ඉන්දියානු සිනමාවේ පොක්කිෂම

ලංකාවේ ඉපදී හැදී වැඩී ඉන්දියාවේ සිනමාව කළ බාලු මහේන්ද්‍රා ගැන වැදගත් සටහනක්. ලේඛිකා අනූෂා සිවලිංගම් විසින් ‘රැස’ පුවත්පතට ලියන ලද ලිපියකි.

බාලනාදන් බෙන්ජමින් මහේන්ද්‍රන් කියල කිව්වොත් සමහරවිට කවුරුවත්ම දන්නෙ නැතුව ඇති. ඒත් බාලු මහේන්ද්‍රා…. සිනමාවට ආදරය කරනවුන්ගෙන් මේ නම දන්නේ නැතිවුන් ඉතාම අඩුයි. බාලු මහේන්ද්‍රා සර්… ගොඩක් අධ්‍යක්‍ෂකවරු ඔහුට කතා කරේ මෙහෙම. ඔවුන් හරි අභිමානයෙන් කියනවා ඔවුන් බාලු මහේන්ද්‍රා සර්ගෙ ගෝලයෝ කියල. බාලු මහේන්ද්‍රා සර් ගේ නම රන් අකුරින් සිනමාවේ ලියවුනාද? නැද්ද කියල දන්නේ නෑ. එහෙම රන් වලින් නම් ලියවෙනවද කියල දන්නෙත් නැහැ. එත් ඇත්තෙන්ම මේ නම කියන විට අපිට දැනෙන හැගීම කොයිවගේද කියල, ලියන්න තේරෙන්නෙම නැහැ. ඒ හැගීම හරියට ඔහුගේ නම මතක් වෙනකොට හිතන්න පොළඹවන අකුරු බොඳ වී යන හැගීමක්. හරියටම කිව්වොත් ඒ හැගීම කියන්න අකුරු නැහැ කියලත් හිතුණු අවස්ථා තියනවා. ඒක ගෞරවයක්ද? නැත්නම් ලව් එකක් ද නැත්නම් මොන මගුලක් ද කියල තේරෙන්නෙත් නැහැ. ඒ ලව් එක පැත්තකින් තියමුකෝ…

ලංකාවේ අපි සිනමාව ගැන, අධ්‍යක්ෂණය ගැන, කතා ගැන නැතිනම් කැමරාකරණය ගැන කතාකරනවා. ඒ කතා කරන්නේ ඉරාන්, ප්‍රංශ සිනමාවේදීන්, තාක්ෂණවේදීන්, කලාවේදීන් උදාහරණ විදිහට අරගෙන. ඔව් ඒක හරි එහේ තියෙන්නේ මාරම සිනමා කලාවක්. දන්නවද? ඉරාන්, ප්‍රංශ සිනමාවේදීන් පවා විස්මිත වෙලා බලපු සිනමාවේදියෙක් දකුණු ඉන්දියානු සිනමාවේත් හිටියා. ඔහු තමයි බාලු මහේන්ද්‍රා සර්.

හරියටම කිව්වොත් දකුණු ඉන්දියානු සිනමාවට කලාත්මක ශෝනරය හදුන්වා දුන්නේ ඔහු. අද ලංකාවේ අපිත් කට ඇරන් විස්මිත වෙලා බලපු “විසාරනෛ, ආඩුකලම්, වැනි චිත්‍රපට නිෂ්පාදන කළ වෙට්රිමාරන් වැනි අයගේ ගුරුවරයා ඔහු. දකුණු ඉන්දියාවේ අදවන විට කලාත්මක සිනමාව තුළ කටයුතු කරන බොහෝ සිනමාවේදීන් ගෙ ගුරුවරයා බාලු මහේන්ද්‍රා සර්. ඒ සියලුම දෙනා ඔහුගේ සහය අධ්‍යක්‍ෂකවරුන් ලෙස කටයුතු කළ අය. ඒ වගේම එදා රාජ්‍ය සම්මානලාභී අධ්‍යක්‍ෂක මහේන්ද්‍රන් වගේම රාජ්‍ය සම්මානලාභී අධ්‍යක්ෂක මනිරත්නම් වැනි අයව සිනමාවට රැගෙන එන්නේ ඔහු. ඔහු නිර්මාණය කළ චිත්‍රපට වලට රාජ්‍ය සම්මාන කිහිපයක් ලැබුණා වගේම ඔහු අත අල්ලාගෙන එක්කරගෙන ආ අයත් ඔවුන්ගේ නිර්මාණවලට රාජ්‍ය සම්මාන ලබා ගන්නවා.

ඒ වගේම දැනට දකුණු ඉන්දියානු සිනමාවේ චිත්‍රපට අධ්‍යක්ෂණය, කැමරාකරණය, තිර රචනය වගේම සංස්කරණය (editing) තනි පුද්ගලයෙකුගේ අතින් නිමවෙලා ඒ චිත්‍රපට වලටත් රාජ්‍ය සම්මාන ලැබුණානම්, ඒ බාලු මහේන්ද්‍රා සර්ගෙ චිත්‍රපට වලට පමණයි. ඒ රොකෝඩ් එක කඩන්න තවම කිසිවෙකුට හැකියාවක් ලැබුණේ නැහැ.

බාලු මහේන්ද්‍රා සර්,

මේ තරම් ලෝකයා පුදුම වී බැලු ඒ අසාහය සිනමා විද්‍යාවේදියා ලාංකිකයෙක්. 1939 මැයි 20 මඩකලපුවේ ඉපදුණු ඔහු ලන්ඩනයේ විද්‍යාවේදී උපාධිය හිමි කර ගත්තා. පසුව ලංකාවේ රජයේ මිනින්දෝරු දෙපාර්තම්න්තුවේ තාක්‍ෂණික අංශයේ කටයුතු කරනවා. ඒ වගේම Radio ceylon එකේ drama artice කෙනෙක් විදිහටත් කටයුතු කරනවා. ඒ කාල වකවානුවේ දී ඔහු කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඒ “සෙන්කෝට්ටෛ” කෙටි චිත්‍රපටය. මේ කෙටි චිත්‍රපටය කොළඹ සැවොය් ශාලාවේ ලංකාවේ සිනමා අධ්‍යක්‍ෂකවරුන්ට පෙන්වනවා. ඒත් ඔහුගේ කලාව හදුනාගන්න කොළඹ අධ්‍යක්‍ෂකවරුන්ට බැරි වුණා. ඔහුට අවස්ථා ලැබෙන්නේ නැහැ. ඔහුගේ කැමරාකරණය ගණන් නොගැනුණු මොහොතක ඔහු 1966 දී දකුණු ඉන්දියාවට යනවා. ඒ සිනමාව කියන්නේ ඔහුගේ ෆැෂන් එක පමණක් නොවුණු නිසා. ඔහු අනාගත රැකියාව විදිහට තොර ගන්නෙත් සිනමාව වූ නිසා. ලෝකයේ ප්‍රසිද්ධ කමරාශිල්පීන්ගෙන් කෙනෙක් බවට ඔහු පත් වෙනවා. සිනමාව පිළිබඳව හදාරනවා තවත්. ඔහු motion picture photography ගැන ඉගෙන ගන්නවා.


පූනෛ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා අවසන් වනවාත් සමඟම ඔහුට අවස්තාවක් ලැබෙනවා සිනමාවට. ඉතා ප්‍රසිද්ධ රාමකරියාන් අධ්‍යක්‍ෂවරයා දිනක් ඔහුට කතා කරනවා ඔහුගේ චිත්‍රපටයක් සඳහා. ප්‍රථමවතාවට සමස්ත ඉන්දියාවේ ප්‍රසිද්දියට පත් වී රන්පදක්කමක් දිනාගත් පළමු චිත්‍රපටය වූ “චින්මීන්” වෘතාන්තයට පසුව රාම්කරියාන් නිර්මාණය කරන චිත්‍රපටයේ director of photography සඳහා බාලු මහේන්ද්‍රා නමැති ශිෂ්‍යයාට ආරාධනාවක් ලැබෙනවා. ඔහුගේ සිනමා ලෝකය සැබෑවටම පටන් ගන්නෙ එතැනින්. ඉන් පසුව කැමරාකරණය සමඟ ඔහු ජීවිතය පටන් ගන්නේ මලයාලම් චිත්‍රපටයක් සමඟ. මේ චිත්‍රපටය විශාල ලෙස ජනතා ආකර්ෂණය දිනාගත් චිත්‍රපටයක්. 1971 සිට 1976 දක්වා කැමරාකරණය පමණක් ම සිදු කරමින් සිටි මේ සිනමාවේදියා චෙන්නායි වලට එනවා චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්න. චිත්‍රපට අධ්‍යක්‍ෂණය කියල කියන්නේ කැමරාකරණයට ත් වඩා ඔහු කැමති අංශයක් බව ඔහු විවිධ සම්මුඛ සාකච්ජාවලදී කියල තියනවා. චෙන්නායි වලට පැමිණ ඔහු ප්‍රථමයෙන් අධ්‍යක්‍ෂණය කරන්නෙ කණ්ණඩ චිත්‍රපටයක්. දෙමළ භාෂා ව කතා කරනකණ්ණඩ කිසිවක් නොදැන කණ්ණඩ භාෂාවෙන් චිත්‍රපටයක් ගන්නෙ කොහොමද කියල ආරම්භයේ සිටම හැමෝම ඔහුගෙන් අහනවා. එතකොට මේ සිනමාවේදියා දෙන උත්තරය “Kannda is not my language, Cinema is my language”. මේ කණ්ණඩ චිත්‍රපටය තමයි “කෝකිලා” වෘතාන්තය. මෙය කණ්ණඩ චිත්‍රපටයක් වුණත් අනෙක් සෑම දෙනාවගේම දෙමල බස කතා කරන අයත් විශාල ප්‍රමාණයෙන් මෙම චිත්‍රපටය වැළද ගන්නවා. දවස් 150 කට අධික දින ප්‍රමාණයක් තියටර්ස් වල තිරගත වෙනවා. ඉතින් මේ සිනමාවේදියා හිතනවා. දෙමළ භාෂා රසිකයා ගැන ඔහු තුළ වූ නිගමනය වැරදි බව. ඒ අනුව දෙමළ බසින් ඔහු අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය කරන ප්‍රථම චිත්‍රපටය “අලියාද කොලන්ගළ්”.

එහෙත් බාලු මහේන්ද්‍රා සිනමාවේදියා කමරාශිල්පියෙකු ලෙස දායකවන පළමු දෙමල භාෂා චිත්‍රපටය “මුල්ලුම් මලරුම්” වෘතාන්තය. පසුව ඔහුගේ අධ්‍යක්‍ෂණයෙන් නිමවන පළමු චිත්‍රපටය “අලියාද කෝලංගළ්”. ඉන්පසුව “ “මූන්ට්‍රාම් පිරෛ”, මූඩුපනි” වැනි චිත්‍රපට ඇතුලත් චිත්‍රපට ගණනාවක් ම ඔහු අධ්‍යක්‍ෂණය කරනවා.

ලෝකප්‍රසිස්ධ මනිරත්නම් සිනමාවේදියාගේ පළමු චිත්‍රපටය කණ්ණඩ චිත්‍රපටයක්. ඒ “පල්ලවි අනු පල්ලවි” වෘතාන්තය. මේ චිත්‍රපටයේ කැමරාකරණය බාලු මහේන්ද්‍රා සර්.

කැමරාකරණය සහ බාලු මහේන්ද්‍රා

කැමරාකරණය තුළ කැමරාවෙන් එහා ගිය කලාත්මක රූපයක් ඔහු සෑම විටම සෙව්වා. ඔහුගේ අධ්‍යක්‍ෂණයෙන් නිම වුණු ඔහුම කැමරාකරණය කරන චිත්‍රපට වල ඔහු තෝරාගත්ත මුහුණු දකුණු ඉන්දියානු අනෙකුත් සිනමා කෘති සමඟ බලද්දී ටිකක් වෙනස්. සරලව කිව්වොත් චිත්‍රපටියේ එන චරිත වලින් පවා එම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය/කැමරාකරණය බාලු මහේන්ද්‍රාගෙ කියල වෙනමම හඳුනාගන්න පුළුවන්.

“100 ක් ෆොටෝස් පෙන්නුවත් ඒවා වලින් බාලු මහේන්ද්‍රා සර්ගේ pictures මොනවද කියල හදුනා ගන්න පුළුවන්. 
– චිත්‍රපට අධ්‍යක්‍ෂක L.K. සුරේෂ්

මේකප් දාන්නේ නැති මුහුණු, කළු වර්ණය සහිත මුහුණු තමයි ඔහු ඔහුගේ සිනමාවට භාවිත කළේ. බාලු මහේන්ද්‍රා සර් සිනමාවට එනකොටත් දකුණු ඉන්දියානු සිනමාව හැදිල ඉවරයි. මේකප්, actions, fight වලින් පිරුණු සිනමාවක් දෙමළ භාෂා රසිකයා වැළඳගෙන හිටියා. බාලු මහේන්ද්‍රා සර්ගෙ සිනමාව පැමිණියාට පසුව කලාත්මක සිනමාව මිනිස්සු පිස්සුවෙන් වගේ බැලුවා. අද දක්වා script එකට වැදගත්කමක් නොදෙන සිනමාව පරදා කතාවට වැදගත්කමක් දී ඒ වගේම අපි දකින කලාත්මක සිනමාවේ තිබෙන බෝරින් ගතිය කුඩු කර දැමු අතිශය දැවැන්ත කලාත්මක සහ වාණිජමය චිත්‍රපට සඳහා දකුණු ඉන්දියානු සිනමාව හැරවුවේ බාලු මහේන්ද්‍රා සර්.

1970 දී ඔහු මලයාලම් සිනමාවටත් සම්බන්ධ වෙනවා. 1974 දී “chuvana sabdhyak” වෘතාන්තය, 1975 දී “ප්‍රයානම්” වෘතාන්තය සහ 1985 දී “යාත්‍රා” වෘතාන්තයට වැනි සිනමා කෘති සඳහා ඔහුට කේරළ රාජ්‍ය සම්මාන ලැබෙනවා. ඒ හොඳම කැමරාකරණය (best cinemotography) සඳහා. ඒ වගේම 1981 දී “seethakoka chilaka” වෘතාන්තය සහ 1978 දී “Mana voori” වෘතාන්ත සිනමා කෘති සඳහා Nandi සම්මාන ලැබෙනවා ඔහුගේ කැමරාකරණය (best cinemotography) වෙනුවෙන්.

ඒ වගේම දෙමල භාෂා සිනමාවේ දී 1988 “වීඩු” චිත්‍රපටය, 1990 “සන්ද්‍යා රාගම්” චිත්‍රපටය 1992 “වන්න වන්න පූක්කල්” චිත්‍රපට සඳහා හොඳම චිත්‍රපටයට හිමි ඉන්දියාවේ රාජ්‍ය සම්මාන ලැබෙනවා. ඒ වගේම 1983 “මූන්ද්‍රාම් පිරෛ” සහ 1978 “කෝකිලා” චිත්‍රපට සඳහා හොඳම කැමරාකරණය හිමි ඉන්දියානු රාජ්‍ය සම්මානය ලැබෙනවා.

1988 දී “වීඩු”, 1983 දී “මූන්ද්‍රාම් පිරෛ” සහ 1983 දී “ඕලන්ගළ්” වෘතාන්ත සඳහා film fair සම්මානය හොඳම අධ්‍යක්‍ෂණය (best director) වෙනුවෙන් ලැබෙනවා. ඒ වගේම 2014 දී බාලු මහේන්ද්‍රා සිනමාවේදියාට “Lifetime achivement” සම්මානය film fair සිනමා උළෙලේදී ලැබෙනවා.

2014 වර්ෂයේ දී vijay TV සිනමා සම්මාන උළෙලේදී “contribution to Tamil Cinema” සම්මානය ලැබෙනවා වගේම, Nargis Bult සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය ට හිමි සම්මානය “තලෛමුරෛහළ්” වෘතාන්තයට ලැබෙනවා.

“තලෛමුරෛහළ්” වෘතාන්ත චිත්‍රපටය තමයි ඔහුට නිම කරන්න හැකි වන අවසාන චිත්‍රපටය. 2013 දී දෙසැම්බර් 20 තමයි මේ චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රථම වරට තිරගත වෙන්නෙ. මේ චිත්‍රපටයේ ඔහු අධ්‍යක්‍ෂවරයා සහ සංස්කරණ ශිල්පියා වශයෙන් කටයුතු කරනවා. මේ චිත්‍රපටයේ ඔහු කමරාශිල්පියා ලෙස කටයුතු කරන්නෙ නැහැ. මොකද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය බාලු මහේන්ද්‍රා සර්. මහලු චරිතයක් ලෙස ඔහු රඟපාලා තියනවා. ඔහු චරිතයක් ලෙස රඟ පෑ පළමු සහ අවසන් චිත්‍රපටයත් “තලෛමුරෛහළ්”. ඒ වගේම ඔහු සිනමා කෘති වල කැමරාකරණය සහ අධ්‍යක්‍ෂණය හෝ කැමරාකරණය හෝ අධ්‍යක්‍ෂණය යන ද්විත්වයම ඇතුලත්ම කටයුතු කර තිබෙන 100 වන චිත්‍රපටයත් මෙය.

මේ සිනමාවේදියා මේ අතර කාලයේ චෙන්නායි වල film school එකක් ආරම්භ කරනවා. හරියටම කිව්වොත් අද දකුණු ඉන්දියානු සිනමාවේ ප්‍රසිද්ධ බොහෝ අධ්‍යක්‍ෂකවරු මේ film school එකේ ඉගෙන ගත් අය.

“අවුරුදු 40ක් මම මේ ක්ෂේස්ත්‍රයේ හිටියා. ඒත් මම හිතපු වගේ චිත්‍රපටි තුනයි මට ගන්න පුළුවන් වුණේ. “වීඩු”, “සන්ද්‍යා රාගම්” සහ “තලෛමුරෛහළ්” .

— බාලු මහේන්ද්‍රා

මේ වචන වලින් කියවෙන්නෙ අපි දකින කලාත්මක චිත්‍රපට වලිනුත් එහා ගිය දෙයක් ද කියල හිතෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *