මීයෙක් කළ හදියක්… ‘Monster’ දෙමළ චිත්‍රපටය ගැන ජෙගන් ලියයි…

කිසිදු සත්ත්වයෙකුට හිංසා නොකළ යුතුයි යන මතය දරමින් ජීවත් වෙන පුද්ගලයෙකු මීයෙකු නිසා කොයි තරම් කරදර විඳිනවා ද අවසානයේදී ඔහු ඒ මීයා මරා දැමීමට පවා තීරණය කරනවා. ඒ හා බැඳුණු කතාවයි නෙල්සන් වෙන්කටේෂ්ගේ අධ්‍යක්ෂණයෙන් එස් ජේ සූර්යයා කරුණාගරන් හා ප්‍රියාබවානි ශංකර් ගේ රංගනයෙන් පසුගියදා තිරගත වු චිත්‍රපටිය ‘මොන්ස්ටර්’.

අපගේ ප්‍රධාන නළුවා විදුලිබල මණ්ඩලයක සේවය කරන කෙනෙකි. කල වයස පැන ඇති ඔහුට ජීවත් වන්න නිවසකුත් නැත. විවාහ යෝජනා බලන්න යන තැන්හිදී ඔහුගෙන් විමසන පළමු ප්‍රශ්නය වන්නේ ද නිවසක් තිබේදැයි යන්නයි. ඒ නිසාම ඔහු තමන්ට කියා නිවසක් ගැනීමට තීරණය කරනවා. අලුත් නිවස බැලීමට ගිය පසුව ඔහුට මීට පෙර යෝජනා කර තිබු තරුණිය ඇමතුමකින් ඔහුට කැමති බව අඟවනවා. මෙම නිවසේ වාසනාව යැයි සිතු ඔහු විසින් නිවස මිලදී ගනු ලබන්නෙත් මීයෙකුත් සමගයි. ඉන් පසුව මොකක්ද වුණේ කියන එකයි මේ චිත්‍රපටියේ කතාව වන්නේ.

අපේ සිත තුළ තිබෙන කතාව ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් කීමට හෝ ලියා පෙන්වීමට හැක. නමුත් එය චිත්‍රපටියකට නැගීම ඉතා අපහසු කරුණකි. නමුත් මෙහි අධ්‍යක්ෂකවරයා ඔහුගේ මනසෙහි තිබු කතාව එලෙසම රූගත කර තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි චිත්‍රපටියක සතුන් වෙනුවෙන් ග්‍රැෆික් භාවිත කළ ද මෙම චිත්‍රපටියේ සැබෑ මීයෙකු භාවිත කර තිබීම විශේෂත්වයක් විදිහට දැකිය හැකියි. (ආරංචි මාර්ග) මේ චිත්‍රපටියේ වැඩි ප්‍රශංසාව හිමිවිය යුත්තේ කැමරා අධ්‍යක්ෂක ගෝකුල් හටයි. සමහර දර්ශන ඔහු කෙසේ රූගත කරාද කියා සිතාගන්නටත් නොහැකිය. මීයෙකුගේ දර්ශන පථය කෙසේ තිබේද යන්න පවා ඔහුගේ කැමරා කර තිබුණා.

කවුරුත් දන්නා පරිදි එස් ජේ සූර්යා යනු අද්විතීය නළුවෙකි. වයස අවුරුදු 50ක පුද්ගලයෙකුගේ රංගනය අතිවිශිෂ්ඨ මට්ටමක තිබුණා යැයි කීමට හැක. සමහර ජවනිකාවල මීයා නොසිටියත් එම ස්ථානයේ ඌ සිටින අයුරින් රඟ දැක්විය යුතුව තිබුණා. ඒවා ඔහු විසින් රඟ දැක්වූ ආකාරය උසස් මට්ටමකි තිබුණා . තව ද සමහර අවස්ථාවලදී කයෙන් නොව ඇස්වලින් පමණක් ඔහු රංගනයක නිතර වුණා. මීට අමතර ප්‍රියාභවානිට හිමි චරිතය ඇය ද ඉතා අලංකාරවත් අයුරින් නිරූපණය කර තිබුණා. සාමාන්‍යයෙන් මෑතකදී තිරගත වූ බොහෝ චිත්‍රපටිවල නිළියව යොදාගෙන තිබුණේ කතාවට නිළියක් නොමැතිව බැරි තරමටය. නමුත් මෙම චිත්‍රපටියේ එය එසේ නොවිය. ඇයත් සූුර්යාත් එකට කතාවෙහි ගමන් කළෝය.

සාමාන්‍යයෙන් විකට චරිත නිරූපණය කරන කරුණාගරන්ගේ වෙනස්ම රංගනයක් දැක ගත හැකි විය. දෙපිට කැපෙන වදන් එහෙම අඩුවෙන් භාවිත කර තිබුණා. කරුණාගරන්ගේ දෙබස පවා ඉතා කෙටිය නමුත් ඒ තුළ අන්තර්ගත ව තිබු කරුණු ගැන මදක් සිතා බැලිය යුතු අයුරින් තිබුණි.

මේ චිත්‍රපටියේ සංගීතය සම්බන්ධයෙන් ද යමක් කිව යුතුයි සාමාන්‍යයෙන් චිත්‍රපටියක සින්දුවක් අඩංගු වනවා නම් ඒවා චිත්‍රපටියට සම්බන්ධ ද යන ප්‍රශ්නය බොහෝ විට මතු වෙයි. නමුත් මෙහිදී එවැනි ප්‍රශ්නයක් මා තුළ නම් ඇති වූයේ නැත මෙම චිත්‍රපටියේ පිටපතට හා කැමරා අධ්‍යක්ෂණයට අමතරව ඉතාමත් ශක්තිමත් කරුණක් ලෙස සංගීතය පෙන්වා දිය හැක. මීයා පැමිණෙන ආකාරය පවා සංගීතය මගින් ප්‍රේක්ෂකයාට දැනෙන්නට ඉඩ හැර තිබුණා. සංගීත අධ්‍යක්ෂකවරයා විසින් එමෙන්ම මෙම තාක්ෂණික ශිල්පීන් ද තමන් වෙත පැවරුණු කාර්යය සාර්ථකව නිම කර තිබුණා යැයි කිව හැක.

මෙම චිත්‍රපටිය නරඹමින් සිටියදී මාගේ මතකයට ආවේ ‘මවුස් හන්ට්’ චිත්‍රපටියයි. එය අනුකරණය කරමිනුයි මේ චිත්‍රපටියත් නිර්මාණය කර තිබුණේ. නමුත් ඒ චිත්‍රපටියේ තරම් වස්තු හානියක් මෙහිදී සිදු නොවුණා කියා කීව හැක.

චිත්‍රපටියක දුෂ්ඨයෙකු නොමැති නම් වැඩක් නැත යන්න ඉන්දීය සිනමාවේ සම්ප්‍රදායයි. මෙම චිත්‍රපටියෙත් දුෂ්ඨයෙකු සිටියි. නමුත් සිනමා ඉතිහාසයේ දුටු වැඩක්ම නැති දුෂ්ඨයාත් ඔහුයි. ඔහුගෙන් අධ්‍යක්ෂකවරයා ප්‍රයෝජනයක් ගෙන නොමැති බවයි පෙනි යන්නේ.

අධ්‍යක්ෂකවරයා විසින් මෙහි පිටපතට තවත් බර තැබුවේ නම් අති සාර්ථක චිත්‍රපටියක් ලෙස ලොකු කුඩා සැමදෙනා අතරට යාමට හැකියාව තිබුණි.

-ජෙගන් ගනේෂන්-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *