Endgame උන්මාදය වාර්තා පිට වාර්තා තබයි. සියලු පෙර වාර්තා කඩන ලකුණු..?

පවතින නොසන්සුන්කාරී වාතාවරණය මත ශ්‍රී ලංකාවේද ප්‍රදර්ශනය අත්හිටවූ මාර්වල් සිනමා විශ්වයේ Avengers : Endgame චිත්‍රපටය ලොව පුරා වාර්තා පිට වාර්තා කඩමින් පසුගිය බදාදා සිට ප්‍රදර්ශනය ඇරඹුවා. Disney සමාගම විසින් බෙදාහරින Avengers : Endgame මෙතෙක් පළමු සති අන්තය තුල ලෝකයේ චිත්‍රපටයක් වාර්තා කළ වැඩිම ආදායම වාර්තා කිරීමට සමත් වුනා.

ඩිස්නි සමාගමේ පුරෝකථන අනුව ලොව පුරා පළමු සති අන්තයේ චිත්‍රපටය උපයා තිබූ ආදායම ඩොලර් බිලියන 1.2ක්. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 17,500 කට අධිකය. ඒ අනුව ලෝකයේ එතෙක් මෙතෙක් පළමු සති අන්තයේ ඩොලර් බිලියන 1 ආදායම් සීමාව ඉක්මවා ගිය පළමු චිත්‍රපටය Endgame බවයි ඩිස්නි සමාගම පවසන්නේ.

Endgame විසින් මෙවර බිඳ දැමුවේ මීට පෙර Avengers: Infinity War විසින් තබනු ලැබූ ඩොලර් මිලියන 640 ක වාර්තාවයි. මේ වන විටත් ලෝකයේ බොහෝ තැන් වල චිත්‍රපටයට අධික ඉල්ලුමක් ලැබී තිබෙන හෙයින් සිනමා ශාලා වල අමතර දර්ශන වාර යොදා තිබෙනවා. ඩිස්නි සමාගමට අනුව Endgame ප්‍රදර්ශනය වන සමස්ථ සිනමා ශාලා සංඛ්‍යාව 4600ක්. එයින්ද අධික ඉල්ලුම නිසා බොහෝ සිනමා ශාලා පැය 24 ම දර්ශන වාර සඳහා විවෘත කර තිබෙනවා. එම ප්‍රේක්ෂක උන්මාදයේ තරම කොපමණද කියනවානම් ප්‍රේක්ෂක මනාපය අනුව IMDb ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 10න් 9.1 ක් ලබා ගැනීමට Endgame සමත් වුනා.

තවද පසුගිය පළමු සති අන්තයේ චිත්‍රපටය උපයා තිබූ ආදායම වූ ඩොලර් බිලියන 1.2 ක සඳහා ඩොලර් මිලියන 330.5 ක ආදායමක් උපයා සපයා දී තිබුනේ චීනය විසින්. එම අදායම චීනය තුල පළමු සති අන්තයේදී චිත්‍රපටයක් උපයා තිබූ වැඩිම ආදායම ලෙසද සැලකෙනවා.

ඇමරිකාව තුල අන්තර්ජාල සිනමා ටිකට් පත් වැඩිම ප්‍රමාණයක් අළෙවි කරන Fandango සමාගම Endgame හි වැඩිම ටිකට් පත් ප්‍රමාණයක් අළෙවි කළ සමාගම බවට පත් වනවා. ඒ අනුව ඔවුන්ගේ වෙබ් අඩවියට පසුගිය දින කිහිපයේ පැමිණි අධික පරිශීලකයන් සංඛ්‍යාව නිසා බොහෝ තාක්ෂණික ගැටලු වලටද මුහුණ දෙන්නට සිදුවූ බව ඔවුන් පවසනවා. කෙසේ වුවද එම දින කිහිපය Fandango සමාගමේ ස්වර්ණමය කාල පරිච්ඡේදය බව මේ වන විට වාර්තා වනවා.

කෙසේ වෙතත් Avengers උන්මාදය තවත් සති කිහිපයක් ලෝකයේ තිබෙනු ඇත. මැයි 3 දා සිට ශ්‍රී ලංකාවේද කල් දැමූ ප්‍රදර්ශනය ආරම්භ වන නමුත් පෙර තිබූ උන්මාදය එහි තිබීම ගැන නම් සැක සහිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *