දිග කතාවක් කියන කෙටි චිත්‍රපටයක්.

‘Freedom @ Midnight’ (2021)

මලයාලම් සිනමාව කොයි අතින් බැලුවත් බොහෝ දේවලින් ඉදිරියෙන් ඉන්නා කර්මාන්තයක්. බොහෝ විට මේ මායාව සිද්ධ වෙන්නෙ එක් කුඩා සිදුවීමක් පාදක කරගෙන ඉන් මහා නිර්මාණයක් ඉතා සරලව ඉදිරිපත් කිරීමෙන්. මේ තියෙන්නෙ එහෙම හදපු කෙටි චිත්‍රපටයක්. නමුත් අසීමිත ජනප්‍රියත්වයක් හිමි කර ගත්තක්. රහස තමයි අර මැජික් එක. පොඩි දේකින් ලොකු දෙයක් පෙන්වීමක්.

මුලින්ම පොඩි අනතුරු ඇඟවීමක් නම් කරන්නම වෙනවා මේ සම්බන්ධයෙන් නම්. මෙය නරඹන පුරුෂ පක්ෂයේ ඔබ විවාහකයි නම්, ඔබේ බිරිඳත් සමඟින් එකට ඉඳගෙන මෙය නරඹන්න එපා. මොකද කතා තේමාව වහා ගිනි ඇවිලෙනසුලුයි, ඕනෑම මොහොතක පුපුරා යා හැකි කාල බෝම්බයක් බඳුයි.

නමුත් ඒ භයංකර වාතාවරණය බලපාන්නේ ඊට සෘජුවම අදාළ වන පාර්ශ්වයකට පමණයි. ඔබ “ඊට” අදාළයි නම්, ඇය ඒ බව දන්නවානම්, දෙයියන්ගෙම පිහිටයි. එතකොට මෙය නරඹන කාන්තා පක්ෂයේ ඔබ විවාහකයි නම්, අනිවාර්යයෙන්ම ඔබේ සැමියාත් සමඟින් එකට ඉඳගෙනම මෙය නරඹන්න.

නරඹන අතරේම ඔහුව රහසින් අධ්‍යයනය කරන්න. චිත්‍රපටයෙන් කියනා කිසියම් දෙයක් හෝ සම්බන්ධයෙන් ඔහුගේ අදාලත්වයක් ඇති බවක් හැඟේ නම් කලබල නොවී අවසානය තෙක් ඉවසීමෙන් රැඳී ඉන්න.

අනවශ්‍ය වැල්වටරමක් වගේ දේවල් සඳහන් කළාට ඇත්තටම ඕක තමා මින් ඇතිකරවන වාතාවරණ නම්. මිනිත්තු 30 ට ත් අඩු කාලයකදී ඔබේ විවාහ දිවිය උඩුයටිකුරු කරවනා මට්ටමේ බලසම්පන්න බවක් මෙය සතුයි. ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් ඔබ විවෘත මනසකින් හෙඹි තැනැත්තෙක් වුවත් මින් ජනිත කරවනා අනපේක්ෂිත කම්පනයක් ඔබට දැනෙන්නට ඉඩ තිබෙනවා.

ප්‍රධාන වශයෙන්ම මේ මිනිත්තු 30 කට අඩු කාලය තුළ දකින්නට ලැබෙන්නේ අඹුසැමි යුවලක් අතර සිදුවන වාදයක් පමණයි. නමුත් ඒ වාදය ඇතුළේ ඔබේ යුග දිවියේ ස්ථාවරත්වයට බලපානා සියලුම දේ අන්තර්ගත විය හැකියි.

චිත්‍රපටයේ කතා තේමාව සම්බන්ධයෙන් කිසිම විස්තරයක් ඉදිරිපත් නොකර වෙන වෙන බයිලා ගොඩක් මේ කියන්නේ ඇත්තටම මින් ඉදිරිපත් කරනා තර්ක විතර්ක වල තමන්ට අදාළ කොටස තමන් විසින්ම තේරුම් බේරුම් කරගන්නට ඉඩ සලසා දෙමිනුයි.

හොරර් චිත්‍රපටයක ආකාරයෙන් ආරම්භයේ ඉඳන් අවසානය තෙක්ම පියවරෙන් පියවර ඉදිරියට ඇදෙමින්, ඊළඟ මිනිත්තුව තවත් තීරණාත්මක කරවනා අමුතුම කුතුහලයක් රඳවමින්, අතිශය නිර්දය ලෙස පහර පිට පහර ගසනා වාග් සංග්‍රාමයකින් සමන්විත මේ විප්ලවීය මලයාලම් සිනමා අත්දැකීම ඔබ ලැබිය යුතුම එකක්.

නමුත් මුලින් සඳහන් කළ උපදෙස් මාලාව පිළිපැදීම නම් ඔබ සතු වගකීමක්.

  • සටහන සිනමාවේදීන් – The Cinema People පිටුවෙන්, ලක්ෂ්මන් අරංවල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *