අපි ඔබේ හඬ අනුකරණය කර විනෝද වෙමින් සංගීත සාජ්ජ , බජව් දැමූ පරම්පරාවක නොදරුවන් වන්නෙමු…

සහන් කසීර වික්‍රමසිංහගේ සටහනක්

රතු පාට මල් තාම මතක බවත් ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුණු මල් පවන තාමත් මතක බවත් පවසන්නට සිහි වන විට අප පමා වැඩිය. ඇය, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ද ඒ ලස්සනට මල් ඉහුණු මල් පවනට මුසුව ගොසිනි.

ළමා ගායිකාවක ලෙස කරුණාරත්න අබේසේකර යුගයේ ගුවන් විදුලි “සරස්වතී මණ්ඩපයෙන්” ගායන ලෝකයට පිවිසි ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ව අප හඳුනන්නේ නැත. වෑරලස් එකෙන් තමන්ගේ නම කියවෙනු අසන්නට මුළු රටක් ගුවන් විදිලියට පෝස්ට් කාඩ් ලියන යුගයක වෑරලස් එකෙන් ගී ගැයූ ළමා ගායිකාව අප හඳුනන්නේ නැත. අපේ පරපුර හඳුනාගත් ඉන්ද්‍රාණි විජේබණ්ඩාර “ආදරෙයි මම ආදරෙයි දම්මි තවමත් ආදරෙයි” යනුවෙන් ගැයුවා ය. ඉන් නොනැවතී නිමල හදැති යෞවනියක හදෙහි සුගත් කෙරෙහි හට ගත් ප්‍රේමාර්ද සිතිවිලි වලට දෝර ගලන්නට අවසර දුන්නා ය.

මවා පියකරු සිහින සිතුවම්
මතු කළා රසබර හැඟුම්
දයාවන්තය යොවුන් සිතුවිලි
රසකලා ඔබෙ නෙත් කැළුම්

ආදරණීය ඉන්ද්‍රාණි ;
අපි ඔබේ හඬ අනුකරණය කර විනෝද වෙමින් සංගීත සාජ්ජ , බජව් දැමූ පරම්පරාවක නොදරුවන් වන්නෙමු. කිසිදු ගායිකාවක් ගී ගයන්නේ නැත යන ප්‍රචාරණය යටතේ උත්කර්ෂයට නගා අමිල් තරංග ගැහැණු හඬින් ගයන ගීත කලාව උණු කැවුම් ලෙස විකුනුණු රටක ඔබේ ස්වභාවික හඬෙහි තීව්‍ර බව සිනහවට භාජනය කළ පරම්පරාවේ සාමාජිකයන් වන්නෙමු. අද වන විට අතීතකාමයේ තුවාලය කසමින් පැසවා වණ වනතුරුම පසුතැවෙන සංක්‍රාන්ති සමයක වල්මත් වූවන් වන්නෙමු.

ඉන්ද්‍රාණි විජේබණ්ඩාර හෙවත් ඉන්ද්‍රාණි සේනාරත්න ලාංකේය සංගීත ඉතිහාසය තුළ ස්ථානගත කළ යුත්තේ කොතැනදැයි යමෙක් ඇසූවේ නම් විපිළිසර වනවා හැරෙන්නට කියන්නට දෙයක් නැත. ඇය කිසි දිනෙක හෝ නන්දා මාලනී , මාලනී බුලත්සිංහල හෝ ප්‍රදීපා ධර්මදාස සමග සමපාත වන්නේ නැත. ලතා , සුජාතා , ඇන්ජලීන් සමග එකපෙළට සිටගන්නේ ද නැත. වසන්තා සන්දනායක, ජී.එස්.බී රාණි සමග හෝ අමරා , පුණ්‍යා , ඉන්ද්‍රාණි බෝගොඩ සමග සමාන වන්නේ නැත. ඇය ළමා ගායිකාවක ලෙස ඇරඹූ තම සංගීත චාරිකාව අවසාන වනතුරු ම තමාගේ අනන්‍යතාව මදකුදු වෙනස් නොකළාය.

අපි දෙන්නයි එකට එහෙ මෙහෙ ගියේ
උදයේ හවහේ සෙල්ලම් කලේ
ඔහු සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඔහු මේ ගමේ

යනුවෙන් ගැයූ ඉන්ද්‍රාණි සේනාරත්න යම් තරමකින් හෝ සමාන වූයේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාරට ම පමණි.

1956 වසරේ දී ලාංකේය සිනමාවේ හැරවුම් ලක්ෂ්‍ය ලෙස සැලකෙන “රේඛාව” චිත්‍රපටයට ගයන්නී ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ය. මර්සිලීන් ජයකොඩි පියතුමන්ගේ පෙරැත්තය නිසා ම ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ පළමු චිත්‍රපටයට එක් වන සුනිල් සාන්තයන්ගේ ගී තනු වලට ගයන්නට වරම් ලද්දා ය. “රේඛාව” ගීත පටිගත කිරීම පිණිස අයිවෝ ඩෙනිස්ගේ අධීක්ෂණය යටතේ ඉන්දියාවට යන ඉන්ද්‍රාණි විජේබණ්ඩාර නම් දැරිය සිංහල සිනමා ගීතය නවමු මානයකට යොමු කළාය.

වළාපෙළින් සැදි මුතු කුඩයක් යට
තරඟ නගා ලෙලදෙන මුහුදේ
සිඟිති දොරක් ඇති පොඩි බෙලි කටුවෙක
මුතු ඇටයක් සීරුවෙන් සැදේ

අද වන විට ප්‍රබුද්ධ කලාව සහ රසවින්දනීය උතෝපියාවන් තලු මරන පරම්පරාව එදා අත්දැකීම් බහුල වයසේ දී පවා “ඉන්දීවරියක සේ මා එනවා” යන ගී පදය “ධීවරියක සේ මා එනවා” යනුවෙන් පටිගත කළ බව දන්නේ කීයෙන් කී දෙනා ද ? එනුමුදු සිංහල සිනමාවේ ළදරු යුගයේ දී අවුරුදු විස්සක් වත් වයස නැති කෙට්ටු , කුඩා කෙල්ලක වෙනත් දේශකයට ගොස් පටිගත කළ ගීත වල පවා මර්සිලීන් ජයකොඩි පියනම ලියූ සිංහල භාෂා විලාසය නොවරදවා ඒ අයුරින්ම ගැයූ අපූරුව දකින්නේ කීයෙන් කී දෙනා ද ?

1957 ප්‍රථම දීපශිකා සම්මාන උළෙලේ දී “රේඛාව” වෙනුවෙන් හොඳම ගායිකාව සම්මානය දිනා ගත්තේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර බවත් , ඒ සම්මානය සමග ඇය එදා මෙදා තුර ලාංකේය සිනමාවේ හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ මුල් ම ගායිකාව ලෙස ඉතිහාසගත වූ බවත් දන්නේ කීයෙන් කී දෙනා ද ?

ඉන්ද්‍රාණි විජේබණ්ඩාර නමින් ලාංකේය සිනමා ඉතිහාසයේ නැගෙන කොඩි වැල් රැව් නැගී ලෙල දෙන්නට තවත් කාරණා නොමැති ද ?

1957 වසරේ තිරගත වූ “සූරයා” චිත්‍රපටය වෙනුවෙන් ගීත පටිගත කරන්නට ඉන්දියාවට යන ඉන්ද්‍රාණි විජේබණ්ඩාර තම පටිගත කිරීම් අතරතුර දකින්නේ ශබ්දාගාරය තුළ ඔබ මොබ ඇවිදින සාරියක් ඇඳගත් ඉන්දියානු දමිළ යුවතියකි. ඉන්ද්‍රාණි “හිතන්නකෝ අයියේ – දැන්වත් හැදෙන්නකෝ අයියේ” ගීතය සාර්ථක ලෙස පටිගත කර පැමිණි පසු මොහිදීන් බෙග් සූරීන් කැඩුණු සිංහලයෙන් ඉන්ද්‍රාණි පසසන්නට විය. “ඔයා හොඳ ළමයා. හොඳට කිව්වා” යනුවෙන් පවසන බෙග් මාස්ටර් ශබ්දාගාරයේ සිටි අනෙක් ඉන්දීය දැරිය පෙන්වා ඒ කවුද යයි දන්නේදැයි යොවුන් ඉන්ද්‍රාණිගෙන් ඇසූ අතර ඇය ඒ කවුද දැන සිටියේ නැත. “ඒ තමයි ජමුනා රාණි. එයාව ගෙන්නලා තිබ්බේ ඔයා සිංදුව හරියට නොකිව්වොත් ඉක්මණට එයාව දම්මලා කියන්න” බෙග් මාස්ටර් තම ප්‍රශංසාවට හේතු පැහැදිලි කළේ ය. එස් දක්ෂිණමූර්ති තමා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ චිත්‍රපට වල සිංහල ගීත සඳහා ඉන්දීය ගායක ගායිකාවන් යොදන්නට පෙළඹුණු අතර “සූරයා” චිත්‍රපටයේ ම “දුටු දා ඉඳලා පෙම් බැන්දා” ගීතය මොහොදීන් බෙග් සමග ගායනා කරන්නේ ද ජමුනා රාණි ම ය. මේ ඉන්දීය ප්‍රවණතාව සිංහල සිනමා සංගීතයට කෙතරම් බලපෑමක් එල්ල කළේ ද කිවහොත් “සැඩ සුළං” චිත්‍රපටයේ එන “ජීවන මේ ගමන සංසාරේ” ගීතයේ ළමා රැඟුම් දර්ශනයේ පද්මිණි දහනායක සමග නැසී ගිය දයා අබේසේකර රඟන ගීතයේ බාලක – බාලිකා හඬ වෙනුවෙ ගයන්නේ කේ. රාණි සමග ජමුනා රාණි මය.

ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ;
ඔබ සංගීතයේ දේශපාලනය හඳුනාගෙන නොසිටින්නට ඇත. බාගදා ඔබ විශ්ව සංගීතයේ එළිපත්ත තිබෙන දිසාව ද නොදැන සිටියා වන්නට ඇත. ප්‍රබුද්ධ සංගීත කලාවක් සහ ආනන්දයෙන් ප්‍රඥාවට යන සංගීතයක් පිළිබඳ ඔබේ උනන්දුවක් නොතිබුණා වන්නට ඇත.

නමුත් ඔබ අවැසි යුගයක , අවැසිම මොහොතක අනිච්ඡානුගව හෝ දකුණු ඉන්දියානු ආධිපත්‍යයෙන් සිංහල සිනමා සංගීතය ගලවා ගන්නට ඉතිහාසගත පියවර තැබූ ගායිකාව වන්නට සමත් විය.

ඉදින් ; මෙලෙස අපට සමුදෙන්නේ පොදු ජනතාවගේ ජනරාව කැළඹූ යුගයේ ගායිකාවක නොවුණ ද , තුරුණු සිහින තුළ පොපියන කටහඬක හිමිකාරිය නොවුණ ද ; ඉන්ද්‍රාණි සේනාරත්න නමට ඉතිහාසයේ සුවිසල් ඉඩක් වෙන් වන බව ද සිහිපත් කළ යුතුම ය.

ඉන්ද්‍රාණි;

අසිරිමත් ලෙස ඇඳුණු දේදුනු කළුවළාවෙන් යට වුණා
මිහිරියාවිය අනේ දවසක ඔබේ හදවත ගොළු වුණා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *