රටේ පවතින තත්වය සිනමාව යටකර දමයි

ඉකුත් ඉරිදා (21) දිවයිනේ සිදුවූ ව්‍යසනකාරී තත්වය නිසා මේ වන විටත් සිනමා කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල කරමින් තිබෙනවා. ඇතිවිය හැකි අනපේක්ෂිත තත්වයන් මත ප්‍රේක්ෂකයාට සිනමාහල් වෙත ගොස් සිනමාපට රසවිඳීමට බාදා ඇතිවීම කර්මාන්තයට එල්ල වූ දැඩි පහරක් බව ලාංකේය සිනමා කර්මාන්තයේ නිරත වන්නන් පවසනවා.

ඒ අනුව පසුගිය ඉරිදා සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල බොහෝ සිනමාශාලා වල දර්ශන දිගින් දිගටම අවලංගු වෙමින් පවතිනවා. එමෙන්ම පිට පළාත්වලද මේ තත්වය අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි චිත්‍රපට බෙදාහරින මණ්ඩල වලින් ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ. දිගින් දිගටම දර්ශන අවලංගු වීම තුල සිනමාශාලා හිමියන් දැඩි අර්බුදයක සිටිද්දී විදේශීය චිත්‍රපට වලින් පසුගිය දිනවල හොඳින් ආදායම් උපයමින් තිබූ ශාලා සහ සමාගම්ද මෙමගින් අර්බුදයට ලක් වුනා.

පවතින වාතාවරණය යටතේ කොළඹ සුපිරි වෙළඳ සංකීර්ණ වසා දමා ඇති නිසා විශාල වශයෙන් ආයෝජනය කොට තිබූ සුපිරි සිනමාශාලා ද වහාම වසා දැමීමට සිදු වුනා. වසා දැමීමේ තීරණය ගන්නා විටත් බොහෝ ප්‍රේක්ෂකයින් චිත්‍රපට නැරඹීම සඳහා අන්තර්ජාලයෙන් ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගෙන තිබුනා. එමගින් බොහෝ ප්‍රේක්ෂකයන් අපහසුතාවට ලක් වුනා.

එමෙන්ම ශ්‍රී ලංකාවේද උත්සවශ්‍රියෙන් ප්‍රදර්ශනය ආරම්භ කිරීමට යෙදුනු AVENGERS : ENDGAME චිත්‍රපටයද කල් දමා තිබෙනවා. චිත්‍රපටය ලොව පුරා අප්‍රේල් 26 (අද) සිට ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි. නමුත් පවතින වාතාවරණය හමුවේ එහි ශ්‍රී ලංකා ප්‍රදර්ශනය මැයි 3 දක්වා කල් දමා තිබෙනවා. මෙම සිද්ධි මාලාව වන විටත් AVENGERS : ENDGAME චිත්‍රපටයේ බොහෝ දර්ශන වාර සඳහා අධික ඉල්ලුමක් ඇති වෙමින් තිබුනා. සමහර දර්ශන වාර සඳහා ටිකට් පත් ඉතිරිව තිබුනේද නැහැ.

බොහෝ විට ප්‍රදර්ශන සමාගම් විදෙස් චිත්‍රපට සඳහා එක වර මිල ගෙවා මිලදී ගන්නා හෙයින් ප්‍රේක්ෂක හිඟයෙන් ඔවුන්ට සිදු වන පාඩුව විශාල එකක් බව පුරෝකතනය කළ හැකියි. කර්මාන්තයේ ක්‍රියාකාරිකයන්ගේ මතය අනුව මීට දශකයකට පෙර පැවති යුධ වාතාවරණය තිබියදී වුවද කර්මාන්තයට මෙතරම් අවිනිශ්චිත තත්වයක් තිබී නැහැ. එකල බොහෝ පිපිරීම් වාර්තා වී ස්වල්ප කාලයකින් නැවත ශාලාවලට ප්‍රේක්ෂකයා පැමිණුනද මෙවර කිසිත් අනුමාන කළ නොහැකි තත්වයක කර්මාන්තය තිබෙන බවයි එම ක්‍රියාකාරිකයන් පවසන්නේ.

එම නිසා නිගමනය කළ හැක්කේ විනෝදාස්වාදනය සඳහා මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන් තුල කිසිම කැප කිරීමක් නොමැති බවයි. පවතින වාතාවරණය යටතේ සිනමාව ගැන තවත් තොරතුරු හෙළවුඩ් POPCORN වෙතින් බලාපොරොත්තු වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *