කිරිබත් කටක් කාලම ‘Game of Thrones’ Season 08 බලමු

කෝකිලයන්ගේ කෝකිල නාදේ හතර අතින්ම ඇහෙන මේ කාලේ බක් මාසේ උදාව‍යි අලුත් අවුරුදු මානසිකත්වයයි අපේ ගත සිත වෙළාගෙන තිබුණට TV series වලට ආදරය කරන අයට නම් මෙදා පාර අවුරුද්ද වෙන දෙයක් ගැන හිතන්න වෙන් කරන්න සිද්ධ වෙලා. අප්‍රේල් දාහතරවෙනිදා අපිට වසන්ත කාලය උදා වුණාට Westeros වලට නම් උදා වෙන්න තියෙන්නේ ශීත කාලය. වර්තමාන ලෝකයේ අංක එකේ වැජඹෙන රූපවාහිනි කතා මාලාව වන Game of Thrones, 2011 ඉඳලා ආපු රජ ගමන නිමා කරන බලාපොරොත්තුවෙන් මේ අප්‍රේල් දාහතරවෙනිදා අටවෙනි සහ අවසාන season එක ආරම්භ කරනවා.

ජෝර්ජ් ආර්.ආර්. මාර්ටින් විසින් 1991 ඉඳලා රචනා කරලා 1996 දී ප්‍රකාශයට පත් කරන A Song of Ice & Fire කියන නවකතා මාලාවේ පළවෙනි පොත තමයි A Game of Thrones. ඒ නිසා ඒ නමින් තමයි A Song of Ice & Fire විශ්වය රූප පෙට්ටිය වෙනුවෙන් නිෂ්පාදනය වෙන්නේ. නවකතා මාලාව ගැන යම් තරමක කතාබහක් බටහිර ලෝකයේ තිබුණත් මේ උන්මාදය ලෝකයටම වැළඳෙන්න හේතු වුණේ HBO නාලිකාව නිෂ්පාදනය කළ නාට්‍යයයි.

කතාව දිගහැරෙන්නේ මහද්වීප දෙකක. එකක් Westeros, අනික Essos. චරිත බොහෝ ප්‍රමාණයක් එක්ක ඉදිරියට ඇදෙන මේ කතා මාලාවේ ප්‍රධාන ධාරා තුනක් තියෙනවා. එක, යදම් කිරුළ හෙවත් Iron Throne එක වෙනුවෙන් පොර බදන රාජධානි හතක බල අරගලය. දෙක, මීට පෙර බලයේ හිටිය අතිශය බලවත් පවුලක අවසාන පුරුක යදම් කිරුළ නැවතත් ලබාගන්න කරන සටන. තුන, ඔවුන්ගේ ලෝකයේ උත්තර ප්‍රදේශයේ ශීත දේශගුණයේ සිටිනා අද්භූත සහ භයානක ජීවීන්ගෙන් රාජධානි බේරාගැනීම සඳහා ඉදි කරන ලද The Wall නම් වූ දැවැන්ත ප්‍රාකාරය මුර කිරීමට දිවිහිමියෙන් කටයුතු කරන Night’s Watch සහෝදරත්වය.

ප්‍රධාන පවුල් නවයක් පාදක කරගෙන දිගහැරෙන මේ බල අරගලයේ ස්ටාක්, ලැනිස්ටර් සහ ටාගේරියන් කියන පවුල් තුන විශේෂයි සහ තීරණාත්මකයි. පොතේ හැටියට බලේ හිමිවෙන්න ඕනේ අය ටාගේරියන් හෝ ස්ටාක් වුණත් කොයි කවුරුත් බලයට කෑදර නිසා අනිත් අයත් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ අය අතරින් ලැනිස්ටර් පවුල භයානකයි.

මේ විදිහට ගලාගෙන යන Game of Thrones කතාවට ලෝකයක් පිස්සු වට්ටන තරමේ විශාල ආකර්ෂණයක් දිනාගන්න ප්‍රධානතම හේතු වන්නේ කතාවේ ප්‍රබල බව, නොහිතන පැතිවලට වෙනස් වීම, රංගන ශිල්පීන්ගේ දක්ෂ රංගනය, ඉතා අධික පිරිවැයක් දරලා උසස් නිෂ්පාදනයක් සිදු කිරීම සහ දේශපාලනය මොනතරම් දූෂිත ද කියන අපි දන්න යතාර්ථයට fantasy වුණත් හොඳින්ම apply වෙන සාධක ගණනාවක් අඩංගු වීමයි.

ග්‍රන්ථ පාදක වෙන කලා නිර්මාණ වල අවසානය මොනවගේ ද කියන දේ අපිට කියවලා පූර්ව අවබෝධයක් ගන්න පුළුවන්. නමුත් Ice & Fire නවකතා මාලාවේ අවසන් පොත් දෙකම තාමත් නිකුත් වෙලා නෑ. කතාවේ අවසානය ජෝජ් මාටින් මුලින්ම දිගහරින්නේ රූපවාහිනියට. ඒ නිසාත් Game of Thrones අවසානය ගැන හැමෝම උනන්දු වෙනවා.

අවසන් season එකේ රහස්‍යභාව සුරැකීම වෙනුවෙන් නිෂ්පාදකවරු අවසානයන් තුනක් රූගත කර තිබෙනවා. ඒ වගේම නළු නිළියන්ට පිටපත් ඉදිරිපත් කිරීමේදී දවසට අදාළ දෙබස් ටික විතරක් දෙන්නත් පියවර අරගෙන තියෙනවා. (අපේ නම් එදාට අදාළ දෙබස් ටික විතරක් දෙන්නේ අවසානය කවදා කොහොම වෙයි ද කියලා ලියන මනුස්සයාවත් දන්නැති නිසා. පටලවගන්න එපා.)

කතාවේ අතිශය තීරණාත්මක අවසන් සටන වෙනුවෙන් වුණු කැපවීම අදහන්නත් අමාරුයි. සටන පැවැත්වෙන උතුරු අයර්ලන්තයේ දර්ශන තලය රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ අධි ආරක්ෂිත කලාපයක් බවට පත් කරලා, ගුවන් යානා ගමන් පථයන් පවා වෙනස් කරලා අක්කර ගණනක පරිධියක් ආවරණය කරමින් මුරකාවල්, යුධ භටයන් සහිත ආරක්ෂාවක් යොදලා දින 55ක් මුළුල්ලේ රූගත කර තිබෙනවා. මේ සටන වෙන්නේ ශීත ඍතුවේ. ඒ නිසා හිම වලට මැදි වෙලා ඍණ උෂ්ණත්ව තත්ත්ව යටතේ රාත්‍රී කාලයේ එළිමහනේ රූගත කරම්න්, දර්ශනයෙන් දර්ශනයට කූඩාරම් වලට ගිහින් උණුසුම් වෙමින් මහත් වෙහෙසක් දරලයි අවසන් සටන රූගත කරලා තියෙන්නේ.

මේ තරම් කට්ටක් කන්නේ හරි නිර්මාණයක් ජනගත කරන්නයි. ලොව පුරා රසිකයෝ තමන්ගේ ජීවිතයේම කොටසක් බවට මේ කතා මාලාව පත් කරගෙන තියෙනවා. අවසන් season එකේ එක episode එකක වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක්. මේ තමයි ලෝක ඉතිහාසයේ වැඩිම පිරිවැයක් දැරූ රූපවාහිනි නාට්‍යය.

ඉතිං, කිරුළ වෙනුවෙන් සිදුවන සටනින් කවුරුන් ජයග්‍රහණය කරාවි ද? කවුරු දිවි පුදාවි ද කියලා අපිට කියන්න අමාරුයි. මොකද Game of Thrones කියන්නේ අදහාගන්න බැරි විදිහට කතාව ගලාගෙන යන ආකාරය වෙනස් කරන, ප්‍රධාන චරිත මරා දැමීමට කිසිදු පැකිලීමක් නැති නිර්මාණයක්.

ඉතිං, ඔබ තවමත් Game of Thrones නරඹලා නැත්නම් අනිවාර්යයෙන්ම වෙලාවක් වෙන් කරගෙන සති අග මුල සිට එක පෙළට නරඹන්න. මේක වෙනස්ම අත්දැකීමක්. මුල ඉඳන්ම බලපු අපේ රසිකයෝ ටික එළඹෙන අප්‍රේල් දාහතරවෙනිදා, නැකැත් වලට සිරිත් විරිත් කරලා පිළිවෙතින් පෙළගැහෙමු, යදම් කිරුළ හිමි කරගන්නේ ජොන් ස්නොව් ද, ඩනේරිස් ටාගේරියන් ද, Night King ද, එහෙමත් නැත්නම් සන්සා ස්ටාක් ද කියලා දැනගන්න.

– ෂෙනාල් ගුණසේකර –

(09.04.2019) මව්බිම ‘Young -යං’ අතිරේකය

PEO TV චැනල් අංක 29 HBO නාලිකාව ඔස්සේ 15 වනදා උදෑසන 6.30 සිට ‘Game of Thrones’ Season 08 පළමු කොටස නැරඹිය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *