U Turn කියන්නේ neat වැඩක් – ෂෙනාල් ගුණසේකර

Remake එකක් ලංකාවේදී “කොපියක්” වෙන්නේ අපේ දේ පිළිබඳව අවඥාසහගතව බැලීමේ පුරුද්දක් නිසා ද කියලා මට හිතෙනවා. නෝලන්ගේ ‘Memento’ රසවිඳි අය එහි remake වුණු මුරුගදාස්ගේ ‘Ghajini’ චිත්‍රපට දෙකම ඉතාම තදින් වැළඳගත්තා මිසක් “මේක මේ අර නෝලන්ගේ එකේ කොපියක් නේ” comment එක ලබාදුන්නේ නෑ. ටොම් කෲස් රඟන ‘Knight & Day’ රසවිඳින අය එහි හින්දි remake එක වුණු ‘Bang Bang’ බලලා රිතික්ට ලකුණු දුන්නා මිසක් “රිතික්ට ටොම් කෲස් වෙන්න බෑ” comment එක ලබාදුන්නේ නෑ.

ලංකාවේ සිනමාවට අපේ පරම්පරාව, අලුත් පරම්පරාව පසුගිය කාලය පුරා ලැදි නොවුණු තරම්. ඊට හේතු කාරණා වුණේ අපේම වැරදි. මං YouTube එකේ කරන ‘දහයාමාර’ සිනමා විචාර වීඩියෝ වලදී එන ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තමයි “අයියේ මේක download කරන්න link එකක් තියෙනවා ද” කියන comment එක. ඒ චිත්‍රපට ඒ වන විට තිරගත වෙමින් තිබුණු Hollywood නිර්මාණ වෙලත් ශාලාවට ගිහින් බලන්න ඇතැම් වෙලාවට ලාංකේය ප්‍රේක්ෂකයා පෙළඹෙන්නේ නෑ.

“ප්‍රවේශපතක් මිල දී ගෙන සිනමාශාලාවට ගිහින් බලන්න තරම් ලංකාවේ නිර්මාණ කොහෙත්ම වැඩක් නෑ” කියන මතය කුඩු කරන්න නිර්මාණකරුවෝ මේ මොහොතේ වෙමින් පවතින මහන්සිය අගය කළ යුතුයි. එහි තවත් පියවරක් ලෙස වෙනදාට කැමරා අධ්‍යක්ෂණයෙන් මුණගැසෙන ප්‍රවීණයා චන්න දේශප්‍රිය ප්‍රථම වතාවට සිනමා අධ්‍යක්ෂ පුටුවේ අසුන් ගන්නවා, ‘U-Turn’ වෙනුවෙන්.

‘U-Turn’ සිංහල චිත්‍රපටය remake එකක්. 2016 දී කන්නඩ බසින් නිමැවෙන මුල් නිර්මාණය 2017 දී ‘Careful’ නමින් මලයාලම් බසින්, 2018 දී එකම නිෂ්පාදනයක් ලෙස තෙලෙගු සහ දමිළ බසින් නිර්මාණය වුණු, horror ශානරයේ වැඩක්. හොඳ පැසසුම් ලැබුණු වැඩක්. බොහෝ දෙනෙක් හිතන්නේ remake එකක් නිර්මාණය කිරීම ලේසියි කියලා. මොකද ආදර්ශ නිර්මාණයක් තියෙනවා මුල සිටම remake එක පෙළගස්වන්න. මං හිතන්නේ remake හදන එක අවදානම්. මින් පෙර නිර්මාණය නැරඹූ ප්‍රේක්ෂකයා අනිවාර්යයෙන්ම remake එක original එක හා සංසන්දනයක නිරත වෙනවා. ඒ අසීරු අභියෝගය ජයගන්න ‘U-Turn’ සමත් වී තිබෙන බව කියන්න පුළුවන්.

රාත්‍රී කාලයේ රූගත කිරීම් වලදී ආලෝකකරණය ගැන තව සැළකිලිමත් වූවා නම් යන්න අදාළ දර්ශනවලදී මට පෙනුණු කාරණයක්. ද‍ර්ශනවල continuity ගැටලු ඉතාම අවම මට්ටමක පැවතීම සාධනීය කාරණයක්.

හඳුන්වාදෙන නිළියක් ලෙස චානුගේ රංගනයත්, දායක වූ නිර්මාණ අතුරින් තිරගත වන පළමු නිර්මාණය ලෙස ගම්‍යාගේ රංගනයත් ප්‍රශංසනීයයි. තුමිඳු, බිමල්, කවදත් නිර්මාණයකට එකතු කරන අවබෝධ අනුගත රංගනය ‘U-Turn’ හැඩ කිරීමටත් එක් වී තිබෙනවා. පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස දයාදේව එදිරිසිංහගේ රංගන දායකත්වය ප්‍රවීණත්වය ඔස්සේ ලැබුණු දෙයක්. තමන් විහිළුවක් නොවී ප්‍රේක්ෂකයා හිනස්සන්න ඔහු සමත්.

හේමාල් පණ පොවන පොලිස් නිලධාරි චරිතය ගැන මට විශේෂ යමක් හිතුණා. අපිට බැරිද හේමාල් නිරූපණය කරන ආකාරයේ පොලිස් පර්සෝනාවක් යොදලා ‘Singham’, ‘Dabangg’, ‘Simbaa’ වර්ගයේ සිනමා නිර්මාණයක් කරන්න? බෙනට් රත්නායක මහතා අධ්‍යක්ෂණය කරන්න නියමිතව තිබුණු පොලිස් නිර්මාණයක් පොලිසියේ කීර්තියට හානි වන හෙයින් පොලිසියේ මැදහත් වීමෙන්ම කලකට පෙර වාරණයට ලක් වුණා. නමුත් ඉන්දියාවේ පොලිසියේ වැරදි ඉන්දියාවේම චිත්‍රපට වල නිරූපණය වෙන ආකාරය ගැන ඉන්දීය පොලිසිය උරණ වෙන්නේ නෑ.
මෑත කාලයේ ලාංකේය සිනමාවේ පොලිස්කාරයා ජෝක් එකක් ලෙස සමාජගත වී තිබෙන නිසා ක්‍රියාදාම පොලිස් නිර්මාණයක, හරිහමන් cop movie එකක අඩුව ඉක්මනින් පිරවෙනවා නම් එය ඉතා වටිනවා.

සමස්තයක් වශයෙන් ‘U-Turn’ කියන්නේ neat කියන්න පුළුවන් production එකක්. පෙර නිර්මාණ නරඹා නැති අය ළඟම සිනමාශාලාවට ගිහින් ‘U-Turn’ රසවිඳින්න. හොඳ සිනමා අත්දැකීමක් ඔබට ලැබේවි. පෙර නිර්මාණ නැරඹූ අය, සංසන්දනය කිරීම පැත්තක තියලා ‘U-Turn’ බලන්න.
ලාංකේය සිනමාව ආපස්සට ගිය ගමනට U-Turn එකක් ගහන්න පුළුවන් නිර්මාණ මතු වෙමින් තියෙනවා.

U Turn.
බලන්න හොඳ horror චිත්‍රපටයක්.

– ෂෙනාල් ගුණසේකර –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *