගත වීම නතර වූ සිනමාපට අතරට රූකඩ පැංචිත් එකතු වුණා.

අන්කල් ලුවී ගේ කානිවල් එකේදී පුංචි පැංචි එක්ක ඇතිවන බැඳීම එක්ක ගලා යන අපූරු සුන්දර කතා පුවතක් තමයි රූකඩ පැංචි චිත්‍රපටයට වස්තු විෂය වී තිබෙන්නේ.

ඒ අනුව, නැවත වරක් තිරගත කිරීම් අරඹන “රූකඩ පැංචි” අද (පෙබරවාරි 4 වැනිදා) සිට දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත කිරීමට නියමිතයි.

අන්කල් ලුවී ලෙසින් ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි, දිල්හානි අශෝකමාලා, ධනංජය සිරිවර්ධන, උමාලි තිලකරත්න, බන්දුල විජේවීර, දයාදේව එදිරිසිංහ, නිරෝෂන් විජේසිංහ මෙන්ම ප්‍රවීන රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකාගේ තුන්වන පරම්පරාවේ නියෝජනයක් වන ළමා නිළි කුශේන්යා ෆොන්සේකා ද, ළමා නළු ලක්ෂිත දේශාන් ද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත වෙනුවෙන් රංගන දායකත්වය සපයා තිබෙනවා.

එසේම, පාසල් විදුහල්පතිනියගේ චරිතයට පණ පොවමින් ප්‍රවීන රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා එහි ආරාධිත ගරු රඟපෑම් සඳහා එක්වී තිබුණි.

පවුලේ සිනමාපටයක් වන “රූකඩ පැංචි” හි ගේය පද රචනය සහ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සිදු කර ඇති අතර සිනමා කෘතියට ඇතුලත් මුළු ගීත සංඛ්‍යාව 6කි.

සිනමාවට ආදරය කරන ඔබට පුළුවන් අද පටන් රූකඩ පැංචි යළි රිදී තිරයේ නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *