බොලිවුඩයේ සුන්දරත්වය හෙළවුඩයට ගෙන එන “ආදරණීය ප්‍රාර්ථනා”

සිනමාව දිහා සුබවාදී සිතුවිල්ලෙන් බලන, සිය කුළුදුල් නිර්මාණය සමඟ පෙරට එන්න මග බලා සිටින නිර්මාණකරුවෙක්ගේ නිර්මාණයක් ගැනයි මේ කතාව.

මේ සිනමා නිර්මාණය “ආදරණීය ප්‍රාර්ථනා” මේ නිර්මාණයේ නැවුම් බව මේ වෙද්දී අන්තර්ජාලය හරහා නිකුත් කර ඇති පුර්ව ප්‍රචාරක පට හා තේමා ගීතය ඔස්සේ දකින්නට පුළුවන්.

සැබවින්ම “ආදරණීය ප්‍රාර්ථනා” ලාංකීය සිනමාවට නැවුම් වූ අත්දැකීමක් වනු නොඅනුමානයි.

මේ නිර්මාණය තුලින් ලාංකීය සිනමා නාමාවලිය අතර අධ්‍යක්ෂකවරුන්ගේ නාමාවලියට එකතු වන අලුත්ම නාමය වාසව බදුගේ.

වාසව කියන්නේ මාතර රාහුල විද්‍යාලයෙන් සිප් සතර හදාරා ඉන් පසු 2006දී ඔස්ට්‍රේලියාවට ගිහින් BA Maultimedia උපාධිය ලබා ගන්නවා. ඒ තුලින් චිත්‍රපට රූපවාහිනී දෙඅංශය ගැනම ඉගෙන ගෙන ඊට පස්සේ 2011 දී ලංකාවට ඇවිල්ලා ඇවිත් ගීත රූප රචනා පැත්තට යොමු වෙලා හීනයක් වෙලා තිබුණු චිත්‍රපටයක් කරන්න ඕනේ කියන අදහස හැබෑ කරගත්ත තාරුණ්‍යයේ පසුවන නිර්මාණකරුවෙක්.

වාසව කියන විදියට මේ නිර්මාණයට මුලික වෙන්නේ ෂෙහාන් ගලහිටියාව සහ යසස් මැදගෙදර. ඒ ගීත රූප රචනා කලාව තුලින් කලක් තිස්සේ ඇතිව තිබෙන මිතුදම් බැඳීමත් එක්ක. මේ තුන් දෙනාගේම සුසංයෝගයෙන් මීට වසර එකහමාරකට විතර කලින් කෙටි චිත්‍රපටයක් කරනවා. එය වෙනස් වෙන්නේ ගීතමය කෙටි චිත්‍රපටයක් නිසා. ඒ සංසාරි ගීතමය කෙටි චිත්‍රපටය.

ඉන් පසුව තමා “ආදරණීය ප්‍රාර්ථනා” නිර්මාණය වෙන්නේ. දැනට එළිදක්වා තියෙන ගීතය සහ ටිසර් එක දකිද්දී නම් හිතෙන්නේ බොලිවුඩ් සිනමා නිර්මාණයක ප්‍රති නිර්මාණයක් දෝ කියා. එතරම්ම බොලිවුඩ් සිනමාපට වල තිබෙන වර්ණවත් බව සහ හැඩයක් මේ නිර්මාණය සතුයි. එය එසේ යැයි හැඟුනත් මෙය කිසි විටෙක තවත් සිනමා කෘතියක ප්‍රති නිර්මාණයක් නම් නොව.

වාසව බදුගේගේ කතාව සිනමාවට තිර රචනා කරන්නේ මලිදු ගජධීර සහ රංගනාත් වීරසිංහ විසින්. මෙය ආදර කතාවක්. පදනම් වෙලා තියෙන්නේ සාමාන්‍ය ජිවිතේ මුහුණ දෙන ආදර කතා තුල තියෙන සංවේදී සහ සංකීරණතා. අපි ආදර සම්බන්ධයක් දිහා බලලා අරයා වැරදියි මෙයා හරි කියලා කිව්වට ඒ ඒ චරිත පැත්තෙන් ඇතුලාන්තයෙන් හිතුවොත් කවුරුත් වැරදි නැති වෙන්න පුළුවන්. ඒ ඒ අවස්ථාව හැටියට තමයි ඒක තීරණය වෙනෙන්. එවන් වූ හිතට දැනෙන තමන්ගේ කියා හැඟෙන ආදර කතාවක් තමයි “ආදරණීය ප්‍රාර්ථනා”.

ඒ වගේම මෙය සංගීතමය චිත්‍රපටයක්, ඔබට මතකනේ 70/80 දශක වල නිර්මාණ වුණු චිත්‍රපට වල බොහොමයක් ගීත අඩංගු චිත්‍රපට. මෙයත් ඒ වගේමයි සම්පුර්ණ චිත්‍රපටයේ ගීත 8ක් තියෙනවා. චිත්‍රපටයේ ධාවන කාලයෙන් විනාඩි 40ක්ම වෙන් වෙන්නේ ගීත වලට. මේ සියළු ගී ලියන්නේ ෂෙහාන් ගලහිටියාව. ඒ වගේම එක ගීතයක් සංගීතවත් කරමින් ගයන්නේ භාතිය සන්තුෂ් වන අතර අනෙක් ගී 7ම සංගීතවත් කරන්නේ යසස් මැදගෙදර. යසස් කියන්නේ අපේ ප්‍රවීන ජේෂ්ඨ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර මහතාගේ පුතා.

මෙහි ප්‍රධාන චරිත මවන්නේ රාහුල් වරාවිටගේ ශනුද්‍රි ප්‍රියසාද් සහ නෙත්මි රොෂෙල්. වාසව නම් කියන විදියට රාහුල් වෙනුවෙන් ඔහුව හිතේ තියාගෙන තමාලු මේ චිත්‍රපටයේ කතාව ලිව්වේ. ඒ වගේම චරිත තෝරා ගැනීම කරද්දී ප්‍රවීන කියන අයට වඩා ඕනේ වුණේ චරිතයට සාධාරණයක් කරන්නේ කවුද කියන එකලු. ඒ අනුව තමා ශනුද්‍රි සහ නෙත්මි චරිත වලට තෝරා ගෙන තියෙන්නේ. ඒවගේම මේ සිනමා නිර්මාණයට දායක වෙලා ඉන්න අයගෙන් සියයට අනුවකගේම කුළුදුල් චිත්‍රපටය කියලත් වාසව කියනවා.

කොළඹ අවට සහ ලංකාවේ විවධ දර්ශනීය පෙදෙස් වල රූ ගැන්වූ මේ සිනමා නිර්මාණයේ තව 20%ක් විතර ඕස්ට්‍රේලියාවේදී රූ ගත කිරීමට නියමිතව තිබුණත් ඇතිවූ වසංගත තත්ත්වය නිසා ඒ සියල්ලත් ලංකාවටම සිමා කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් කොහොම හරි චිත්‍රපටයේ සියළු රූ ගැන්වීම් අවසන් ව තිබෙනවා.

කාලයක් තිස්සේ හිතේ තිබුණු නිර්මාණය කරලා තිරගත කරන්න වෙන්නේ කවදද කියන එක තවම ප්‍රශ්නාර්ථයක්. හැබැයි වාසව කියන්නේ නම් අභියෝග වලට මුහුණ දෙන්න බය නැහැ. මේ පොදු අභියෝගය සෑම නිර්මාණකරුවෙක්ටම තියෙන නිසා කාලයට ඉඩ දීලා තිරගත කරන්න සුදුසු වාතාවරණය ආවම ප්‍රේක්ෂකයාට භාර කරනවා කියලා. ඒ වගේම කාලයත් එක්ක ලාභ ලබන්න බැරි වෙයි. නමුත් හොඳ නිර්මාණයක් කරලා මිනිස්සු අතරට යන්න ඕනේ.
ඒකම ඔවුන් ලබන ජයග්‍රහණයක් කියලයි කියන්නේ.

මේ සිනමා නිර්මාණය නිෂ්පාදනය කරන්නේ අශාන් කන්නන්ගර, යසස් මැදගෙදර සහ වාසව බදුගේ. ලැබෙන ප්‍රතිලාභ බලන්නේ නැහැ මෙය සිනමාවට ප්‍රවේශ වෙන්න හොඳ පියවරක් විදියට දකින බව තමා වාසව නම් කියන්නේ. දැනට නිකුත් කර ඇති සින්දුවට ලැබෙන ප්‍රතිචාර එක්ක ආරම්භය සුබ බව හැඟෙන බවත්. අවසානයේ කුමක් වුවත් මේ පළමු සහ අවසාන සිනමා නිර්මාණය නොවන බවත් ඉඳුරාම ඔහු කියනවා. තව බොහෝ නැවුම් තේමාවන් රැසක් නිර්මාණ බවට ලාංකීය සිනමාවට දායක කරන්න තමා ඔහු උත්සහ දරන්නේ.

ඒ එක්කම ජනවාරි මාසයේ දී තව සින්දු දෙකක් එළිදක්වන්න සහ පෙබරවාරි 14 ආදර වන්තයින්ගේ දිනයට පමණක් ඩිජිටල් රිලීස් එකක් කරන්න වාසව ඇතුළු කණඩායම සුදානම් වනවා.

ඔබ මගේ ජිවිතයේ ආදර කතාව නොව…
ඔබ මගේ ආදරයේ ජිවිත කතාවයි..
“ආදරණීය ප්‍රාර්ථනා”


  • අනුෂා රණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *