බන්සාලි මීළඟ එකට ලැහැස්ති වෙයි

පද්මාවත් චිත්‍රපටය ලැබූ අති සාර්ථකත්වයෙන් පසු බොලිවුඩයේ සංජේ ලීලා බන්සාලි මේ දිනවල තම මීළඟ චිත්‍රපටය සඳහා සුදානම් වනවා. චිත්‍රපටය ඔහු නම් කර තිබෙන්නේ ‘ඉන්ෂල්ලා’ නමින්. කිසියම් ඉස්ලාමීය අරුතක් එහි තිබුණද එය කොතෙක් දුරට ඉස්ලාම් ආගමට සම්බන්ධ දැයි අනාවරණය වී නැහැ. එමෙන්ම එහි කතා සාරාංශයද මෙතෙක් අනාවරණය කර නැහැ.

මෙතෙක් බන්සාලි පාර්ශවයෙන් හෙළි කර තිබෙන්නේ එය ඔහුට ඉතා හුරු පුරුදු ප්‍රේම කතාවක් බවයි. ඒ අනුව ‘ඉන්ෂල්ලා’ තවත් සුප්‍රකට බොලිවුඩ් ප්‍රේම වෘතාන්තයක් වන බවට ඉඟි පළ වනවා.

මේ චිත්‍රපටය සඳහා මේ වන විටත් විශාල අවධානයක් ලැබී තිබෙන අතර ප්‍රධාන චරිත සඳහා බන්සාලි තෝරාගෙන තිබෙන්නේ සල්මන් ඛාන් සමඟින් ආලියා භාත්. සල්මන් ඛාන් බන්සාලි සමඟ ප්‍රධාන චරිතයකට එකතු වන්නේ දශක දෙකකට පසුයි. සල්මන් ඛාන් මුලින්ම බන්සාලිගේ චිත්‍රපටයකට ප්‍රධාන චරිතයකට දායක වෙන්නේ 1999 දී ‘හම් දිල් දේ චුකේ සනම්’ චිත්‍රපටයෙන්.

මේ වන විටත් සංජේ ලීලා බන්සාලි චිත්‍රපටය සඳහා පසුතල තෝරාගැනීම සිදුකරනවා. 2020 වන විට චිත්‍රපටය ප්‍රේක්ෂකාගාරය වෙත යොමු කිරීමයි ඔහුගේ සැලසුම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *