පාර්ලිමේන්තු ගිය ඉන්දියාවේ ප්‍රසිද්ද මුහුණු

ඉන්දීය මහා මැතිවරණය පසුගිය සතියේ නිමා වුනේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට ඉහල ජයග්‍රහණයක් ලබා දෙමින්. ඔහුගේ චරිතය සිනමාවට නැගී එයට වාරණ පැනවූ මොහොතක එම ජයග්‍රහණය ගැන කතා ඉතුරු වුනා. එරට පාර්ලිමේන්තුව වන ලෝක් සභාවේ බහුතරය ලබා ගැනීම සඳහා අවශ්‍යය මන්ත්‍රී ආසන සංඛ්‍යාව 272ක්. ඒ ආසන 543කින්. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අයත් භාරතීය ජනතා පක්ෂය එම ඉලක්කය තනිවම සපුරා ගත් අතර ඔවුන් ලැබූ ආසන සංඛ්‍යාව 303ක්. ඒ අනුව ඔවුන්ගේ සන්ධාන රජයට (ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය) අයත් අනෙකුත් පක්ෂ ලබා ගත් ආසනද ඇතුලුව එම ආසන සංඛ්‍යාව 353ක්. ඉන් පැහැදිලිව පෙනී ගියේ නරේන්ද්‍ර මෝඩි හට භාරතීය ජනතා පක්ෂය පෙරටු කරගෙන තනිව හෝ රජයක් පිහිටුවා ගැනීමට අවකාශය ලැබී ඇති බවයි. එමෙන්ම තනි පක්ෂයක් බහුතරය ලබා ගැනීමේ තත්වය දශක ගණනාවකට පසු ඉන්දියාවේ ඇතිවූ තත්වයකි.

මෝඩි රජයේ ප්‍රති විරුද්ධ පාර්ශවය වන ඉන්දීය ජාතික කොංග්‍රසයට හිමිවූ අන්ත පරාජය කැපී පෙනුණා. ඒ අතරේදී එක් ජනප්‍රිය මුහුණක් වඩා කැපී පෙනුණේ කොංග්‍රසය පරාජය වීමේ ප්‍රවෘත්තිය තවත් දරුණු එකක් කරමිනි. ඒ කොංග්‍රස් අගමැති අපේක්ෂක රාහුල් ගාන්ධි භාරතීය ජනතා පක්ෂ අපේක්ෂිකා ජනප්‍රිය නිලි මහගෙදර ටෙලි නාට්‍යයේ තුල්සි හෙවත් ස්මිරිති ඉරානිට පරාජය වීමයි. රාහුල්ගේ සහ ගාන්ධි පවුලේ සාම්ප්‍රදායික ආසනය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අමේති ආසනය ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට ගාන්ධි පවුල පරාජයට පත් වුණා. ඒ වැඩි ඡන්ද 25,000 කටත් වැඩියෙනි. මේ පරාජය වීමේ සිද්ධි දාමය නිසා බොලිවුඩයේ ප්‍රසිද්ද මුහුණු ගැන ඉන්දීය මාධ්‍යයේ අවධානය යොමු වුනා. ඒ මෙවර වැඩි ජනප්‍රිය මුහුණු ප්‍රමාණයක් මැතිවරණය සඳහා ඉදිරිපත් වීම නිසයි.

ස්මිරිති ඉරානි බී ජේ පී යෙන් අසුනක් ජයගනිද්දී 62 හැවිරිදි බොලිවුඩ් නලු සනී ඩියෝල් පන්ජාබ් ප්‍රාන්තයේ ‘ගුර්දාස්පුර්’ ආසනය ජයගත්තේ බී ජේ පී ය නියෝජනය කරමින්. එමෙන්ම දශක කිහිපයකට පෙර බොලිවුඩයේ ජනප්‍රිය තරුවක් වූ හේමා මාලනී බී ජේ පී යෙන් තරඟ කොට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ‘මතුරා’ ආසනය ජයග්‍රහණය කළා.

මේ අතර කලකට පෙර අනුපම් කේර්ගේ බිරිඳ වූ ද බොහෝ බොලිවුඩ් සිනමාපට වල අම්මා වූද කිරන් කේර් ද මෙවර මැතිවරණයට ඉදිරිපත් වුණා. ඒ බී ජේ පීය නියෝජනය කරමින් පන්ජාබ් ප්‍රාන්තයේ ‘චන්දිගාර්’ ආසනයටයි. ඇය ඒ අසුන ජයග්‍රහණය කරද්දී කලකට පෙර ජනප්‍රිය නළුවෙකු වූ රවී කිෂන් ද බී ජේ පී යෙන් ඉදිරිපත්ව අසුනක් ජයග්‍රහණය කළා. ඒ උත්තර් ප්‍රදේශ් හි ‘ගොරක්පූර්’ ආසනයයි.

ජයග්‍රහණයේ රැල්ල ගැසූ භාරතීය ජනතා පක්ෂයට ප්‍රතිපක්ෂව මැතිවරණයට ඉල්ලූ අයද මේ ජනප්‍රිය මුහුණු අතර සිටියා. බොලිවුඩයේ තවත් ජනප්‍රිය මුහුණක් වූ උර්මිලා තරඟ වැදුණේ ඉන්දීය ජාතික කොංග්‍රසයේ ‘අත’ ලකුණින්. ඇය මුම්බායි උතුර ආසනය වෙනුවෙන් තරඟ කළ අතර සියලු තරඟකාරිත්වයන් මැද එම ආසනය ජයගැනීමට සමත් වුණේ නැහැ. මේ අතර දකුණු ඉන්දියාවේ කොලිවුඩයේ තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ප්‍රකාශ් රාජ් ද මෙවර මැතිවරණයට තරඟ වැදුණා. බී ජේ පීයේ මතවාදයන්ට දැඩිව පහර දෙන දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් නිතර හඬ නගන ප්‍රකාශ් රාජ් ලංකාවේ වාර්ගික අර්බුදය ගැනද අදහස් දක්වා තිබෙනවා.

ඔහු මෙවර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කළේ බැංගලෝර් මධ්‍යම ආසනයටයි. එම අසුනින් ඔහු පරාජය වුණා. හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගම්භීර්ද දිල්ලි ප්‍රාන්තයේ නැගෙනහිර දිල්ලි ආසනයට තරඟ කොට ජයග්‍රහණය කළේ බී ජේ පීය නියෝජනය කිරීමෙන්.

ඒ අනුව ජයග්‍රහණයේ රැල්ල ගැසූ තැනට කලාකරුවන්ද හේත්තු වූ බව බැලූ බැල්මට පෙනෙන්නට තිබිණි. මෝඩි රජයේ මීළඟ වසර 5 දී ඔවුන්ගේ භූමිකාව කෙසේ වේවිද යන්න කීමට දැනට ප්‍රමාද වැඩිය.

උර්මිලා
රවී කිෂන්
හේමා මාලිනි
සනී ඩියෝල්
ස්මිරිති ඉරානි
කිරන් කේර්
ප්‍රකාශ් රාජ්
ගෞතම් ගම්භීර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *